මිත්‍රයා සහ යක්ෂයා | දිනමිණ

මිත්‍රයා සහ යක්ෂයා

වසන්ත ප්‍රිය රාමනායක

මෙවර ජනාධිපතිවරයා කළ යාපනය සංචාරය ‍එම ප්‍රදේශයේ ජනතාවට විශාල පල ප්‍රයෝජන අත්පත් කර දුන් සාර්ථක සංචාරයක් බව අමුතුවෙන් කිවයුතු නැත. 2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ දක්වා කෙටි කාලයක් තුළ යාපනය ප්‍රදේශයට වැඩිම වාර ගණනක් පැමිණි රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.

උත්සව කීපයකට ම සහභාගී වීමට පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරයක නිරත විය. ඉන් ප්‍රධාන කාර්යයක් වූයේ දෙමළ භාෂා දිනය වෙනුවෙන් පැවති සම්මාන ප්‍රධානෝත්සවය හා සංස්කෘතික උළෙලයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ මෙම උ‍ළෙලේ දී සමස්ත ලංකා දෙමළ භාෂා දිනය නිමිත්තෙන් පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කර තිබූ සිසු සිසුවියන් 350 දෙනකු සඳහා තිළිණ සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහනට සමඟාමීව රු. මිලියන 600ක වියදමින් ඉදි කළ යාපනය හින්දු විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරයක්ද මෙහිදී ජනාධිපතිවරයා අතින් විවෘත විය.

එසේ ම පසුගිය දා ඇරඹි ආහාර නිෂ්පාදන සංග්‍රාමය උතුරෙන් පටන් ගැනීම ද ‍ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයට අදාළ ව සිදු කෙරිණ. කෘෂිකාර්මික යන්‍ත්‍ර සූත්‍ර, බීජ වර්ග හා පැළ බෙදා දීම් ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සිදුවිය.

උතුරට නිදහස

“අපිට අවශ්‍ය ආහාර අපි නිෂ්පාදනය කර ගත යුතුයි. උතුරේ ගොවි ජනතාව ඉතා දක්ෂ බව මුළු ර‍ටම දන්නවා. යාපනේ ‍ගොවියා පිළිබඳ ව තිබෙන්නේ කීර්තිමත් ඉතිහාසයක්. යාපනේ ගොවියා කියලා කියන්නේ ප්‍රශ්න තිබියදී ඉතාමත් දක්ෂ විදියට කෘෂිකර්මික නිෂ්පාදනවල නියැලෙන පිරිසක්. අද මම උතුරේ ගොවි ජනතාවට රජය මඟින් කෘෂිකර්මාන්ත‍ය දියුණු කරන්න උපකාර රාශියක් කළා.”

(ජනාධිපති මෛත්‍රී - 16/10/2017 මාධ්‍ය)

මෙහිදී පිටරටින් ගෙන්වනු ලබන අර්තාපල් සම්බන්ධයෙන් ‍යාපනයේ ගොවි ජනතාව කළ ඉල්ලීමට අදාළ අංශ හා ‍ගොවිජන සංවිධාන සමඟ සාකච්ඡාවක් කර යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ද ජනාධිපතිවරයා එකඟ විය.

මේ ආදී වශයෙන් ගත් කල මෙවර ජනාධිපතිවරයා කළ යාපනය සංචාරය ‍එම ප්‍රදේශයේ ජනතාවට විශාල පල ප්‍රයෝජන අත්පත් කර දුන් සාර්ථක සංචාරයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ දක්වා කෙටි කාලයක් තුළ යාපනය ප්‍රදේශයට වැඩිම වාර ගණනක් පැමිණි රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ උතුරේ ජනතාවට රජය මඟින් කඩිනම් සංවර්ධනයක් සිදුවිය යුතු බවට කිසිදු විවාදයක් නැත. එම සංවර්ධන කාර්යයෙහිලා යටිතල පහසුකම් වර්ධනය කිරීම ප්‍රධාන තැනක් ගනී. පසුගිය රජය මඟින් ද ඊට අදාළ කාර්යයන් ආරම්භ කර තිබුණි. බිම් බෝම්බ ඉවත් කිරී‍ම අවසන් වනවාත් සමඟම එම කාර්යය වේගවත් විය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වත්මන් යහපාලන රජය මඟින් එය තවත් වේගවත් වූ බවට කාට කෙසේ වෙතත් උතුරේ ජනතාවට රහසක් නොවේ.

අධිආරක්ෂක කලාපවලට හා යුද හමුදා කඳවුරුවලට අයත්ව තිබූ උතුරේ ජනතාවට අයිති ඉඩම් නිදහස් කිරීම මෙහිදී ප්‍රධාන කාර්යයක් වී තිබුණි. එම ක්‍රියාවලියේ දී ලෝකයේ මෙවන් අරගලවලට සම්බන්ධව වෙනත් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාව වඩාත් ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබෙන සත්‍යයකි.

ඉඩම් අයිතිය

දශක ගණනාවක් තිස්සේ තම ඉඩකඩම් අහිමි වී කඳවුරුගතව සිටි ජනතාවට කඩිනමින් ඒවා ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇත. ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ද ජනතාව අතරට යෑමට ඉඩම් ‍හොඳ මාතෘකාවකි. එහෙත් ඒ සඳහා කලක් ගතවේ. දකු‍ණේ සමහර අන්තවාදීන්ගේ විරෝධතා ද නොතකා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වත්මන් රජය එම කාර්යය ඉතා කඩිනමින් සිදු කරමින් සිටී. මේ වන විට යාපනය අර්ධද්වීපයේ වැසි‍යන්ගේ ඉඩම්වලින් 90%ක් පමණ ඔවුන්ට මුදා හැර තිබේ. වැදගත් ආරක්ෂක මර්මස්ථාන හා විවිධ ආරවුල් සහිත ඉඩම් හැර අන් සියල්ල ම වාගේ මේ වන විට නිදහස් කර ඇත. ආරක්ෂක අතින් වැදගත් තැන්වල පිහිටි උතුරේ ජනතාවගේ ඉඩම් වෙනුවට වෙනත් ඊට යාබද ප්‍රදේශවලින් ඉඩම් ලබා දීමට ද රජය කටයුතු යොදමින් සිටී.

