නැත ඇබෑර්තු ඇත | දිනමිණ

නැත ඇබෑර්තු ඇත

ජය­සිරි මුණ­සිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති  මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමි

 

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළ ශ්‍රමිකයන්ගේ හිඟයට කුමක් කළ යුතු ද? ප්‍රශ්න අප හමුවේ පැනනැගී ඇත. ඊට විසඳුම් සෙවීම ප්‍රමාද කළ යුතු නැත. ඒ නිසා “දිනමිණ කප්රුක” අපි මේ ප්‍රශ්නය පිළිබඳව යම් කතිකාවක් ගොඩනැගීමට කල්පනා කෙළෙමු.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමිගෙන් අපි මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කෙළෙමු. මේ එහි හඬයි.

 

ශ්‍රී ලංකා ශ්‍රම වෙළෙඳපොළේ ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතිනවා ද?

ඔව්.

අනිවාර්යයෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළේ හිඟයක් පවතිනවා. සෑම අංශයකම වාගේ මේ තත්ත්වය දක්නට ලැබෙනවා. විශේෂයෙන් ඉදිකිරීම්, ඇඟලුම්, තාක්ෂණ අංශවල විශාල හිඟයක් පවතිනවා.

 

මේ අන්දමට අපේ රටේ පවතින හිඟය වාගේම ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

ඇත්තටම ගත්තොත්! අපේ රටේ ශ්‍රම වෙළෙඳපොළේ පුහුණු ශ්‍රමිකයින් වාගේම නුපුහුණු ශ්‍රමිකයින්ගේත් විශාල හිඟයක් පවතිනවා. අපි හිතමු නුපුහුණු ශ්‍රමිකයින් ගැන. දැන් බලන්න ගහකින් පොල් ගෙඩියක් කඩා ගන්න, ගෙවත්තක් සුද්ද කරන්න, ළමයෙක් බලාගන්න කොච්චර නම් අමාරු ද කියලා. ඒ ඇයි? ඒ සඳහා අපේ ශ්‍රම වෙළෙඳපොළේ නුපුහුණු ශ්‍රමිකයෝ නැහැ. කිතුල් රා ටිකක්, හකුරු හදන්න, කුඹුරක් කොටන්න, වගා කරන්න කට්ටිය නැහැ. රබර් කිරි කපන්න, තේ දලු කඩන්න කට්ටිය නැහැ. මේකයි මේ ශ්‍රමික හිඟය කියන්නේ.

දැන් බලන්න පුහුණු ශ්‍රමික හිඟය කොහොම ද කියලා. සෑම ඇඟලුම් කර්මාන්තශාලාවක් ළඟම, කර්මාන්ත ශාලා සේවා මධ්‍යස්ථාන ළඟ විශාල දැන්වීමක් දාලා තියෙනවා ඇබෑර්තු ඇත... කියලා. ඒ ඇයි ඒ කර්මාන්ත, ව්‍යාපාර, සේවා කරන්න පුහුණු ශ්‍රමිකයෝ හිඟවීමයි.

 

මේ පුහුණු/නුපුහුණු ශ්‍රමික හිඟයෙන් රටට අත්වන අවාසිය පැහැදිලි කරන්න පුළුවන් ද?

ඇයි බැරි, ඒක තමයි රටේ කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සේවා යන අංශ තුනේම දායකත්වයෙන් ඉහළට යන රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය වේගයෙන් ඉහළට නොයෑම. රටේ අපනයන ආදායම් ඉහළට නොයෑම. ජනතාවගේ අතමිට මුදල් ගැවසීම අඩුවීම, සහනාධාර මත යැපෙන්න පිරිසක් බිහිවීම, රටේ යටිතල පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපන හා වෙනත් සංවර්ධන හා සුබසාධන වැඩවලට යොදන්න තියෙන මුදල් අඩුවීම මේවාගේ බොහෝ අවාසි රටට, රටක ජනතාව වැඩ නොකිරීම නිසා අත්විඳින්න වෙනවා.

