සිතුවමට එහා දෙයක් සීගිරියෙ තියෙනවා | දිනමිණ

සිතුවමට එහා දෙයක් සීගිරියෙ තියෙනවා

කාංචනා අමිලානි
සුජිත් අක්කරවත්ත

සැලලිහිණියා, හංසයා, සැවුලා මේ කිසි කෙනෙක් සීගිරිය හරහා ගිහිල්ලා නෑ. හරි නම් සැලලිහිණියා යන්න ඕනත් සීගිරිය හරහාමනේ. නගර ශෝභිනියන්ගේ පයෝධරවල හැඩමාන පවා කියන සැලලිහිණියටත් ඇයි සීගිරිය මඟහැරුණේ?

හේ ඉතිහාසය පුරා සෙමෙන් ඇවිදිමින් කිසිවකුගේ ඇස නොගැ‍ටුණු පෞරාණික දෑ ඩැහැ ගන්නෙකි. ඉන් නොනැවතී ඒ ලියා තබන්නෙකි. ප්‍රකට නවකතාකරුවකු, ඉතිහාස ගවේෂකයකු සහ පුවත්පත් තීරු ලිපි රචකයකු වන ඔහු , සුජිත් අක්කරවත්තයි. 'සිවගිරියෙන් සීගිරියට' ඔහුගේ අභිනව පර්යේෂණ ග්‍රන්ථයයි. එය, සීගිරිය පිළිබඳ වෙනත් මානයක් අවදි කරවයි. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

'සිවගිරියෙන් සීගිරියට' කියන්නේ පර්යේෂණ ග්‍රන්ථයකින් විතරක් නෙමෙයි නේද?

සීගිරිය සම්බන්ධ විද්වතුන්, පර්යේෂකයන් මෙතුවක් අවධානය යොමු කරලා තියෙන්නේ එහි කලාව, බිතු සිතුවම්, සෙල් ලිපි, ගෘහ නිර්මාණ ආදී පැති ගැන විතරයි. ඒත්, සීගිරිය බිහි වීමට පි‍ට දුන් සමාජ, දේශපාලන, ආගමික, දාර්ශනික ගුරුකුල ගැන ඒ පැතිමානෙන් හොයපු ගවේශනාත්මක පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ දකින්න නෑ. ඒක විරලයි. ඒක මීට මත්තෙන් යම් ප්‍රමාණයකට සිද්ධ වුණා නම්, ඒ කෝට්ටේ යුගයේදී ඉන්දුනීසියාවේ ආනන්ද මහ තෙරණුන් විසිනුයි. අවසාන භාගයේ සෙනරත් පරණවිතානයන් උත්සාහයක් දැරුවා. ඊ ළඟට ගෞරිබාලා කියන ජර්මන් ජාතිකයා විසින් මේ ගැන හෙව්වා. ඒත්, ඒ සියල්ල සමාජයෙන් යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. සීගිරි කාශ්‍යප ලංකාවෙ දේශපාලනයෙන් පලවා හැරීම පිටිපස්සේ දියත් වුණු ආන්තික, දේශපාලනික , ආගමික භික්ෂු කැ‍රැල්ලත් එක්ක බැඳුණු ඒ සියලු තොරතුරු එක්කම, වංශ වියවුලක් තිබුණා.

ඒක නිරාවරණය කරන්නත් මම උත්සාහ කළා. මෑත යුගයෙන්, අපේ ශිෂ්ටාචාරයෙන් සියවස් හතක් සීගිරිය යටපත් කරලා තිබුණේ. කාශ්‍යප රජ්ජුරුවෝ පලවා හැරීමෙන් පස්සේ කිසිඳු රජ දරුවෙක් සීගිරියට රාජ්‍ය අනුග්‍රහයක් දීලා නෑ. ක්‍රි:ව:890 වෙනකන් කිසිදු රාජ්‍ය පාලකයෙක් සීගිරියට අවධානය යොමු කරලා තිබුණේ නෑ. ඒ සා කාලයක් ඇයි සීගිරිය රාජ්‍යයෙන්, කලාවෙන්, සාහිත්‍යයෙන් පිටමං කරලා තිබුණේ කියලා ශාස්ත්‍රීය වශයෙන් හෙළි කරන්න දරපු උත්සාහය තමයි 'සිවගිරියෙන් සීගිරියට' කියන්නේ.

ඇයි සීගිරියම මේ තරම් ලාලසාවක් ඔබට ඇති කරවන්නේ?

