ලිහී විසිරෙන නෙළූ මල් මිටි | දිනමිණ

ලිහී විසිරෙන නෙළූ මල් මිටි

 දිය බිඳකුදු හෝ නොවට, උතුරේ වියලී ගිය ශුෂ්ක බිම අරා නැගුණු ලඳු කැලෑ - කටු පඳුරු පවා සෝ භරිත කොට, අප හැර ගිය දියණිය විද්‍යාට අංශුමාත්‍ර හෝ යුක්තියක් ඉටු වී ඇත. ඒ ඇගේ හිරිමල් යෞවනයේ සිහින සොරාගත් පාපතරයන් කැළ, දිවි ඇති තෙක් දඟ ගෙට දැක්කීමට දුන් අධිකරණ නියෝගයෙනි.

රත්න ශ්‍රී විජේසිංහයන්, සොර බොර වැව පීරා නෙලූ මල්, මහියංගන පුදබිම මත තබා විකුනූ අවිහිංසක කෙලි පොඩිත්තියක, දියේ ගිලී මළ ශෝකජනක පුවත අමරදේවයන්ගේ මුවට නැංවූයේ මෙසේය.

'වැවට කළුවර යා වුණා - සංසාර දුක බෝ වුණා, නෙළූ මල් මිට ලිහී විසිරී - එහා ඉවූරට පා වුණා'

සොරබොර වැවේ ගිලුණු මේ මල් කැකුළ එසේ දිය රකුසාට බිලි වූයේ ඇගේ වරදින් නොවේ. ඇයත් ඇගේ පරපුරත් පීඩා විඳි අනවරත ජීවන අරගලයේ සදාතනික ගොදුරක් ලෙසිනි. උතුරු කොනේ ශිල්ප හැදෑරූ විද්‍යා ද තම දිවි හැර ගියේ ක්‍ෂුධා ගින්නෙන් පෙළී හෝ ස්වාභාවික ආපදාවකට බිලි වීමෙන් හෝ නොවේ. නුරා ගින්නෙන් ඇවිලී, කාමාග්නියෙන් සියොලග වෙලා ගත් කාමාතුරයන් රංචුවකගේ නොමඳ වධයට ලක් වීමෙනි.

මහියංගනේ කැලෑබද පැල්පතක වේවා, කයිට්ස්හී පුංගුඩුතිවු මංසන්ධියේ වේවා, මෙසේ ප්‍රාණය නිරුද්ධ වූයේ ලක්මවගේ කුසින් බිහි වී, ඇයගේ ඇකයේ නැළවී, රටක් එකලු කල හැකි සාරවත් යෞවනයේ මහිමය දායාද කොට උපන් දඟකාර කෙළිලොල් දරුවෙකි. කොහේ, කවදා, කවර අම්මෙකුට හෝ වේවා ජාතක වන දරුවා ඇගේ දරුවෙක් පමණක් ම නොවේ. අප කාගේත් දරුවෙකි. 'පුත්ථා වත්ථු මනුස්සානං' යැයි බුදුන් දෙසුවේ එබැවිනි. විවාපත් යුවතිපතීන්ගේ කැදැල්ලට උණුසුමත්, මිහිරත් කැන්දන්නී ඈ ය.

'පුංචි පුංචි තරු කැට මැද දිලිසෙන සඳ වත - සඳු මොකටද තරු මොකටද, මට මගෙ දුව ඇත'.

විද්‍යා දියණියගේ මව සිවලෝගනාදන් සරස්වතීය. ඇයගේ අහසත්-පොළොවත්, ඇයගේ දිවියත්, අකලට සමුගත් විද්‍යා වූවාය. කැදැල්ලේ සතුට සොරාගත් මෘගයන් හා සම තිරස්චීන නරුමයෝ එදත් සිටියෝය. අදත් සිටින්නේය. හෙටත් බිහි වනු ඇත. මුළු කඳ සුරිඳු පුරවරයට ම සිනා සපිරි වසන්තය කැන්දූ ප්‍රේමවතී මනම්පේරිය ද බිලි ගත්තේ ස්වීස් කුමාර් හා නොදෙවෙනි කාමාතුරයෙකි. ඒ කපිතාන් විජේසූරියයි. එවන් නරුමයන් සමාජයේ ඉහළට පැමිණියේ පරක් තෙරක් නැති සමාජවාදී විප්ලවයක් වෙත දෙවරක් මුළු රටම බිලි දුන්, බොළඳ විප්ලවවාදී ළදරුවන්ගේ ගල් කටස් අරගලයේ නියත ප්‍රතිපලයක් ලෙසිනි. රාජ්‍ය යාන්ත්‍රණයේ ඇන මුරිච්චි බඳු මිලිටරිකාරයන්ගේ ප්‍රාණ වධයට ලක් වී තම පතිවතද බිලි දුන් මෙවැනි මුවැත්තියන්ගේ ආත්මයට ධනපති දේශපාලකයන් පමණක් නොවේ, සමාජවාදී සිහින මත කුහක මාලිගා තැනීමට පිඹුරුපත් සැකසූ ව්‍යාජ විප්ලවවාදීන් ද වගකිව යුතුව ඇත.

