ලිවීම අපේ විනෝදාංශයක් | දිනමිණ

ලිවීම අපේ විනෝදාංශයක්

අනිල් සමෝතියා කුනාල් මර්තේ

ලොව පුරා ජනප්‍රියත්වයට පත් නවකථා කිහිපයක්ම රචනා කළ අනිල් සමෝතියා සහ කුනාල් මර්තේ කතුවරයන් දෙදෙනා සමඟ writerstory.com වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

අනිල් සමෝතියා, ව්‍යාපාරිකයකු වන අතර, මොහුගේ වැඩි ම ආශාව තිබෙන්නේ මනෝකාය, ආත්ම පිළිබඳ විද්‍යාව, ලෝකයේ ඇති අත්භූත, නොවිසැඳුණු දේ ගැන සොයා බැලීමට සහ ඉගැනිමට ය. මේ දිනවල අත්භූත කථා රැගත් ටෙලි නාට්‍ය මාලාවක් සමඟ සම්බන්ධව ඔහු වැඩ කරමින් සිටී.

කුනාල් මර්තේ, වැඩියෙන් ම ජනප්‍රියව ඇත්තේ කෙටි කතා සහ ලිපි රචකයෙක් ලෙසට ය. ඔහුගේ පළමු නව කතාව ප්‍රකාශයට පත් වී ඇත්තේ 2011 වසරේදී ය. ඔහු දැනට “Author’s Empire” සමාගමේ අධිපති ධුරය දරන අතර, ඔහුගේ තෙවැනි ග්‍රන්ථය වන “Magic Magic” මෑතකදී එළි දැක්විය.

මේ කතුවරයන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ, මෙතෙක් වැඩි ම පිරිසක් සහභාගී වූ, පොත් දොරට වැඩීමේ උත්සව පවත්වා ඇත්තේ ඔවුන් වීම නිසා ය. එය ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක්ව තිබී ම ය.

ඔබ දෙදෙනා ලිවිම කෙරෙහි යොමු වීමට හේතුව මොකක්ද?

අනිල් සමෝතියා : අපි දෙදෙනාම කුඩා කල සිටම ලිවීම කෙරෙහි දැඩි ලෙස ආශා කළා. නිතරම ඒක අපේ විදිහ වුණා. ඒ වගේම ඒක අපේ විනෝදාංශයක් වුණා. මට මගේ ව්‍යාපාර කටයුතු ගැන කාලය යෙදවීමට සිදු වුණත් , කුනාල්ට ඔහුගේ ප්‍රකාශන ආයතනයයේ වැඩ ගැන බලන්න කාලය යොදවන්නට සිදු වුණත්, අපි තවමත් අලුත් දෙයක් ලිවීම සඳහා කාලය ඉතුරු කර ගෙන සිටිනවා. ව්‍යාපාර නිසා අපි මොනයම් මොහොතකවත් ඒක මඟ හැරගන්නේ නැහැ. ඒ තරම්ම අපි දෙදෙනා ලිවීමට ආසයි. මේ නිසා මොන තරම් කාර්යබහුල වුණත්, පොත් ලියන්න කාලය වෙන් කර ගන්නවා. අපි යම්කිසි දෙයකට කැමැති නම්, ඒ දේ වෙනුවෙන් කාලය සොයාගන්න එක අපහසු නෑ කියන එක මං විශ්වාස කරන දෙයක්.

කුඩා කාලයේදී කියවන්න පුරුදු වෙලා හිටියේ මොනවද?

කුනාල් මර්තේ: මම කියවීමට දැඩි ලෙස ඇබ්බැහි වුවෙක් නොමෙයි. ඒත්, මම වැඩි වශයෙන් ඉංග්‍රීසි නව කතා කියවීමට පෙලඹුණා. එයට බොහෝ සෙයින් ම හේතුව වුණේ, මට ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට තිබුණු අවශ්‍යතාවයි. ඒත්, අනිල් නම් කියවීමට දැඩි ලෙස ඇබ්බැහි වුවෙක්. ඔහුට ප්‍රබන්ධ කතා සහ ප්‍රබන්ධ නොවන කතාවලින් පිරුණු පුස්තකාලයක්ම තිබෙනවා.

මට මතකයි කුඩා කාලයේදී පාසලේ තිබුණු හින්දි කෙටි කතා. මම අද වුණත් අහම්බෙන් එහෙම පොත් ලැබුණොත් ආශාවෙන් කියවනවා. අපි කුඩා අවදියේදී ඒවා හිතින් මවාගෙන, හයියෙන් කියවපු හැටි මට මතක් වෙනවා. ඒ කතාවල කුඩා ගම්මාන, දුම්රිය නැවතුම් පොළවල් ආදිය ගැන ලියලා තියෙන ආකාරයට, අප වෙනමම ලෝකෙකට ගෙනියනවා. ඇබ්බැහි වූවෙක් නොවුණත්, අපි දෙදෙනාම පොත් අතරම ජීවත් වුණා.

