අවසර! | දිනමිණ

අවසර!

අපේ රටේ ජනතාවගෙන් බහුතරය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමට ඡන්දය පාවිච්චි කළේ ඇයි? අපේ රටේ ජනතාවගෙන් බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමට ඡන්දය පාවිච්චි කළේ ඇයි? එහි එක් අරුතක් වන්නේ දැනට පවත්නා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවය. 1970 ගණන්වලද මෙබඳු විරෝධතාවක් පැවැතිණි. 1980 ගණන්වලද මෙබඳු විරෝධතාවක් පැවැතිණි. අදත් එබඳු විරෝධතාවක් පවතී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ‍වෙනස් කළ යුතුය යන්න දීර්ඝ කාලයක සිට සංවාදයට ලක්වන මාතෘකාවකි. ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වරින් - වර විවිධ පියවර ගෙන තිබේ. එහෙත් ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. ආණ්ඩු පක්ෂය එකක් කියන විට විපක්ෂය තව එකක් කියයි. විපක්ෂය එකක් කියන විට ආණ්ඩු පක්ෂය තව එකක් කියයි. එතැන ඇත්තේ කඹ ඇදීමකි.

මේ කඹ ඇදීම නිසා ව්‍යවස්ථා සංශෝධනය නැතහොත් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම දිනෙන් දින කල් ගියේය. ඊට කදිම අවස්ථාවක් දැන් ඇති වී තිබුණද ආයතන හා පුද්ගලයන් අතර පවත්නා විවිධ ගැටලු නිසාම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කියන්නෝ ද සිටිති.

පෙරේදා මුළු රටම කැලඹී ගියේ මහා නායක හිමිවරුන්ද නව ව්‍යවස්ථාවට එකඟතාව පළ නොකරන බවට ප්‍රකාශයක් කර තිබූ බැවින් ය. මල්වතු හා අස්ගිරි පාර්ශ්වල කාරක සංඝ සභා රැස්වෙමින් තීන්දු කර ඇත්තේ උක්ත ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කළ යුතු බවය. මහජනයා මේ අදහස් කොයි හැටියකට වටහා ගනිත්දැ’යි අප දන්නේ නැත. මේ සිද්ධිය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන කළ පෙනී යන්නේ මහා නායක හිමිවරුන් උක්ත සංඝ සභාවට සහභාගී වී නැති බවය. එහෙත් එය රට ගිනි තියන ප්‍රවෘත්තියක් බවට පත්වූයේ මහ නාහිමිවරුද ව්‍යවස්ථාවට විරුද්ධ වෙති යන ප්‍රවෘත්තිය නිසා ය.

රටේ පවත්නා ආගමික අත්දැකීම් වලට අනුව මහනායක හිමිවරු රටේ දේශපාලනය ඇතුළු වැදගත් වි‍ශේෂ සිදුවීම්වලට ද තවත් පොදු ජන සේවා කටයුතුවලට ද ඍජුව මැදිහත් වෙති. එය රටේ පවත්නා සාංස්කෘතික කාරණයක් ලෙස ද සැලකිය හැකිය. අතීතයට අනුව ද රාජ්‍ය පාලකයාගේ සමීපතමයාද, උපදේශකයා ද වූයේ භික්ෂූන් වහන්සේ බව කිව යුතුය. සංඝ සමාජයේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ආණ්ඩුවක් වෙත ලැබිය යුතුය. එහෙත් දැන් එය සිදුවන්නේ ද යනු ගැටළුවකි.

අප දන්නා තරමට රටේ මහනායක හිමිවරුන්ගේ මෑතකාලීන මතය වූයේ ද; ජාතීන් අතර සමගිය උදාකිරීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම වැදගත් බවය. මහා නායක හිමිවරුන් නොයෙක් සභාවලදී ද සම්මන්ත්‍රණවලදී ද කළ හෙළිදරව්වලින් එය සනාථ වේ. උන්වහන්සේලා හදිසියේ වෙනස් වූයේ දැයි අප දන්නේ නැත. එලෙස ම මහා නායක හිමිවරුනට බලපෑමක් වූයේ ද යන්න ද අප දන්නේ නැත. එහෙත් ව්‍යවස්ථා වෙනසට මුහුණ නොදීමෙන් හා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ අපේ ප්‍රභූ සමාජය පවා ශ්‍රී ලංකාවේ දේශපාලන මඩ වගුර ගැන හොඳින් වටහාගෙන නැති බවය.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යනුවෙන් සටන් පාඨයක් පවතී. කුර්දිවරුනට මැද පෙරදිග ස්වාධීන රාජ්‍යයක් පැවැතිය යුතු යැයි තවත් සටන් පාඨයක් පවතී. පළමු ගැටලුව ලතින් අමෙරිකාවට හා යුරෝ පයට බලපායි. දෙවන ගැටලුව තනිකර ආසියාවටත්; ඉනික්බිති අමෙරිකාව ඇතුළු යුරෝපයටත් බලපායි. ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාවට අනුව කැටලෝනියාවට දේශපාලන වශයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කළ නොහැකිය. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව එබඳු ප්‍රයත්නයක් ඇතොත් අවි බලයෙන් වුව එය වැළැක්විය හැකි ය.

කුර්දිවරුන්ගේ ගැටලුව මතුවන්නේ ඔටෝමෑන් රාජ්‍ය තන්ත්‍රය බිඳවැටීමත් සමඟය. ‍ඩොමිනීයන් හෙවත් ඉංග්‍රීසි පාලන තන්ත්‍රය යටතේ කුර්දිවරුන්ට බලවත් අයුක්තියක් සිදුවී තිබේ. මේ ගැටලුව තීව්‍ර තත්ත්වයකට ගෙන ආවේ සදාම් හුසේන් වැනි පාලකයන් යැයි කියන්නට පුළුවන. ඒකාධිපති පාලකයන් සුළු ජන කණ්ඩායම් ගැන කල්පනා කරන්නේ නැත. මිනිස් කණ්ඩායම් හා ගෝත්‍ර සම්බන්ධයෙන් පවතින මත හා සංකල්ප ද ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ නැත. ඒකාධිපති පාලකයන්ට ඒවායින් පලක් නැත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවට සිදුවූ‍යේ ද එයමය.

රටේ දේශපාලකයන් අවංකද යන ප්‍රශ්නය මෙහි දී මතුවෙයි. 78 ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු ප්‍රධාන අංගය විධායක ජනධිපති පදවිය යැයි කියති. මෙය බලවත් සේ විවේචනයට ලක් වූ කාරණයෙකි. ඒ අනුව බලයට පත් වූ බොහෝ නායකයෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දින හා වකවානු පවා ප්‍රකාශයට පත් කළහ. එ‍හෙත් එය කිසිදා සිදුවූයේ නැත. විධායක ජනාධිපති ක්‍රමය අ‍හෝසි කරනු වෙනුවට එය තවදුරටත් පවත්වා ගැනීමටද, එහි බල සීමා පුළුල් කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය. ඔහු ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදු කළේ ය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා අවංක කැපවීමක් සිදු කර ඇති එකම නායකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණි. එය අප කවුරුත් පිළිගත යුතු යථාර්ථයකි. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් ගෙන යන සටන් පාඨයේ පහර වදින්නේ ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට බව කිව යුතුය. මෙයින් සිදුවන්නේ රටේ දේශපාලන නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය අවස්ථාවක් අහිමි වීමය.

රටක සියලු ජනතාවට ගැළපෙන ව්‍යවස්ථාවක් නැතහොත් ඒ රටට සමෘද්ධිමත් අනාගතයක් ඇතැයි විශ්වාස කළ නො හැකි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...