 

සේවක හිඟය සෑම අංශයකටම බලපානවා නේද?

ඔව්. අනිවාර්යයෙන්ම ඔව්! දැන් බලන්න කෘෂිකර්මාන්තය ගත්තොත් අපේ රටේ පුරන් කුඹූරු කොච්චර තියෙනවා ද? අක්කර හෙක්ටයාර් ලක්ෂ අටක් විතර පුරන් කුඹුරු තියෙනවා. ඒවායේ වැඩට අවශ්‍ය තරම් පිරිසක් නැහැ. ගොවිතැනට යෙදෙන ශ්‍රමිකයෝ නැහැ.

කර්මාන්ත අංශයට ගත්තත් තත්ත්වය ඒකයි. අපි බලන්න ඉදිකිරීම් කර්මාන්තයේ කොතරම් රැකියා අවස්ථා තියෙනවා ද? පුහුණු පෙදරේරු, වඩු, විදුලි, ජලනළ එලන, පෑස්සුම්, ග්‍රීල් ගේට්ටු හදන, ගොඩනැගිලිවල තීන්ත ගාන, ගෙවතු අලංකරණය කරන වාගේ රැකියා කොච්චර තියෙනවා ද? නමුත් කට්ටිය හිඟයි.

 

මේවාගේ සේවක හිඟයක් නිසා රටේ ආර්ථිකයට සිදුවන හානිය කුමනාකාර ද?

ඔව්. අපි සිතමු කෘෂිකර්මාන්තයේ යෙදෙන්න පිරිස් ප්‍රමාණවත් තරම් නැහැ කියලා. එසේ වූවිට අපිට ආහාර නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් කරගන්න බැරි වෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවය නැති වෙනවා. ආහාර හිඟයට පිළියමක් ලෙස පිටරටින් ආහාර ද්‍රව්‍ය ගේන්න වෙනවා. අතිවිශාල මුදලක් විදේශ විනිමය ඒ සඳහා වැය කරන්න වෙනවා. රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මෙය හේතුවක් වෙනවා.

ඒවාගේමයි යම් කර්මාන්තශාලාවක නිෂ්පාදන ධාරිතාවය ඉල්ලුමට සරිලන පරිදි නිසි වේලාවට ලබාදීමට නොහැකි වෙනවා. සේවක හිඟය නිසා අපේ කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම, ‘ඕඩර්ස්’ නිසි කාලයට, වේලාවට නිෂ්පාදනය කර ලබාදීමට නොහැකිවීමෙන් රටට ලැබෙන අපනයන ආදායම් පහළ යනවා.

තව පැත්තක් තියෙනවා, අපි සිතමු ගොඩනැගිල්ලක්, කර්මාන්තශාලාවක් ඉදිකරනවා කියලා. ඒ සඳහා පුහුණු පෙදරේරුවෝ, වඩුවෝ නැත්නම් එහි ඉදිකිරීම් මාසයෙන් කරන එක මාස 2, 3 කල් යනවා. මේවාගේ ඉදිකිරීම් කල්යෑමෙන් සම්පත් අහිමි වෙනවා. නව ආයෝජකයෝ රටකට එන්නේ මුදලක් ආයෝජනය කරලා ලාබ ලබාගන්න. පුහුණු/නුපුහුණු ශ්‍රමය හිඟනම් නව ආයෝජන එන්නේ නැහැ. අලුත් කර්මාන්ත, සේවා ආරම්භ නොවීම ආර්ථික වර්ධනය පහළයෑමට බලපානවා.

