රුසියානු විප්ලවය ලෙනින්ගේ සිට පුටින් දක්වා | දිනමිණ

රුසියානු විප්ලවය ලෙනින්ගේ සිට පුටින් දක්වා

ඔක්තෝබර් විප්ලවයට වසර 100යි

විප්ලවයට සියවසක් ගතවනවිට සෝවියට් දේශය යනුවෙන් රාජ්‍යයක් ලෝක සිතියමේ නැත. 1980 දශකය අගභාගයේදී, එවක රුසියා ජනාධිපති මිහායිල් ගොර්බචොව් ග්ලාස්නොස්ට් හා පෙරස් ත්‍රොයිකා වැඩපිළිවෙළ ඔස්සේ සෝවියට් දේශයේ බිඳීම සනිටුහන් විය. සෝවියට් සමූහාණ්ඩුව යටතේ එක්ව සිටි රාජ්‍ය වෙනම රාජ්‍ය වශයෙන් වෙන්වී ගියේ ය.

මානව ශිෂ්ටාචාරයේ නිසැක සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි ඔක්තෝබර් විප්ලවයට සියක් වසරක් සපිරේ. 1917 දී ලෙනින් ගේ නායකත්වයෙන් සිදු වූ රුසියානු විප්ලවය හුදෙක් සෝවියට් දේශය වශයෙන් පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොව එය සමස්ත මානව වර්ගයා විසින්ම අත්කරගන්නා ලද මහා ජයග්‍රහණයක් වශයෙන් සැලකුණි. පශ්චාත් විප්ලවීය රුසියාව සනිටුහන් කරන ලද මං සලකුණු ලෝකයේ හිට්ලර්ගේ නාසිවාදය පරාජය කරමින් මුළු මහත් ලෝකයම ෆැසිස්ට් ආඥාදායකත්වයෙන් නිදහස් කර ගැනීමට දෙවන ලෝක සංග්‍රාමයේදී සෝවියට් රතු හමුදා කළ මෙහෙවර ඉතිහාසයේ මකාදමනු නොහැකි පරිච්ඡේදයකි. දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් හමුදා සෙබළු කෝටියක් පමණ ජීවිත පරිත්‍යාග කළ බව සඳහන් වේ. ජීවිත දුන් සාමාන්‍ය වැසියන් ගණනද ඊට ආසන්නය. ජර්මන් යුද තන්ත්‍රය අක්‍රිය කළේ රතු හමුදා බවද, ආක්‍රමණිකයාට මුහුණ දීමට තරම් ශක්තියක් අමෙරිකානු හමුදාවට නොතිබූ බවද බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් මෙන්ම අමෙරිකන් හමුදාවේ මාෂල්වරයාද එකල පිළිගත්හ.

දෙවන ලෝක සංග්‍රාමයෙන් ඉක්බිති සෝවියට් දේශය අභ්‍යවකාශයද ජයග්‍රහණය කළේය. ලයිකානම් බැල්ලගේ අභ්‍යවකාශ ගමන, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශයේ සංචාරය කළ මිනිසා ලෙස යුරි ගගාරින් ඉතිහාසයට එක්වීම, අභ්‍යවකාශගාමිනී වැලන්ටිනා තෙරෙස් නෝවාගේ සංචාරය ආදී මේ සියල්ල එහි සන්ධිස්ථානයක්ය.

විද්‍යා - තාක්ෂණ ක්ෂේත්‍රවල පමණක් නොව සාහිත්‍ය - සංස්කෘතිකමය ක්ෂේත්‍රවලද විශාල ප්‍රබෝධයක් සෝවියට් දේශය කේන්ද්‍ර කරගනිමින් ඇතිවිය. එහි බලපෑම් සෙසු රාජ්‍යවලට පවා දැනිණි.

දේශපාලන විශ්ලේෂක බොරිස් කග්රිල්ට්ස්කි පෙන්වාදෙන අන්දමට හුදු තාක්ෂණික අරුතකින් ගත්විට 1917 නොවැම්බර් 7 වැනිදා සිදුවූයේ කුමන්ත්‍රණයකි. එහෙත් එම කුමන්ත්‍රණය පෙබරවාරි මස ඇරැඹී ඉදිරියට ඇදුණු වහා විප්ලවීය ක්‍රියාදාමයේම කොටසකි. එකී අර්ථයෙන් එය 18 වැනි සියවසේදී ප්‍රංශයේ සිදු වූ විප්ලවයට සාමානය. ප්‍රංශ විප්ලවයෙන් තොරව 19 වැනි සියවසේ නිර්මාණය වූ ලෝක රටාව දක්නට නොලැබෙන්නාක් මෙන්ම රුසියානු විප්ලවයෙන් තොරව අද අප ජීවත්වන ලෝක රටාව දැකගත නොහැකිවනු ඇත.

