AIA මෙහෙ­වර අඛ­ණ්ඩව ඉදි­රි­යට | දිනමිණ

AIA මෙහෙ­වර අඛ­ණ්ඩව ඉදි­රි­යට

අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 23 වසරට පිවිස සිටින AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරන තුරුම මාසික ආධාර මුදලක් පිරිනමනු ලබයි.

වර්ෂ 1994 දී ආරම්භ කරන ලද මේ වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම සහ වඩාත්ම කැපීපෙනෙන සිසු දරුදැරියන්ට අත්වැල සැපයීම සඳහාය. ඒ මේ රටේ අනාගතය ඔවුන් වන බැවිනි. AIA ශිෂ්‍යත්ව දිනා ගැනීමට AIA සේවාලාභීන් වීම අවශ්‍ය නොවන අතර, මේ ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ අධ්‍යාපන කටයුතුවල දී දක්වන දක්ෂතා මත පමණක් පදනම්ව වීම විශේෂ කරුණකි.

මේ වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්වය සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ දීපාල් සූරියආරච්චි තමාගේම පෞද්ගලික අත්දැකීම් ඔස්සේ, බාධාවන්ට නතු නොවී තම ඉලක්ක කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සිසු දරුදැරියන් දිරිගැන්වීය. ඔහු සිය කතාව අවසන් කළේ “කෘතවේදීත්වය පිළිබඳ ආකල්පයක් සහිත ජීවිතයක් ගත කරන්න” යැයි පවසමිනි.

දීපාල්ගේ කතාවෙන් ඇති වූ දිරිගැන්වීමෙන් යුතුව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණ සිටි චාරුකා බණ්ඩාර නමැති දීප්තිමත් ශිෂ්‍යත්වලාභී දැරියක් සිය අදහස් හා අනාගත සිහින ගැන රැස්ව සිටි පිරිස හමුවේ කතා කළාය. අධ්‍යාපනය ලබාගැනීම සඳහා විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් බොහෝ වෙහස මහන්සි වී කටයුතු කරන්නට සිදුව ඇති තමන් වැනි සිසු දරුදැරියන්ට ආධාර කිරීම සම්බන්ධයෙන් ඇය AIA ශ්‍රී ලංකා සමාගම වෙත සිය කෘතවේදීත්වය ද පළ කළාය. සිය පවුලේ කිසිවකු AIA රක්ෂණ හිමියකු නොවූවද, තමන්ගේ කැපවීම සහ නොපසුබස්නා දිරිය AIA විසින් පිළිගැනීමට සහ ඇගයීමට ලක් කිරීම ගැන තමන් ඉතා සතුටට පත් වන බව ද ඇය පැවැසුවාය.

නව අදහස දක්වන්න