ප්‍රේමවතියගේ ප්‍රාණය නිරුද්ධව නොතිබුණද, උදැල්ලක් අතින් ගත් අහිංසක කම්කරුවෙක් වූ ඇලඩින්ට ඇයව යටකොට පස් දමන ලෙස අණකළේ මෙකී විජේසූරියයි. තම අවසන් සුසුම් පොද වා තලයට මුසු වන අවසන් නිමේෂයේ පවා මනුෂ්‍යත්වයේ සැබෑ ප්‍රාතිහාර්ය පෑ මේ මිනිස් දුව, තම කනකර ගලවා ඇලඩින් අත පත් කළේ, ඒ තම පෙම්බර මවගේ අත පත් කරන ලෙස ඉල්ලමින්ය.

එකල, මෙකල මෙන් එවන් ඝාතකයන් බේරා ගැනීමට පිඬු සිඟා වැඩි තෙරුන් වහන්සේලා නොසිටියේය. බහුතරයක් සැබෑ යුදයක පැටලී දිවි හිමියෙන් සටනට පත් සමයෙක, අභය ඉල්ලා පැමිණි අසරණ ජනයාගේ කණකර ආයිත්තමේ සිට, කන්‍යාබව දක්වා වූ සියල්ල බිලිගත් සුළුතරයක් වූ පිරිස, රණවිරුවන් යැයි ප්‍රහර්ෂයට නංවන සඟ රුවනක් එදා නොසිටීම නම් සැබෑම වාසනාවකි. එසේ වූවා නම් විජේසුරියද රණ විරුවෙකි. දේශප්‍රේමියෙකි. විදුලි පුටුව පෙනී පෙනී රට බේරා ගත් පංචායුධ කුමාරයෙකි. අහෝ බුදුනි, යලිදු මෙරටට වැඩම කොට, මෙකී සඟුන් හට ධර්මය කිමැයි දෙසනු මැන !!

විද්‍යා සැබවින්ම ඝාතනය වූයේ වරක් හෝ දෙවරක් නොවේ. කිහිප වරකි. ඇය සමූහ දුෂනයට ලක් කොට සැඟවී ගත් චුදිතයන්ගෙන් පසුව, ගහලයාගේ කාර්යය භාරගත්තෝ වෙන අන් කිසිවෙක් නොවේ, මාධ්‍යකරුවෝය. නෂ්ඨකාමයේ පරප්‍රාප්ත ජරපත් ලියන්නෝ සමුහයක්ව දූෂණය කොට විකිණූ විද්‍යාගේ මෘත කලේබරයෙන් නිසි වැඩ ගත්තෝ, ඉන් රන් මසු ඉපැයූ කුසීත වහල් හිමියන් බඳු මාධ්‍ය මුදලාලිලාය.

තම ප්‍රාණ සම වල්ලභයා හා අතිනත් ගෙන පෙම්සුව විදීමට මෝදර කාක දුපතට ආ රීටා ජෝන් නම් ඉන්දියානු සුරූපිනියගේ නාරි දේහයට වශීකෘත වූ සල්ලාලයන් ඇයගේ දිවි තොර කරන ලද්දේ මීට කලකට ඉහතදීය. එතැන් පටන් පාපතරයන්ට බිලි වූ මෙරටේ සිහින කුමරියන්ගේ ප්‍රමාණය අප කවුරුත් එකසේ නොදන්නෙමු. වාර්තා වූ ප්‍රමාණය, නොවු ප්‍රමාණයට වඩා හැම විටම අධිකය. සඟුන්ගේ කර්ණ රසායන පිරිත් දේශනාවෙන් වැඩ අරඹන අප, දවස නිමා කරන්නේද ලෝකෙන් උතුම් රට අපේ රට යැයි දිගන්තයේ ප්‍රතිරාව නංවන මමංකාර භාෂිතයෙනි. කරුණු එසේ වුවද දරු සිඟිත්තා ඇකයේ සිටියදීම තම කාමාශක්ත චේතනා සමහන් කර ගන්නා වයස්ගත වසලයන් වාසය කරන්නේත් මේ ස්වර්ණ භුමියේමය.

එදා මෙදා තුර පෝරකයට බිලි වු චූදිතයන්ගේ ප්‍රමාණය 1137කි. ඉන් 37ක් කාන්තාවෝය. මින් සුවිසල් ප්‍රමාණයක් අයත් වන්නේ කාන්තා පහසට ලොල් වු ජීවිතය පුනරුත්ථාපනය කර නොගත් පිරිමින්ගේ ගණයටය. සර්පිලාකාරව ස්ත්‍රී දූෂණ වැඩි වුවද ඊට එරෙහිව ප්‍රමාණවත් උත්සාහයක් ගන්නෝ දුලබය. ලඳු කැලෑවේ මත නොව මහමග බස් රථයේ පවා දිනෙන් දින වාර්තා වූ නිමක් නැති සමුහ දූෂණ ගොන්න ආපස්සට හරවන්නට සමත් ස්වේච්ජා ව්‍යාපාරයක් ඉන්දියාවෙන් ඇරඹුණේ වසර 2012 දීය. ඒ වෛද්‍ය සිසුවියක් නොමරා මරමින් බසයක් තුළ කම් සැප සෙවූ මෘගයන් පිරිසක් ඇය මරා දැමීමත් සමඟිනි. 'නිර්භයා' ව්‍යාපාරය යැයි නම් ලද එකී තරුණ එකතුව විචාරකයන් අද හඳුන්වන්නේ 'ඉන්දියාවේ අරාබි වසන්තය' ලෙසිනි.