ලංකාවේ බෞද්ධවාදයේ ඓතිහාසික කෙම්බිම සීගිරිය. ඒ වගේම ශ්‍රී ලාංකිකත්වයේ පළමු ලෞකික රාජධානිය වෙන්නෙත් සීගිරියයි. ආගම සහ ලෞකිකත්වය හරියටම අවබෝධ කරගෙන, ඒ දෙක දෙකක් හැටියට සැලකුවෙත් සීගිරියයි. ඒක රාජ්‍යයේ හැම අංගයකින්ම සිද්ධ වුණා. දළදා වහන්සේ, ජය ශ්‍රී මහ බෝධිය සමීපයේ තමයි රජ්ජුරුවෝ තමන්ගේ රාජ ගෘහය තනාගෙන, අන්ත:පුරය සහ තමන්ගේ සිරියහන පවා තියා ගත්තේ. ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම බැහැර කරලා ලංකාවෙ පළමු වැනි දාර්ශනික රාජ්‍ය පාලකයා බිහි වුණෙත් සීගිරියෙන්. ආන්තික හික්ෂු දේශපාලනයක් උපත ලැබුවේ සීගිරියට එරෙහිවයි. ඒ වගේම ලංකාවේ කලාවේ විශ්මයක් හට ගත්තෙත් සීගිරියෙන්.

විශ්වීය දාර්ශනික සමාජයේ දැනුම සහ කලාත්මක දැනුම තිබ්බ තැනක් විදිහටත් සීගිරිය හඳුන්වන්න පුළුවන්. මට කොහොමත් සීගිරියත් එක්ක විශේෂ බැඳීමක් තිබුණා. ඒ නිසා ම මේ දේ විවරණය කර ගන්න ඕනා කියලා මට හිතුණා. මුගලන්-කාශ්‍යප-ධාතුසේන යුගය ජාත්‍යන්තර වශයෙන් බැඳුණු බලවේග කිහිපයක් ලංකාවෙ දේශපාලනය තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මුරුඩ වංශිකයෝ වගේම මැසිඩෝනියානුවනුත් ලංකාවේ දේශපාලන සිතියම එහා මෙහා කරලා තියෙනවා.

ඒ වගේම අදහා ගත නොහැකි විදිහට සීගිරි කාශ්‍යපව තමන්ගේ රාජධානියෙන් පිටමං කෙරෙනචා. සාමාන්‍යයෙන් පාලකයෝ පලවා හැරෙනවා, පරාජය වෙනවා . ඒව සාමාන්‍ය දේ තමයි. ඒත්, පුදුමය කියන්නේ සීගිරි කාශ්‍යප පලවා හැරියට පස්සේ ලංකාවේ ලෞකිකත්වය සම්පූර්ණයෙන් ම පරාජයට පත් වීමයි. ඒ වගේම ලංකාවේ බුදු දහම ඇතුළේ බ්‍රාහ්මණ බුද්ධාගමක් බිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සපුරා පටහැනි අන්ත තපස්වාදී විකෘතියක් බිහි වෙනවා. මේ කැ‍රැල්ලෙන් පස්සේ තමයි ඒක වුණේ. හැබැයි කවුරුවත් මේ දේ විවරණය කරලා තිබුණේ නෑ. අද අපේ රට පෙළන ප්‍රශ්න රාශියකට මුල වෙලා තියෙන්නේ මෙන්න මේ බ්‍රාහ්මණ බුදු දහමයි. වික්ටෝරියානු බුද්ධාගමයි, බ්‍රාහ්මණ බුද්ධාගමයි දෙකම සහවාස වෙලා තියෙනවා. මේ දෙකේම උප්පත්තිය පැහැදිලිව සටහන් වෙන්නේ සීගිරි කාශ්‍යපට එරෙහි වුණ ආන්තික දේශපාලනික අරගලයයි.

ඔබ කියන්නේ සැබෑ අරගලය තිබ්බෙ සිංහාසනේ දිනා ගන්න නෙමෙයි කියලද?

ලංකාවෙ මුරුණ්ඩ වංශික කිතුණුවෝ රාජ්‍ය බලයට අත පොවනවා. ඒ ගොල්ලෝ හරහා මේ සර්වබලධාරී ක්‍රිස්තියානි සදාචාරය ලංකාවෙ පැතිරෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ බලයට ආවට, ඒ පිටිපස්සේ මේ දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒ අරගලය තමයි මුගලන්-කාශ්‍යප අරගලය කියලා කියන්නේ. මේ දේ මේ අයියයි-මල්ලියි අතර ප්‍රශ්නයක් සහ අම්මලා දෙන්නෙකුගේ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙය, ථේරවාද-මහායාන විදිහට මතුපිටට එනවා. මේ රටේ තිබිච්ච බෞද්ධවාදී විවිධත්වයෙන් පිරිච්ච සමාජ, දේශපාලන චින්තාවලිය අහිමි වීමේ අරගලය තමයි මේ. කාශ්‍යප කුමාරයා නායකත්වය දෙන්නේ සොබාවාදී බහුත්වයටයි. ඒ බහුත්වය ඔහු ජය ගැනීමෙන් විශාල දේශපාලන ජයග්‍රහණයක් ලබා ගන්නවා. අන්තිමට ඒක ලෝක මුද්‍රාවක් බවටත් පත් කළා. ඒක ගැන යම් ප්‍රමාණයකට කතා කළාට, ඒක අවබෝධ කරගෙන,ශ්‍රී ලංකාවෙ නූතන රාජ්‍යයන් ඇතුළේ ඒ සීගිරි දැක්ම කිසිම කෙනෙකුට ඉදිරියට අරගෙන යන්න බැරි වුණා.