රචනයේදී ඔබට තිබුණු ලොකුම අභියෝගය මොකක්ද?

අනිල් සමෝතියා : මම ප්‍රබන්ධ කතා රචකයකු නිසා, එක දිගට කතාව කෙරෙහි පාඨකයාව ආකර්ෂණය කරගෙන තබා ගන්නේ කියන කාරණය මට තිබෙන ලොකු ම අභියෝගයයි. ප්‍රබන්ධයක් ඕනෑම කෙනකුට ලියන්න පුළුවන්. ඒත්, අභියෝගය වන්නේ නිර්මාණශීලිත්වයයි. ඒ වගේම, අනෙක් අභියෝගය පාඨකයාට එය ප්‍රබන්ධයක් නොවන ආකාරයට දැන්වීමයි. පාඨකයා ඔහුගේ මනෝ ලෝකය තුළ රඳවා ගැනීම රචකයාගේ හැකියාවක්. මේ කරුණු කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙලා පොතක් ලිවීම සැබෑම අභියෝගයක්.

“Magic Magic” නව කතාව ලිවීමට හේතුව මොකක්ද?

කුනාල් මර්තේ: ඒකට නම් මුලිකම හේතුව වෙ‍ළෙඳ පොළ. මම මේ ව්‍යාපාරයේම යෙදී සිටින්නෙක්. මේ දවස්වල නවකතා සඳහා ඇති වෙළෙඳ පොළ ගැන මම දන්නවා . එක දිගට පැමිණෙන ආදර නවකතා රැල්ලත් එක්ක, පාඨකයන් හෙම්බත් වෙලා ඉන්නේ.වෙළෙඳ පොළට පාඨකයන්ට අලුත් දෙයක් ඕනේ කියලා මට දැනුණා . වෙනස් තේමාවක් සහිත ආදර කතාවක් ලියන්න මම තීරණය කළා. මම මගේ සගයා අනිල් සමඟ කිහිප වතාවක් ඒ පිළිබඳ සාකච්ඡා කළා. අප අවසානයේ එකඟතාවකට පැමිණ කතාවේ වැඩකටයුතු ආරම්භ කළා.

ඔබලාගේ ප්‍රියතම රචකයන් කවුද ?

අනිල් : මම චේතන් භගත්ගේ රචනාවලට බොහොම කැමැතියි. ඔහුගේ රචනාවලින් පාඨකයන්ට අමුතු බලයක් ලබා දෙනවා. ඔහුගේ ලිවීමේ යම් යම් අඩු පාඩු තිබෙනවා කියලා සමහර පිරිස් කියනවා. ඒත් මගේ අදහස, රචකයාට කියන්නට අවශ්‍ය දෙය ලෙහෙසියෙන් පාඨකයාට ග්‍රහණය කරන්න පුළුවන් නම්, එය තමා රචකයාගේ ජයග්‍රහණය. භගත් ට පෙර ඉන්දියානු පාඨකයන් ඉංග්‍රීසි කතා කියැවීමට යොමු වුණේ නෑ. ඒකට හේතුව වුණේ භාෂාවේ ගැටලු. ඒත්, භගත්ට අමතරව මම මාරියෝ පූසෝ ගේ කතා කෙරෙහිත් දැඩි ලෙස ඇලුම් කරනවා. ද ගොඩ් ෆාදර්, ද ලාස්ට් දොන්, ද සිසිලියන් වගේ නිර්මාණ මගේ මතකයේ තවමත් තිබෙනවා.

සාමාන්‍යයෙන් දිනකට කොපමණ වේලාවක් ලිවීම කෙරෙහි කාලය යොදවනවද?

අනිල් : මම හැමදාම උදේ 4 ට නැගිටිනවා. ඊළගට ලියන්න පටන් ගන්නවා. මම දිනකට සාමාන්‍යයෙන් පැය 10 ක් පමණ ලියනවා.

කුනාල් මර්තේ: මම ලිවිම ආරම්භ කරන්නේ රාත්‍රී 11 ට පමණ. එතැන් සිට උදේ 7 පමණ වන තුරු ලිවීම කරනවා. මම දිනකට සාමාන්‍යයෙන් පැය 8 ක් පමණ වැය කරනවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න