රුසියානු විප්ලවය විසින් සමස්ත ලෝකයම වෙනස් කරන අතරම නූතන රුසියානු ජාතිය ද නිර්මාණය කළේය. ඊට අමතරව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, රුසියාවේ බටහිර රටවල ඉන් පෙර දක්නට නොලැබුණු සමාන ඡන්ද අයිතිය වැනි විප්ලවීය දායාදයන් රැසක් ඉන් ජනිත කෙරිණි. රුසියානු විප්ලවයෙන් බිහිවූ සෝවියට් දේශය ලෝක දේශපාලන බලතුලනය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් විය.

සියවසකට පසු

විප්ලවයට සියවසක් ගතවනවිට සෝවියට් දේශය යනුවෙන් රාජ්‍යයක් ලෝක සිතියමේ නැත. 1980 දශකය අගභාගයේදී, එවක රුසියා ජනාධිපති මිහායිල් ගොර්බචොව් ග්ලාස්නොස්ට් හා පෙරස් ත්‍රොයිකා වැඩපිළිවෙළ ඔස්සේ සෝවියට් දේශයේ බිඳීම සනිටුහන් විය. සෝවියට් සමූහාණ්ඩුව යටතේ එක්ව සිටි රාජ්‍ය වෙනම රාජ්‍ය වශයෙන් වෙන්වී ගියේ ය. සෝවියට් දේශය නැවත රුසියාව බවට පත්වෙද්දී ලෙනින්ගේ පිළිරූ පෙරළා දමන දර්ශන බටහිර මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරිණි.

මේ සමඟ සීතල යුද්ධයේ නිමාවද සලකුණු විය. ගොර්බචොව්ගෙන් පසු බලයට පත් යෙල්ට්සින් ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ යළිත් දිස් වූයේ පූර්ව විප්ලවීය රුසියාවේ ලක්ෂණ බව පැවසේ. ප්‍රධාන නගර වීදිවල යාචකයන් ගැවසෙන්නට විය. ජනතාව බලවත් ආහාර අහේනියකින් පීඩා වින්දේය. රට ආර්ථික අගාධය කරා වැටී තිබිණි. වැඩකරන සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය අසතුටුදායක වූ අතර වරප්‍රසාද ලත් එක් පංතියක් පමණක් හිස ඔසොවමින් සිටියේය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත 1999 දෙසැම්බරයේදී ජනාධිපති යෙල්ට්සින් ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අගමැති වශයෙන් කටයුතු කළ ව්ලැද්මීර් පුටින් ජනාධිපතිධුරයට පත්විය.

ජනාධිපති පුටින් ‘එක්සත් රුසියා’ පක්ෂයේ නායකයාය. ඒ වනවිට රුසියාව ඇදවැටී තිබූ අගාධයෙන් ගොඩගැනීම සඳහා ඔහු නව චින්තනයකින් ක්‍රියාත්මක විය. ඔහුගේ ක්‍රමය පැරැණි සෝවියට් මොඩලයෙන් වෙනස් එකකි. සිය පළමු ධුර කාලසීමාව තුළ ඔහුගේ තේමා පාඨය වූයේ ‘සැමවිට අනාගතය ගැන සිතන්න... සැමවිට ඉදිරිය බලන්න’ යන්නය. ජනාධිපති පුටින් ඉදිරිපිට තිබූ අභියෝග සුළුපටු නැත. චෙච්නියා බෙදුම්වාදී අභියෝගය,බටහිර රටවලින් එල්ලවන තර්ජන, සෝවියට් සංගමයෙන් කැඩී වෙන්වී ගිය රාජ්‍ය සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වාගැනීම ඉන් සමහරකි.

සිය පළමු ධුර කාලය තුළ ඔහු මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් අතර ඒවා විශාල ප්‍රමාණයක් ජයගැනීමට ද සමත් විය. පුටින්ගේ නායකත්වය යටතේ නැවතත් රුසියාව ලෝක බලවතකු ලෙස පෙරට ආවේය.

