මන්ත්‍රීතුමාට අලුත් පාරක්! | දිනමිණ

මන්ත්‍රීතුමාට අලුත් පාරක්!

 ජනාධිපතිවරයා ඉතා වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහි මූලික අරමුණ ඡන්දයක් සඳහා අපේක්ෂකයකු කරන වියදම සාධාරණ සීමාවක් කරා ගෙන යෑම ය. එනම්; මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද; ඡන්ද ගොඩවල් වැඩි කරගැනීම සඳහා ද අයථා ලෙස යොදන මුදල් තොගය නවතා ගැනීම ය. මෙය අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ඒ - ඒ අපේක්ෂකයා මැතිවරණ ප්‍රචාරණය සඳහා මුදල් යෙද වූ ප්‍රමාණය, ඒවා සොයාගත් ආකාරය පිළිබඳ සටහනක් ද සමඟ ඉදිරිපත් කළ යුතුය. ඊට අදාළ නීති - රීති සකස් කරන මෙන් ඉහත කැබිනට් වාර්තාව ඉල්ලා සිටී.

දේශපාලකයෝ බොහෝ දේවල් සඟවති. තමන්ගේ ආදායම් පිළිබඳ විස්තර රජයට ලබා නො දෙන බොහෝ මන්ත්‍රීවරු සිටිති. මෙය දැනගත හැක්කේ නඩු විභාගයකට ගියහොත් පමණි. මන්ත්‍රීවරු එක්කෝ ආදායම් විස්තරය ලබාදීම මඟ හරිති. එසේ නැතහොත් අසත්‍ය ඇස්තමේන්තු සකස්කොට ව්‍යාජ ආදායම් වාර්තාවක් රජයට ලබාදෙති. අනුන්ගේ වැරැදි දිගට හරහට විවේචනය කරන මහජන මන්ත්‍රීවරු මෙබඳු තත්ත්වයක දී මුනිවත රකිති. මෙයින් පෙනී යන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනකු අවංක නැති බව ය. දේශපාලකයා අවංක නැතිනම්; සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදයක් හා නිදහස් මැතිවරණයක් අපේක්ෂා කරන්නේ කෙසේ ද?

ජනාධිපතිවරයාගේ මේ යෝජනාවෙන් ඡන්ද ගැටලු ගණනාවකට විසැඳුම් ලැබෙන්නේ යැයි කියන්නට පුළුවන. එයින් වඩාත් වැදගත් වන්නේ මැතිවරණයක් පසුබිමෙහි සිදුවන මහා පරිමාණ අයථා මුදල් ගනුදෙනු නවතා ගැනීමට හැකිවීම ය. අද පවතින ක්‍රමයට අනුව ඉතා දුප්පත් අපේක්ෂකයා පවා මුදල් කන්දරාවක් සොයාගත යුතුය. ඒ සඳහා ඇති එක ම ක්‍රමය දූෂණයට හා වංචාවට පෙලඹීම ය. එක්කෝ දූෂිත පුද්ගලයන් වෙතින් මුදල් ලබාගත යුතුය. නැතහොත් අයථා ක්‍රම මඟින් මුදල් උපයාගත යුතුය. මේ ක්‍රම දෙක ම නීතියට යටත් නැති අතර එය දූෂණයේ තවත් චක්‍රීය අවස්ථාවක් බවට පත්වනු ඇත.

මැතිවරණ ප්‍රචාරණයෙහි ඇත්තේ බලවත් තරගයකි. එය බලු පොරයකට සමාන යැයි සමහරු පෙන්වා දෙති. අනෙකා යටපත් වන සේ ප්‍රචාරණයෙහි යෙදීම අද සිරිත වේ. මේ අනුව ප්‍රචාරණ තරගය ඉක්ම වූ ගැටුම් ද දකින්නට ලැබේ. පෝස්ටර් මත තවත් පෝස්ටර් ඇලවීම නිසා අපේක්ෂකයෝ මිනී මරා ගනිති. පෝස්ටර් ගලවාදැමීම හා ඒවා විකෘති කිරීම නිසා ද අපේක්ෂකයෝ මාරාන්තික ගැටුම්වලට යති. මෙබඳු සිදුවීම් නිසා රටට වටිනා ජීවිත අහිමි වී ඇත්තේ වරක් - දෙවරක් නොවේ. වියදම්වල සීමාවක් තිබුණහොත්; මේ තරගය මෙන්ම ගැටුම් ද නවතාගත හැකි ය. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ද එය ම විය යුතු ය.