සීගිරිය ඉතිහාසයෙන් හුදෙකලා කර තැබීමේ සැලැසුමක් තිබුණා කියලා ඔබ හිතනවද?

සරලව ගත්තොත් ලංකාවේ සංදේශ කාව්‍ය කිසි එකක සීගිරිය ගැන නෑ. සැලලිහිණියා, හංසයා, සැවුලා මේ කිසි කෙනෙක් සීගිරිය හරහා ගිහිල්ලා නෑ. හරි නම් සැලලිහිණියා යන්න ඕනත් සීගිරිය හරහාමනේ. නගර ශෝභිනියන්ගේ පයෝධරවල හැඩමාන පවා කියන සැලලිහිණියටත් ඇයි සීගිරිය මඟහැරුණේ? සීගිරිය සියලු ම ඓතිහාසික කෘතිවලින් පිටමං කරලා තියෙනවා. කිසිම රජ දරුවෙක් සීගිරියට ගියා කියලා ඉතිහාසයේ සටහනක් නෑ. කවියක්, චිත්‍රයක කොපියක්වත් වෙනත් කිසි තැනක නැහැනේ. ක්‍රි:ව: පස් වැනි සියවසෙන් පස්සේ කලා නිර්මාණ කොච්චර බිහි වුණාද? මේ කිසි කෙනකුට සීගිරිය ආභාෂාත්මක නැඹුරුවක් දුන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය මට තිබුණා. මේ තරම් විශාල රාජ්‍ය වාරණයක් හැමෝගෙම හිත් ඇතුළේ තිබුණේ ඇයි? මගේ විමසුම හා පර්යේෂණය වෙන්නෙ මෙන්න මේ දේයි.

ඔබ අලුත් මතයක් තහවුරු කරන්නද මේ උත්සාහ කරන්නේ?

මට මගේ මතයක් නෙමෙයි කියන්න ඕනකම තියෙන්නේ. ඉතිහාසය ගැන මතයකට වඩා, නිතරම ඉතිහාසය දිහා සමස්ත ඇහැකින් බලන්න ඕනා කියලා මම විශ්වාස කරන්නේ. ඉතිහාසය ඒකමානීව බලන්න බැහැ. බහුමානීව බලන්න ඕනා කියන එකයි මෙතැනදි මම ගේන අදහස. විවිධත්ව මානවලින් බැලීමෙන් පමණයි යමක නියම අදහස අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. සීගිරිය සම්බන්ධ පර්යේෂණ බොහොමයක් කළා. විශ්වයත් එක්ක සීගිරියේ යම් බැඳීමක් තිබුණා කියලා මම විශ්වාස කරනවා.

ලෝකෙ අටවැනි පුදුමය කියලා සම්මතයන් පවා වෙනස් කරන්න සමත් වෙච්ච තැනක්නෙ සීගිරිය කියන්නේ. පෝය තුනකින් සීගිරිය හදලා ඉවර කරන්න පාවිච්චි කරපු තාක්ෂණික වැඩ කලාව මොකක්ද ? ලෝක පුදුමෙ ඒකයි. ඒ පිළිබඳ ඉතාම සැඟවුණු තොරතුරු ගණනාවක් තියෙනවා. සීගිරිය රන් කාසියත් එක්ක බැඳුණු ඒ තොරතුරු මම හොයන්න පටන් ගත්තා. මගේ ඉදිරිපත් කිරීම තමයි, මෙහි යට වංශ අරගලයක් තිබුණා කියනෙ එක.