මේ ප්‍රශ්නය කර්මාන්ත අංශයට වාගේම සේවා අංශයටත් බලපානවා. කෘෂිකර්ම අංශයට විශේෂයි. දැන් බලන්න ධීවර, පශු සම්පත්, සත්ත්ව නිෂ්පාදන, වාරිමාර්ග යන අංශත් කෘෂි අංශයට අයත්. මේවායින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත්! අපේ රට සහලින් වාගේම දියර කිරියෙන්, මස්, බිත්තර, මාළුවලින් ස්වයංපෝෂිත වෙන්න නම් මේ අංශවලට නව ශ්‍රමිකයෝ යොදාගෙන ඒවායේ වාණිජ වැඩපිළිවෙළක් බිහිවෙන්න ඕනෑ. එසේ නොවන තරමට අපි කිරි, මස්, මාළු, බිත්තර පිටරටින් ගෙන්වන්න රුපියල් කෝටි ගණනක් අවුරුද්දකට වැයකරනවා. ඒ මුදල් රටේ ඉතිරි කරගන්න අපට පුළුවන්කම හොඳටෝම රටේ තිබියදී තමයි අපි මේසා විශාල මුදලක් පිටරටට යවන්නේ.

 

මේ ආකාරයේ ආර්ථික අවාසි වැළැක්වීමට ඇයි අප තවමත් ප්‍රමාදවී තිබෙන්නේ?

ඒක තමයි, අපිටත් තිබෙන ප්‍රශ්නය. අපේ රටේ සෑම වැඩකටම තිරසාර ප්‍රතිපත්ති නැති බවක් පෙනෙනවා. අපි ජාතික ප්‍රතිපත්තියක් මත රටේ ආර්ථිකය ගොඩනඟන්න මීට වඩා වැඩියෙන් සිතන්න ඕනෑ.

දැන් බලන්න අපේ රටේ ශ්‍රම බළකායෙන් කාන්තා/පිරිමි අනුපාතයේ පවතින හිඩැස කොතරම් ද කියා. කාන්තාවෝ සියයට 50ක් ශ්‍රම බළකායට ඇතුළත් වී නැහැ. අපේ රටේ විවිධ පිළිගත් වෘත්තිය නිපුණතා ඇති කාන්තාවෝ බොහෝ දෙනෙක් රැකියාවක්, වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්නවා.

 

ඒ ඇයි?

බොහෝ දෙනකුට රැකියාවක් කරන්න යන්න බැහැ. ගෙදර ළමයි බලාගන්න වෙලා තියෙනවා. ඉහළ වැටුප්, ඉහළ පිළිගැනීමක් ඇති රැකියා කරන්න පුළුවන්කම තියෙන අය ගෙදරට වෙලා සිටීම ජාතික ආර්ථිකයේ දියුණුවට එල්ලවන බාධාවක්.

 

ඉතින් ඒ සඳහා කළයුත්තේ කුමක් ද?

අපි අපේ රටේ රාජකාරියක් කරන්න පුළුවන් පවුල්වලටත් ගෘහ සේවිකාවෝ පිටරටවලින් හරි ගෙන්නගන්න ඕනෑ. ඉදිකිරීම්, ඉංජිනේරු, පොල් කඩන්න, තේ දලු නෙළන්න වුණොත් පිටරටින් අය ගෙන්නගත්තාට කමක් නැහැ.

හැබැයි!

 

ඇයි ඔබ වහන්සේ හැබැයි! කියා පිළිතුරුදීම නතර කළේ?

ඇත්තම කථාව මේකයි. අපි පිටරට අයට අපේ රටට ඇවිත් රැකියා කරන්න අවස්ථා ලබාදිය යුතුයි කී හැටියම අපේ අය කලබල වෙනවා. මෙහේ ඉන්න කුහක දේශපාලනඥයෝ අපට විවිධ අවලාද නගන්න පටන් ගන්නවා. නමුත්! අපේ රටේ බොහෝ දෙනෙක් පිටරට රැකියාවක් කරන්න යන්න කැමැතියි. පිටරටවල අයත් ඒ රටවල අයට කරන්න බැරි අකැමැති රැකියාවලට අපේ අයගේ සේවය ලබා ගන්නවා. ඉතින් අපිත් අපේ අය නැතිනම්, හිඟනම් පිටරට අය ගෙන්නගෙන වැඩ කරගත්තාම මොක ද?

 

අපේ රටේ අය පිටරටවලට සේවයට ගොස් විදේශ විනිමය උපයනවා. පිටරට අය ආවොත් අපේ විනිමය එහි යනවා නේද?