සිය දෙවන ධුර කාලසීමාවේ (2004 – 2008) ණය බරින් පීඩිතව සිටි රුසියාව මුළුමනින් නිදහස් කර ගැනීමටද ඛනිජ තෙල්, ගෑස් වැනි ව්‍යාපාර සහ ජාත්‍යන්තර වෙළෙඳාම ඔස්සේ රටේ ආර්ථිකය ඔසොවා තැබීමටද ජනාධිපති පුටින් විශාල වෙහෙසක් දැරීය.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිට පිට දෙවතාවකට වැඩියෙන් ජනාධිපති ධුරය දැරීමට නොහැකිය. එබැවින් 2006 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අගමැති දිමිත්‍රි මෙච්වදෙව්ට ජනාධිපති පුටුවට පැමිණීමට සලසා පුටින් අගමැති ධුරයට පත්විය. 2012 වසරේදී පැවැති ඊළඟ ජනාධිපතිවරණය නැවතත් පුටින් ජයග්‍රහණය කළේ 64% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. දෙවැනි තැනට පත් කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක යුගනෝවා ලබා ගත්තේ 17% ක ඡන්ද ප්‍රතිශතයකි.

ඔක්තෝබර් විප්ලවයට සියක් වසරක් සපිරෙන විට රුසියාව පාලනය කරමින් සිටින්නේ ව්ලද්මීර් පුටින් නම් නායකයාය. 2007 වසරේදී ජාත්‍යන්තර TIME සඟරාව මෙන්ම EXPERT සඟරාවද වසරේ මිනිසා ලෙස නම් කළේ රුසියානු ජනාධිපති පුටින්ය. අමෙරිකාව ලෝක බලවතා වුවද FORBES සඟරාවේ තෝරාගැනීම අනුව 2013 වසරේදී ලොව බලවත්ම පුද්ගලයා වූයේද පුටින්ය. අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමාට හිමිවූයේ දෙවැනි තැනය.

පුටින්ගේ ශක්තිය

ලෝක ආර්ථික අර්බුදයෙන් අමෙරිකාව සහ බටහිර බලවතුන් පසුබෑමකට ලක්ව සිටියදී නොසැලී සිටීමට රුසියාව සමත් විය. පුටින්ගේ නායකත්වය යටතේ අද රුසියාව අනුගමනය කරමින් සිටින්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන මෙන්ම දේශීය වශයෙන් සිය ඕනෑ එපාකම් ආරක්ෂාවන විදෙස් පිළිවෙතකි. එම ප්‍රතිපත්තිය අමෙරිකාව සහ බටහිර රටවල නොසතුටට කාරණයක් බව නොකිවමනාය. එසේ වුවද, අමෙරිකාවට අභිමත අයුරින් ජාත්‍යන්තර දේශපාලනය හැසිරවීමට ඉඩක් නොලැබෙන අයුරින් ක්‍රියාත්මක වීමට රුසියාවට හැකිවී ඇත්තේ එකී විදෙස් පිළිවෙත හේතුවෙන් බව විචාරක මතයය.

සීතල යුද්ධය

2003 වර්ෂයේදී අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරනවිට රුසියාව ඊට එරෙහි වූයේ ය. පෝලන්තය හා චෙක් ජනරජයේ මිසයිල ස්ථානගත කිරීමට අමෙරිකාව උපාය මාර්ගිකව ප්‍රයත්න දැරූ විට ද එය රුසියාවට තර්ජනයක් බව දක්වමින් ඊට එරෙහි වීමට ජනාධිපති පුටින් ක්‍රියා කළේය. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට නැඹුරු වී සිටියද අවශ්‍ය නම් යුරෝපයේ අලුත් ඉලක්ක වෙත රුසියානු මිසයිල යොමු කළ හැකි බවට එහිදී ඔහු තර්ජනයක් ද කර තිබිණි.

පැරැණි යුගොස්ලාවියාව බිඳවැටී කොසෝවෝ ප්‍රාන්තය වෙනම රාජ්‍යක් ලෙස නැඟී සිටීමට බටහිර රටවල සහායෙන් දියත් වූ ක්‍රියාදාමයේදී රුසියාව ඊට එරෙහි විය. කොසෝව සයිබීරියාවට අයත්ව තිබූ ප්‍රාන්තයක් වන අතර එය කඩා වෙන්කිරීම නෛතිකව මෙන්ම සදාචාරාත්මකවද අනුමත කළ නොහැකි බව ජනාධිපති පුටින්ගේ ස්ථාවරය විය.