යුරෝපා රටවල මැතිවරණ පවත්වන්නේ පරිපූර්ණ නීති පද්ධතියකට යටත්ව ය. එම නීති උල්ලංඝනය කරන ඕනෑම කෙනකු අත්අඩංගුවට ගනු ලැබේ. ඒ ඒ අපේක්ෂකයන් ඡන්දයක් සඳහා කළ සියලු වියදම් මැතිවරණයෙන් පසු ලේඛනගතකොට ප්‍රසිද්ධ කළ යුතුය. එබඳු සදාචාරයක් අපේ රටවල්වල ක්‍රියාත්මක වන්නේ නැත. යුරෝපා රටවල ඇතැම් සමාගම් මැතිවරණවලදී තෝරාගත් අපේක්ෂකයකුට සහයෝගය දක්වන අවස්ථා තිබේ. එහිදී ද අදාළ ආයතනය පසුව වියදම් විස්තරයක් සමාජගත කරයි. සාධාරණ සමාජයක ඡන්ද කටයුතු සිදු විය යුත්තේ එම ආකාරයෙන් ය.

ශ්‍රී ලංකාවේ අතීත දේශපාලකයා ඡන්ද කටයුතු සඳහා තම ඉඩම් විකුණා දමන තැනක සිටියේ ය. බණ්ඩාරනායක මහතා පවා මැතිවරණ සඳහා ඉඩම් විකුණා තිබේ. එක්තරා ඡන්දයක් සඳහා හොරගොල්ල වලව්ව පවා උකසට තබා මුදල් ගෙන ඇති බව සඳහන් ය. අද දේශපාලකයන් ඉඩම් විකුණන්නේ නැත. ගෙවල් - දොරවල් උකසට තබන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ අයථා ක්‍රම මඟින් මුදල් සෙවීම ය. පවත්නා මැතිවරණ ක්‍රමය ඒ සඳහා පාර කපා ඇතැයි සිතන්නට පුළුවන. මේ ක්‍රමය තුළ මුදල හා බලය නැතිව ඡන්ද ජයගැනීම අසීරු ය.

රටේ මැතිවරණ ක්‍රමයේ පමණක් නොව; ඡන්ද කොට්ඨාස බෙදා වෙන්කිරීමේ ද ගැටලු පවතී. එය එක අතෙකින් සංකීර්ණ තත්ත්වයක් බිහිකර ඇති අතර මහජනයාට වගකියන නිශ්චිත නියෝජිතයකු පත් කිරීමට ද අසමත් වී ඇත. මේවා නිවැරැදි කිරීම ඇත්ත වශයෙන්ම වැදගත් ය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ හා සංවිධාන තව ම එය වටහාගත් බවක් පෙනෙන්නට නැත. එක අතෙකින් මැතිවරණ ඕනෑ යැයි පෙළපාලි හා විරෝධතා පවත්වන අය සාධාරණ මැතිවරණ ගැන හා මහජනයාට සිදුවන අයුක්තිය ගැන කිසිවක් ම කතා නොකරති. ඒ අතින් බලන විට ජනාධිපතිවරයා ගෙන ඇති පියවරෙහි වටිනාකම තවත් තීව්‍ර වෙයි.

දැන් පවතින ක්‍රමයට අනුව නිය ම සුදුස්සා මහජන නියෝජිතයා ලෙස පත්වන්නේ නැත. අනෙක් අතට මහජන අභිමතය නියම ආකාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ නැති බව ද, එහි වැදගත්කම ප්‍රදර්ශනය වන්නේ නැති බව ද කිව හැකිය. අද පවතින්නේ ඡන්දය කොල්ලකෑමකි. වෙනත් ආකාර‍යකින් කිවහොත් මහජන අභිමතය බලහත්කාරයෙන් වෙනස් කිරීමකි. මේ ක්‍රමය යටතේ බලයට පත්වන අය ද මහජන සේවය පසෙක තබා ව්‍යාපාර කිරීමට පෙලඹෙති. අයථා ක්‍රම ඔස්සේ මුදල් ඉපැයීමට ද පෙලඹෙති. ඕනෑම කෙනකු ඒ තත්ත්වය කරා ඉබේම ඇදී යන්නේ යැයි සිතන්නට පුළුවන.

සාධාරණ හා යුක්ති සහගත මැතිවරණයක් හා ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීමක් ද සිදුවීමට නම්; සංශෝධන දෙකක් ඇතිවිය යුතු බව බැලූ බැල්මට පෙනී යයි. එක; මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය. දෙක; දැනට පවත්නා මාරාන්තික ප්‍රචාරක තරගය නැවැත්විය යුතුය. මේ දෙකම සෙමෙන් සිදුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. රටේ වත්මන් නායකයන්ට එම වෙනස සිදු කිරීමේ බලවත් උනන්දුවක් පවතින බව ද පෙනෙන්නට තිබේ. එය යහපත් ලක්ෂණයකි. මේවා වෙනස් විය යුතුව තිබුණේ මීට කලින් බව ද කිව යුතුය.

ජනාධිපතිවරයාගේ යෝජනාවෙන් සියලු මැතිවරණ දූෂණ ලත් තැනම ලොප් වන්නේ නැත. එහෙත් මේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් අඩුම තරමින් හෘද සාක්ෂියට එකඟ ව කටයුතු කරන මහජන නියෝජිතයන් පත්කරගත හැකි වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...