අපේ අය ගිහින් වැඩ කළවිට උපයන මුදල් විදේශ විනිමය ලෙස රටට එනවා තමයි. නමුත්! ඒ රටවල නිෂ්පාදන, කර්මාන්ත සේවාවල දියුණුවක් සිදුවෙනවා නේද? ඒවාගේම ඒ රටවල මංමාවත්, අධිවේගී මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් දියුණු වෙනවා.

 

අපිත් සිතන්න ඕනෑ පිටරට අය මෙහේ ඇවිත් වැඩකළොත් අපේ රටේ දියුණුවක් ඇති වෙනවා. අපේ ආර්ථිකය වේගයෙන් දියුණු වෙනවා. ඒ හරහා රටට ලැබෙන ප්‍රතිලාභ වැඩියි. අපි ඒ දේ ගැනයි කල්පනා කළ යුත්තේ.

 

අපේ රටේ බුද්ධිමතුන් රටින් පිටවීම විශාල ප්‍රශ්නයක් නේද?

ඔව්! අපේ රටේ බුද්ධිමතුන් කොතරම් දෙනෙක් පිටරටවල ඉන්නවා ද? ඒ අයට ඒ රටවල පුරවැසිභාවය ලැබෙන්නේ නැහැ. අවුරුදු ගණනක් හිටියොත් ටිකදෙනකුටයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අපි විජාතිකයෝ අපේ රටට එනවා කියා කලබල නොවිය යුතුයි. ඔවුන් ඇවිත් වැඩකරලා ආයේම යනවා. මේක ගැඹුරින් තේරුම් ගන්න ඕනෑ.

 

අපේ රැකියා අවස්ථා බහුල අංශවල පුහුණුව වැඩි කිරීම කරන්න පුළුවන් නේද?

ඔව්! ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ. ඒ අතරේ විදේශිකයන්ට අපේ රටේ රැකියා වෙළෙඳපොළ විවෘත කළ යුතුයි. අද බලන්න ඩුබායිවල ඩුබායිවල ජනගහනයට සමගාමීව එහේ 80% පිටරට අය ඉන්නේ. සිංගප්පූරුවේත් එහේමයි. ඒ රටවල ජාතිකත්වයට තැනක් දෙනවාට වඩා ආර්ථික ක්‍රියාකාරකම්වලටයි තැන තිබෙන්නේ.

පිටරට අය ආවොත් අපේ සංස්කෘතියට හානියක් වෙයි කියා බයක් තියෙනවා.

ඒක හුඹස් බියක්! පිටරට අය ඇවිත් අපේ කෑම, බීම, ඇඳුම්, පැලඳුම්, භාෂාව ඉගෙන ගෙන මෙහේ වැඩකරල ආයේම පිටරට යයි. එතකොට අපේ දේ නේද ඒ අය අරගෙන යන්නේ. අපේ දේ පිටරට යෑම නරක නෑ.

 

පිටරට අයට ශ්‍රී ලංකාවට රැකියා සඳහා පැමිණීමට නීත්‍යානුකූලව ඉඩදීම සිදුනොකළොත්?

ඇත්තටම, මේ වනවිටත් සංචාරක වීසා වාගේ දේවල් ලබාගෙන අපේ රටට ඇවිත් හැංගි හැංගී රැකියා කරන විදේශිකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් නියමිත බදු ආදායමක් රටට ලැබෙන්නේ නැහැ. ඒවාගේම ඔවුන් බියෙන් ඉන්නේ. විධිමත් වැඩපිළිවෙළක් අපි ඇති කළ යුතුයි.

 

විදේශ ශ්‍රමිකයින්ට අපේ රටේ රැකියා වෙළෙඳපොළ විවෘත කිරීමට විරුද්ධ වන්නේ කවුද?

මම බය නැතිව කියනවා ඒවා‍ගේ දේකට විරුද්ධ වෙන්නේ පටු දේශපාලන අරමුණු ඇති බලය ලබාගැනීමේ අරමුණින් වංචාසහගතව ජනතාව මුළාකරන අයයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...