ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය 22 දා කොළඹ දී | දිනමිණ

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය 22 දා කොළඹ දී

ගීෂා මුණසිංහ
ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධානයේ ජාත්‍යන්තර සභාපති බාල්රාජ් අරුනාචලම් මහතා විසින් මෝටර් රථ ක්‍රීඩාවේ ජයග්‍රාහී සටහන් තබන ධජය ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) උප සභාපති කාමිල් හුසේන් මහතා වෙත පිරිනමමින්. හිටපු දිස්ත්‍රික් අධ්‍යක්ෂක සුදේශ් ලියනගේ, වත්මන් දිස්ත්‍රික් අධ්‍යක්ෂ අජන්ත ජයවර්ධන, ක්‍රියාශීලි කමිටු සභාපති ෆාවස් ජේනුඩීන් මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය- චමින්ද නිරෝෂන

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) අධීක්ෂණය යටතේ ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධාන කරන ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය ‘Get to The Point’ මේ 22 වැනිදා කොළඹ දී පැවැත්වෙයි.

කිලෝ මීටර් 110 දුරකින් සමන්විත මේ රැලිය ශ්‍රී ලංකා පදනම් ආයතනය අසලින් සවස 2.00 ආරම්භ වන අතර රාත්‍රි 7.30ට නිමාවට පත්වීමට නියමිතය. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ධාවන මඟ සකසා ඇති මේ රැලියට කාණ්ඩ තුනක් යටතේ කණ්ඩායම් 40ක් සහභාගිවිමට නියමිතය.

‘Get to The Point’ ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්ම ධාවන රැළිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ‍කොළඹ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) උප සභාපති කාමීල් හුසේන් මහතා පවසා සිටියේ ශූරතා රැලියට බොහෝ වෙනස් විනෝදාත්මක රැලියක් ලෙස ‘Get to The Point’ ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්ම ධාවන රැළිය සංවිධාන කර ඇති බවයි. ධාවන තරගය සංවිධාන කරන තරග තීරකයන් විසින් ලබාදෙන කාළ රාමුව තුළ ධාවනයේ නිරත වෙමින් ක්‍රියාකරකම් සමූහයක් සිදු කිරීමට නියමිතව ඇති බවත්, නිසි කාළ රාමුව තුළ ධාවන මඟ දෙපස ඇති තීරකයන්ගෙන් තම කාළය නිසි ලෙස සටහන් කොට තරග අවසානය තෙක් තරග නිතිරීති අනුව පැමිණිය යුතු බවත් පවසා සිටියේය.

ශූරතා තරගයට සහභාගිවන සම්මත රියදුරු හා සහයක රියදුරු වෙනුවට තරගකරුවන් සිවුදෙනකුට එක් වාහනයක ගමන් කිරීමේ හැකියාව සහිත නවමු ක්‍රියාවලියක් මේ ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලියට එක් අර ඇති බවත්, අශ්ව බල 1000 අඩු මෝටර් රථ අශ්වබල 1000ට වැඩි මෝටර් රථ, ජීප් රථ හා කැබ් රථ ලෙස කාණ්ඩ තුනක් යටතේ තරගය පැවැත්වෙන අතර එම එක් එක් කාණ්ඩ යටතේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධානයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක අජන්ත ජයවර්ධන මහතා පවසා සිටියේ මේ තරගය හුදෙක්ම විනෝදාත්මක තරගයක් පමණක් වුවත් ඒ තුළින් නායකත්වය වර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, තම සංවිධානයේ කාර්යය බාරය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මෙයට සමගාමීව පැවැත්වීමට නියමිතව ඇති බවත්ය. මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට ගුවන් ප්‍රවේශපත්‍ර, ජංගම දුරකථන හා ලැප්ටෙප් පරිඝනක ප්‍රදානය කිරීමට සංවිධායකයෝ බලාපෙරොත්තු වේ.

ටෝස්ට්මාස්ටර්ස් හි ක්‍රියාකාරීත්වය මහජනතාව අතරට ගෙනයාම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ ක්‍රියාන්විතය මගින් තරුණ වැඩිහිටි හා මැදි වයස් කාණ්ඩවල ඕනෑම අයෙකුට ‍ ටෝස්ට්මාස්ටර්ස් සංකල්පය මැනවින් වටහා ගැනීමට අවස්ථාව සැලැසෙන බවත්, එමගින් තවත් බොහෝ පිරිසක් ටෝස්ට්මාස්ටර්ස් හා එක්වනු ඇති බවට තමා විශ්වාසය පළකරන බවත් මේ අවස්ථාවට එක්වූ ටෝස්ට්මාස්ටර්ස් ජාත්‍යන්තරයේ සභාපති බාල්රාජ් අරුනාචලම් මහතා පැවැසීය.

සමාජයට අවශ්‍ය නායකයන් බිහිකිරීම සඳහා කටයුතු කරමින් සමාජ සංවර්ධන කාර්යය සඳහා කැපවූ ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය පුද්ගලයන්ගේ කථන, සන්නිවේදන හා නායකත්ව කුසලතාවන් වර්ධනය කරමින් කටයුතු කරන අතර එම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවන පාර්ශ්ව එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත්කරලීම සඳහා ද කැපවී කටයුතු කරන ආයතනයකි.

මේ අවස්ථාවට ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධානය නියෝජනය කරමින් හිටපු දිස්ත්‍රික් අධ්‍යක්ෂක සුදේශ් ලියනගේ, වත්මන් දිස්ත්‍රික් අධ්‍යක්ෂ අජන්ත ජයවර්ධන හා ක්‍රියාශීලි කමිටු සභාපති ෆාවස් ජේනුඩීන් මහත්වරුන්ද එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...