සෝවියට් සංගමයෙන් බිඳී වෙන්ව ගිය රටවල් නේටෝවට සමීපවනු දැකීමට රුසියාව නොකැමැතිය. ඒ බව යුක්රේන, ජෝර්ජියා, මෝල්ඩෝවා නිදසුන් මඟින් පැහැදිලි වේ. යුක්රේනය සම්බන්ධ‍යෙන් රුසියාවේ මැදිහත්වීම නොරිසි අමෙරිකාව සහ බටහිර රටවල් රුසියාවට යම් තහංචි පැනවීමටද පියවර ගත්තේය.

අමෙරිකාවේ සහ බටහිර රටවල මෙහෙයවීම මත දියත් වූ අරාබි වසන්තය නම් ක්‍රියාදාමයේදී රුසියාව අනුගමනය කළේ සුපරීක්ෂාකාරී පිළිවෙතකි.

සිරියානු අර්බුදයේදීද රුසියාව ක්‍රියා කරමින් සිටින්නේ එම ස්ථාවරයේ පිහිටමිනි. සිරියාව සහ රුසියාව අතර දශක කිහිපයක් තිස්සේ සමීප මිත්‍රත්වයක් පවතින අතර සිරියාවේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුසියාව කැපවී ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.

අමෙරිකානු ආධිපත්‍යට මෙන්ම ඉස්ලාමීය අන්තවාදයටද ඉඩ නොතැබිය යුතු බව මෙහිදී ජනාධිපති පුටින්ගේ ස්ථාවරයයි. අයි.එස්.අයි.එස්.සංවිධානය අල්ඛයිඩාවටත් වඩා ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පෙරට එමින් සිටියදී එය යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිවී ඇත්තේද රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙනි. එහිදී රුසියාව ඍජු පිළිවෙතක පිහිටා කටයුතු කළේ අමෙරිකාවටද පාඩමක් කියා දෙමිනි.

විදේශ පිළිවෙත

ජනාධිපති පුටින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ගනුලැබූ පියවර අමෙරිකාවට සහ බටහිර රටවලටද සහනයක් වූ බව නොරහසකි. මෙහිදී රුසියාව තවමත් සටනේ සිටී. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව ඔවුන් දැඩි ලෙස අනතුරු අඟවා ඇත.

රුසියා - චීන සබඳතා මිත්‍රශීලී අයුරින් ඉදිරියට යමින් පවතී. ප්‍රබල BRICS හවුලේ සාමාජික රටවල් ලෙස මේ දෙරටම කටයුතු කරයි. නව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟද රුසියාවට යම් අවබෝධයකින් සබඳතා පවත්වන බව පැහැදිලි විය. කෙසේ වුවද මෑතදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යම් අර්බුදකාරී තත්ත්වද පැන නැගිණි.

රුසියාව යනු භූමි ප්‍රමාණය අනුව සලකන විට ලොව විශාලතම රාජ්‍යය. එය මිහිතලයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/8 කට වඩා ආවරණය කරයි.

ලොව නව වැනි තැනට වැඩිම ජනගහනය සිටින්නේද රුසියාවේ ය. එය 2016 මාර්තු අගවනවිට මිලියන 144 ඉක්මවීය. එරට අගනුවර මොස්කව් ලොව විශාලතම නගර අතරින් එකකි. 1990 අග භාගය වනවිට එනම් සෝවියට් සංගමය බිඳී වෙන්ව ගිය සමයේ ලොව දෙවන ආර්ථික බලවතා වූයේද ඔවුන්ය.

ලොව විශාලතම ස්ථාවර හමුදාවට හිමිකම් කියන්නේද රුසියාවයි. එමෙන්ම එරට මුල් පෙළේ න්‍යෂ්ටික බලවතෙකි. මේ වනවිට දළ ජාතික නිෂ්පාදනය අනුව රුසියානු ආර්ථිකයට හිමි වන්නේ ලොව 12 වැනි තැනය. ලොව විශාලතම ඛනිජ හා බලශක්ති සංචිත සතු රාජ්‍ය වන්නේ ද රුසියාවය.

මේ සියල්ලෙන් පිළිබිඹුවන්නේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියක් වසරක් සපිරෙනවිට රුසියාව සුපිරි බලවතකු ලෙස නැවතත් පෙරට එමින් ඇති බවය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...