ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ රාජ්‍ය නායකයෝ (1 කොටස) | දිනමිණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ රාජ්‍ය නායකයෝ (1 කොටස)

 ශ්‍රී ලංකාවේ මුල්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම රැස්වීම පැවැත්වී ඇත්තේ 1947 ඔක්තෝබර 14 වැනි දිනය. 70 වසරක පාර්ලිමේන්තු ඉතිහාසය ඇරැඹුණේ එදාය. උක්ත මංගල රැස්වීම පැවැත්වෙන අවස්ථාව වන විට එකී ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන තනතුරු දැරුවේ ශ්‍රීමත් ෆ්රැන්සිස් මොලමුරේ, ප්‍රථම කතානායකතුමාත්, ඩී. එස්. සේනානායක ප්‍රථම අගමැතිතුමාත්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ප්‍රථම සභානායකතුමාත්, ආචාර්ය එන්. එම්. පෙරේරා ප්‍රථම විපක්ෂ නායකතුමාත්, ආර්. එස්. එස්. ගුණවර්ධන ප්‍රථම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාත් වශයෙන්ය. ඒ උදාර ප්‍රථම මන්ත්‍රීන් පිරිස මෙරටට හෙළි-පෙහෙළි කර දී ඇත්තේ ආදර්ශවත් ව්‍යවස්ථාදායක මාවතකි. උක්ත කාල පරාසය තුළ මෙරට ව්‍යවස්ථාදායකයේ සටහන් වුණු අමතක නොවන සිදුවීම් ද නොසලකා හැරිය නොහැකිය. උක්ත කාල වකවානුව තුළ පවුල් වශයෙන් මෙන්ම පෞද්ගලිකවත් ව්‍යවස්ථාදායකයේ වාර්තා පිහිටුවූවෝ ද වෙති.

සෙනෙට් සභාව

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ‘පාර්ලිමේන්තුව’උත්තර මන්ත්‍රී මණ්ඩලයකින් හෙවත් සෙනෙට් සභාවකින් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් ද සමන්විත විය. සෙනෙට් සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දේශපාලන පක්ෂ නියෝජනය අනුව තේරී පත් වන 15කින් හා අගමැති නිර්දේශයෙන් (මෙරට නිදහස ලැබීමට පෙර) ආණ්ඩුකාරතුමා සහ (නිදහස ලද පසු) අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත් කැරෙන 15කිනුත් යනුවෙන් 30 දෙනකුගෙන් සමන්විත විය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනය අනුව 1971 ඔක්තෝබර 02 වැනි දින සෙනෙට් සභාව අහෝසිවීම තෙක්ම එම සංඛ්‍යාවේ වෙනසක් සිදු නොවීය.

මහජන මන්ත්‍රී මණ්ඩලය

මුල්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මහජන ඡන්දයෙන් තේරී පත් වුණු මන්ත්‍රීන් 95කින් හා පත් කරන ලද මන්ත්‍රීන් 6කිනුත් වශයෙන් 101 දෙනකුගෙන් සමන්විත වුවත්, 1960 මාර්තු මහ මැතිවරණ ප්‍රතිඵල අනුව පත් වුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් සංඛ්‍යාව (සීමා නිර්ණය කොමිෂන් සභා නිර්දේශ අනුව) තේරී පත් වුණු මන්ත්‍රීන් 151කින් හා පත් කරන ලද මන්ත්‍රීන් 6කිනුත් වශයෙන් 157 දෙනකු තෙක් වැඩි විය. 1972 මැයි 22 සිට ක්‍රියාත්මක ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එතෙක් ‘ලංකාව’වශයෙන් හැඳින්වුණු මෙරට ‘ශ්‍රී ලංකාව’ වශයෙනුත්, ‘නියෝජිත මන්ත්‍රී මණ්ඩලය’වශයෙන් හැඳින්වුණු ව්‍යවස්ථාදායකය ‘ජාතික රාජ්‍ය සභාව’වශයෙනුත් හැඳින්වීම ඇරැඹුණු අතර මන්ත්‍රී සංඛ්‍යාවේ වෙනසක් නොවීය. අදාළ සීමා නිර්ණය කොමිෂන් සභාවේ නිර්දේශ අනුව 1977 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව පත් වුණු දෙවැනි ජාතික රාජ්‍ය සභාව, තේරී පත් වුණු මන්ත්‍රීන් 160කින් හා පත් කැරුණු මන්ත්‍රීන් 8ක් වශයෙන් මන්ත්‍රීන් 168කින් සමන්විත විය.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (1)අනු ව්‍යවස්ථාව අනුව එතෙක් ‘ජාතික රාජ්‍ය සභාව’යනුවෙන් හැඳින්වුණු ව්‍යවස්ථාදායකය ‘පාර්ලිමේන්තුව‘වශයෙන් හැඳින්වුණු අතර, මන්ත්‍රී සංඛ්‍යාව 225 තෙක් වැඩි විය.

ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රී සංඛ්‍යාව එසේ ශීඝ්‍රයෙන් ඉහළ ගිය ද, ‘ගණපූරණය’උක්ත වැඩිවීම්වලට සාපේක්ෂව වැඩි කිරීමට උනන්දු වූ බවක් නොපෙනේ. මන්ත්‍රී සංඛ්‍යාව හුදෙක් 101ක්ව තිබූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ‘ගණපූරණය’20ක් බව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි වගන්තියේ දැක්වෙන අතර, ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 168 තෙක් වැඩි වුව ද, එහි ද ‘ගණපූරණය’20ක් පමණක්ම බව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් තහවුරු වේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව 225 තෙක් ඉහළ ගිය ද, පුදුමයකට මෙන් එහි 73 වන ව්‍යවස්ථාවේ අවධාරණය කොට ඇත්තේ ද ‘ගණපූරණය’හුදෙක් 20ක්ම පමණක් බවයි. එතෙකුදු වුවත් ඉන් පසුව ද ‘ගණපූරණය’නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම් කල් තබන්නට සිදු වූ අවස්ථා ද විරල නොවේ.

රාජ්‍ය නායකයෝ

ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මුල් වරට රැස් වූ 1947 ඔක්තෝබර 14 වන විට මෙරට රාජ්‍ය නායකයා වූයේ එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මන්ක්-මේසන් මුවර් මැතිතුමාය. මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ස්වාධීනත්වය ලැබුණු 1948 පෙබරවාරි 04 සිට එම ‘ආණ්ඩුකාර’ ධුරය ‘අග්‍රාණ්ඩුකාර’ධුරය බවට පත් විය. එබැවින් එතුමා මෙරට අවසාන ආණ්ඩුකාරතුමා මෙන්ම ප්‍රථම අග්‍රාණ්ඩුකාරතුමා ද විය. මෙරට දෙවැනි අග්‍රාණ්ඩුකාරතුමා බවට 1949 ජූලි 06 වැනි දින පත් වූයේ අතිගරු එච්. ආර්. සෝල්බරි සාමිතුමාය. මෙරට තුන්වැනි අග්‍රාණ්ඩුකාරතුමා මෙන්ම එම තනතුරට පත් මුල්ම ලාංකිකයා වූයේ ද 1954 ජූලි 17 වන දින එම තනතුරට පත් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමාය. 1962 හමුදා කුමන්ත්‍රණ හෙළිදරව්වත් සමඟ ඇති වුණු අර්බුදකාරී තත්ත්වය නිසා එවක අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් අනුව එතුමාට එම ධුරය අත් හරින්නට සිදු විය. ඉන් අනතුරුව හතර වැනි අග්‍රාණ්ඩුකාර ධුරයට 1962 මාර්තු 02 වන දින පත් වූයේ විලියම් ගොපල්ලව මැතිතුමාය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් මුල් වරට එම තනතුරට පත් කරන ලද්දා වූත්, එතුමියගේ ළඟම ඥාතියකු වූත් ගොපල්ලව මැතිතුමාගේ ප්‍රථම ධුර කාලය අවසන් වූ පසු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් පවා එතුමාගේ ධුර කාලය තව දුරටත් දීර්ඝ කරනු ලැබීම ද සුවිශේෂත්වයක් උසුලයි.

මතු සම්බන්ධයි

ලෝරන්ස් ජයකොඩි
විශ්‍රාම ලත් පාර්ලිමේන්තු සහාය 
හැන්සාඩ් සංස්කාරක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...