අත්අඩංගුවට පත් සැකකරු රිය අනතුරින් මරුට | දිනමිණ

අත්අඩංගුවට පත් සැකකරු රිය අනතුරින් මරුට

අනුරාධපුර මධ්‍යම විශේෂ

කසිප්පු ඇද්ද යුවළගේ යතුරුපැදියේ ගැටිලා

බිමතින් රිය පැදවීමේ වරදට ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකු ශරීර කෘත්‍ය සඳහා ගල්නෑව ප්‍රධාන මාර්ගයට රැගෙන ගිය අවස්ථාවේ කසිප්පු ප්‍රවාහනය කළ අඹුසැමි යුවළක් ගමන්කළ යතුරුපැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එස්.එච්.ඒ.අයි ගුණතිලක (52) නම් ගල්නෑව නාමල්ගමුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

ගල්නෑව පොලිසියේ නිලධාරින් ගල්නෑව පොලිස් වසම තුළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ හා රථවාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පෙරේදා (18) රාත්‍රියේ දියත්කර තිබියදී ජීවිතක්ෂයට පත් පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයකර ගල්නෑව-තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ගමන් කරමින් සිටින අයුරු දැක රථ වාහන මෙහෙයුමේ යෙදී සිටි නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජීවිතක්ෂයට පත්වූ එක්දරු පියා පැදවූ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන සැකකරු පොලිස් ජීප් රථයට නංවාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යද්දී තවත් වරෙන්තුකරුවකු ගල්නෑව මුදුන්ගම ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව් දෙදෙනෙකු පොලිස් ජීප් රථය මුදුන්ගම ප්‍රදේශයට ගොස් වරෙන්තුකරුගේ නිවස අසල නවතා ගෙන සිට ඇත.

ඒ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් සැකකරු මූත්‍ර කිරීමට අවශ්‍යය බව පැවැසූවෙන් ඔහුව නිවෙස ඉදිරිපිට ඇති ප්‍රධාන මාර්ගයට පොලිස් නිලධාරියකු සමඟ යවා තිබේ. කසිප්පු ප්‍රවාහනය කළ යතුරුපැදිය පොලිස් නිලධාරීන් ජීප් රථය නවතා තිබූ නිවෙසට කසිප්පු රැගෙන පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන් දැකීමෙන් ඔවුන් කලබලයට පත්වී තිබේ.

කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි යුවළ හදිසියේම පොලිස් නිලධාරීන් දැකීමෙන් කලබලයට පත්වී යතුරුපැදියේ වේගය වැඩිකර පලායද්දී මාර්ගය අයිනේ මුත්‍රා කරමින් සිටි අයගේ හිසේ ගැටී අනතුර සිදුවී තිබේ. කසිප්පු ඇද්ද යුවළ කසිප්පු එම ස්ථානයේම දමා යතුරුපැදියෙන් පලාගොස් තිබේ.

පසුව පොලිස් නිලධාරින් සැකකරියව නීති විරෝධි මත්පැන් බෝතල් 10ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) උදෑසන අදාළ අනතුර සිදුකර පලා ගිය සැකකරු ගල්නෑව පොලිසියට භාරවී ඇති අතර ඔහු හා කාන්තාව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නව අදහස දක්වන්න