ලංකාවෙ දේශපාලනයේ චූල වංශ-මහා වංශ කියන බෙදීම අද දක්වා තියෙනවා. ඊ ළඟට ගෝත්‍ර වංශ ගැ‍ටුමකුත් තියෙනවා. යක් වංශය සහ හෙළයො අතරයි ඒ ගෝත්‍ර ගැ‍ටුම තිබ්බේ. ජාන වශයෙන් නම් සිංහ වංශයයි-හෙළ වංශයයි ඊළඟට. ආගමික වශයෙන් නම් මහායානයයි-ථේරවාදයයි. මගේ නිරීක්ෂණය අනුව සීගිරිය මෞර්යන්ගේ උදානයෙන් පස්සේ කිතුනු ආගමික අරගලයක් දියත් වෙලා තියෙනවා. අපට මේ ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරි කාශ්‍යපයි, මුගලනුයි-ධාතුසේනයි රජ පවුල එකිනෙකාට එරෙහිව සටනකට කැඳවීම පිටිපස්සේ මුරුඬ වංශික බලවේග කටයුතු කරලා තියෙන නිසයි. මට වුවමනා වුණේ, සීගිරිය ක්‍රි:ව: 490 පස්සේ ලංකාවේ කිසිදු සාහිත්‍යයක සඳහනක් නොමැති විදිහට පිටමං වුණේ ඇයි කියන එක හොයා බැලීමයි.

සීගිරි චිත්‍ර පිළිබඳ ඔබ ගේන්න හදන්නෙ වෙනත් මානයක්ද?

කුමාරස්වාමිගේ ඉදලා හැම මතයක්ම මම සලකා බැලුවා. නිල්වන්-රන්වන් පාට ඇයි ගත්තේ කියනෙක. ඒක තමයි සිංහලයන්ගේ පාට දෙක. බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්තහම, උන් වහන්සේට අනුව නිල්වන් පුරුෂයා මුගලන් හාමුදුරුවෝ. ඒ කියන්නේ කළු. රන්වන් පුරුෂයා සැරියුත් හාමුදුරුවෝ. නිල්වන් ස්ත්‍රිය, පැවිද්දිය උත්පලවන්නා. රන්වන් පැවිද්දිය ඛේමා. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ වර්ණ විභේදනය, ජාන විභේදනය වගේම විද්‍යාත්මක සරල දෙයක්. කළු පුරුෂයෙක් කැමැති සුදු ස්ත්‍රියකට කියන එක. එතකොට කාශ්‍යප මේ මොකක්ද කියන්නේ? කවුරුත් මේ දේ විවරණය කරලා තිබුණේ නෑ. රන්වනුන්, නිල්වනුන් ගැන අපමණ කතා තියෙනවා. මේ වර්ණ දෙජාතිය පිටිපස්සේ ලංකා වංශ කතාවේ ස්ත්‍රී අන්දරය පිළිබඳ විශාල කතාවක් කියනවා. ඇයි මෙහෙම යුගළ ස්ත්‍රීන් ඇන්දේ කියන එක මට මතු කරන්න ඕන වුණා.

රන්දෝලි-රිදීදෝලි සමතැන් තියන්න ඕනා කියලා මතයක් ඔහු ගෙනාවා. ඒ වගේම, සමකාලීන චිත්‍ර ශිල්පියාගේ සාමකාමී හැඟීම් මේ අතර තියෙන්නත් ඇති. චිත්‍රවල ඇස් බලන් ඉන්න හැටි බැලුවොත් මේ වෙනස පේනවා. ඒ වගේම කාශ්‍යප කියන්නෙත් ද්විත්ව සරාගී රුචියක් තිබ්බ කෙනෙක් විදිහට ඉතිහාසෙ යම් යම් තැන්වල දකින්න තියෙනවා. අනිත් එක ජෝන් ස්ටීල් මේ දේ ලෝක පුදුමයක් විදිහට දැක්කා. සීගිරිය තමයි එක ම තැනක වැඩි ම චිත්‍ර ඇඳලා තිබුණ තැන. වර්ග අඩි 5000ක චිත්‍ර තිබිලා තියෙනවා. ඒත් දැන් අපට ඉතිරි වෙලා තියෙන්නෙ චිත්‍ර 19යි. කවිවලත් තියෙනවා ඔක්කොම චිත්‍ර 500ක් තිබ්බයි කියලා. මේ චිත්‍ර 500 අතරේ පුරුෂ චිත්‍රත් තිබ්බා. අදටත් පුරුෂයෝ තුන් දෙනෙක් නිරූපණය වන චිත්‍ර ඉතිරි වෙලා තියෙනවා. මගේ පොතේ පළමු වැනි වතාවට ඒ චිත්‍රයත් මම පෙන්නලා තියෙනවා.

මේ චිත්‍ර මැකෙන්න ඉඩ දීලා ඔහේ තියෙනවා. මේ පුරුෂ ශෘංගාරය ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. දැ‍රැණියගල ගුහාවට ගියොත් දැනුත් මේ පුරුෂ සිතුවම් බලන්න පුළුවන්. ඉතා ම විවෘත, සරාගී, ශික්ෂිත රාජ්‍යයට එරෙහි කැ‍රැල්ලක් තමයි මේ දියත් වෙලා තියෙන්නේ. ඒක ඉතා ම පැහැදිලියි. මට ඕනැ වුණේ,කලා නිගමනවලින් එහාට ගිය දෙයක් කියන්නයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...