තමා අවට කවර නස්පැත්තියක් වුවද හාවක්-හූවක් නොමැතිව සැරිසරන මෙරටේ කොළඹ කේන්ද්‍රීය මහිලාවන්ට, 'නිර්භයා' ව්‍යාපාරය හරහා ගත හැකි පාඩම් බොහෝය. එපමණක්ද, බලයට පත් වන මැති ඇමතිවරුන්ගේ සිහින සපුරාලීමට බිලි බෝයිලා වී ඇති නංගිලා මල්ලිලාටද යමක් කිව යුතුය. ජරපත් දේශපාලකයන්ගේ සාම්ප්‍රදායික න්‍යාය පත්‍ර වීසිකොට අඩු තරමේ ඉන්දියාවෙන්වත් ඉගෙන ගැනීමට සූදානම් වන්න. සමාජ වෙනසක් තබා සමාජ උවදුරකට එරෙහි සාමුහික හඬක් නැගිය නොහැකි මෙවැනි සුදු අලි නඩත්තුව තරම් වෙනත් අවාසනාවක් රටකට තිබිය නොහැකිය.

දහසක් ආයාචනාත්මක දෑස් එක පැහැර යොමු වී තිබුණේ උතුම් විනිසුරු මඩුල්ලේ මහත්වරුන් දෙසය. ඒ යුක්තියේ කන්‍යාවගේ හැසිරීමට ලංකාවේ එතරම් නොවටින බැවිනි. නීතියේ ආධිපත්‍යය යකාට ගිය එම යුගයේ සාරුවා සුනිල් පෑ වික්‍රමයන් දන්නේ ගිරුවාපත්තුවේ බේබිලා පමණි. එහෙවු රටේ ඉලංචෙලියන්ලා දෙස උපේක්ෂාසහගතව බලා සිටීම යුක්ති යුක්තය. තම නිර්භය පිළිවෙත නිසාම කෙස් ගසින් බේරුණු එවන් විනිසුරන් ජාතියට සම්පතකි. “කඳුළු සළන්නට නොහැකි විනිසුරුවරයෙක් විනිසුරෙකු වන්නට සුදුසු නැත”යැයි කීවේ ශ්‍රේෂ්ඨ ඉන්දියානු විනිසුරු වී.ආර්. ක්‍රිශ්ණ අයියර් ය. එනයින් බලන කල අපේ විනිසුරන් එකෙක් දෙන්නෙක් අලි දම්මවා පෑගුවත් මදිය. එසේ කීවා යැයි නීති සංගමයේ හිස් පුඟුලන් මාධ්‍ය සාකච්ජා නොතැබුවාට කම් නැත. යහපත් විනිසුරන් වෙත අපේ සැබෑ අභිමන හිමි වන බැවිනි.

දරු සෙනේ සම් මස් නහර ඇට, ඇට මිදුළු තුළට වැද නිබඳව රිදුම් දෙන්නේය. ටිකිරි සිනා පාමින් ගේ පුරා දුව පැන යමින් නිවසට සරස්වතිය කැන්දු ප්‍රාණසම දියණිය ඔවුන් සියල්ලෝ හැර ගොස්ය. ගොරතර යුද සංග්‍රාමයකට මැදිව ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති විද්‍යාගේ අසරණ පියා අහස දෙස දෑස් යොමා සිටී. අබලව දුබලව ගිය තැන කවන්නට, පොවන්නට පේවූ දරුවා හොරු ගෙනගොස් කලක් ගත වී ඇත. දකුණේ පොල් කොළත් -උතුරේ තල් කොළත් එකට එක් කොට සමගියේ කළාල වියන්නට තැත් දරන මහත්වරුනි. උතුරේ මැරෙන්නේත්, දකුණේ මැරෙන්නේත් අපේ දරුවන්ය. බිම් කඩට ලොබ බැඳ එකිනෙකා හා යුද නොවැද මනුෂ්‍යත්වය උදෙසා සටන් වැදීම මැනවි.

දයාබර විද්‍යා සොයුරිය, අප මහී තලයට ඔබ බර දරා ගන්නට නොහැකි වූවා වැනිය. අහිංසකාවියන් බිලි ගන්නා නොමිනිසුන්ගේ ලෝකයෙන් ඔබ ඈත්ව ගියද, එකී මිනිසුන් හා සටන් වදින ලොව කවර භාග්‍යවත් නිර්භය සොයුරියක්, සොහොයුරෙක් සිටීද ඒ හැමට මඟ කියන පහන් තාරකාවක්ව පායා ඔවුන් පෙරමඟ සදාකල් එළිය කරනු මැන.

මංජුල ගජනායක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...