මෙහිදී කනගාටුවට කරුණ මෙම කාර්යයන් කඩිනම් කිරීමට උතුරේ දේශපාලනය කරන අයගේ මැදිහත්වීම දුර්වල මට්ටමක පැවතීමයි. ඊට හේතුව උතුරේ සංවර්ධන හා ඉඩම් ප්‍රශ්නය මුල් කර ගෙන ඔවුන් තමන්ට ආවේණික කට්ටිවාදී දේශපාලනයක නිරත වීමයි.

එසේ නම් මෙවර ජනාධිපතිවරයා උතුරේ සංවර්ධනය කරද්දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය කුමක් ද?

එය සංවිධානය කර තිබුණේ කවුරුන්ද?

උද්ඝෝෂණය කළ අය අතරට ජනාධිපතිවරයා ගියේ ඇයි?

එතුමාට තිබුණා එතැනට නොයා ඉන්න.

පරාජිත විරෝධතා

මේ විදියට දකුණේ උද්ඝෝෂකයන් අතරට නොගියේ ඇයි?

එහෙම නම් ඒ අය අතරටත් යන්න තිබුණා නේද?

දකුණට වඩා උතුරට වෙනස් සැලකිල්ලක්ද?

මේ ආදී වශයෙන් යාපනේ හින්දු විද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයේදී ජනාධිපතිවරයා එම පිරිස් අතරට යෑම සම්බන්ධයෙන් විවිධ මත පළවේ. මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ශිවාලිංගම් ඇතුළු කණ්ඩායමකි. සිවාලිංගම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ සංවිධානයෙන් තරඟ කර පරාජය වූ අයෙකි. ඔහු ටෙලෝ සංවිධානය නියෝජනය කරන එල්.ටී.ටී.ඊ. හිතවාදියකු ලෙස ප්‍රකටය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු පරාජය කරමින් සිය එල්.ටී.ටී.ඊ. හිතවාදීකමට හා අන්තවාදී දේශපාලනයට යාපනයේ ජනතාව ඔහුට පාඩමක් උගන්වා තිබේ. එහෙත් එවන් පාඩමක් උගත් බවක් සිය ක්‍රියාකාරකම් ඇසුරින් සිවාලිංගම්‍ තවමත් පෙන්වා නැත. උද්ඝෝෂකයන් 25කට 30කට වඩා මෙම උද්ඝෝෂණයට සහභාගී කරවා ගැනීමට ද ශිවාලිංගම්ට හැකියාවක් ලැබී නැත.

මේ නිසා යාපනේ ජනතාව අතර නැවත ගොඩනැංවීමට බලාපොරොත්තු වන අන්තවාදී දේශපාලනයේ අසාර්ථකත්වය මෙම උද්ඝෝෂණයෙන් ම නැවතත් පැහැදිලි වුණි. මෙම උද්ඝෝෂණයට මාතෘකාව කරගෙන තිබුණේ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නයයි. එහෙත් ඔවුන්ගේ පවුල්වල අයවත් සහභාගී වුණි නම් මීට වඩා වැඩි සෙනඟක් ශිවාලිංගම්ලාට සහභාගී කර ගැනීමට හැකිවනු ඇත.

එල් ටී ටී ඊ සැකකරුවන්

යුද ජයග්‍රහණයේ සිට මේ වන විට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 13000 කට වැඩි පිරිසක් පමණ මුදා හැර ඇති අතර පුනරුත්ථාපනයෙන් අනතුරුව ඔවුන් සමාජ ගත කර තිබේ. එහෙත් මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නඩු පැවරිය යුතුව ඇත. මේ වන විට එවන් දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ 83 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. මීට අමතරව තවත් 12 දෙනෙකුගේ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ හැකි වනු ඇත. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය ඇතුළු ඝාතන රැසකට ඍජුව ම සම්බන්ධ වූ පිරිස්‍ මේ අය අතර සිටින බව දැන ගැනීමට තිබේ. එමෙන් ම හිටපු හමුදාපති අමාත්‍ය සරත් ‍ෆොන්සේකා මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ පිරිස් ද සිටී.

ශිවාජිලිංගම්ලා උතුරේ ජනතාව රැවටීම‍ට විවිධ ප්‍රකාශ කරනු ලැබුවද 2015 ජනවාරි 08 වැනිදා වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට‍තේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 257ක් සිට ඇත. මින් දඩුවම් විදින හා සැක කටයුතු 124ක් ඉතිරිව සිටී. ඉහත සඳහන් 83 දෙනාද අයත්වන්නේ මෙම පිරිසටය. ඒ අනුව 133ක් දෙනා නඩු අවසන් වී හෝ දඩුවම් අවසන් වී හෝ නිදහස් වී ඇත.

ජනතාව රැවටීම

සාමාන්‍යයෙන් රටේ නායකයා උද්ඝෝෂකයන් අතරට යන්නේ නැත. දසරාජ ධර්මයන්ට අනුව නායකයෙක් මෘදු මෙන් ම දැඩි විය යුතු බව ද කියැවේ. ජනාධිපතිවරයා ප්‍රශ්නය විමසීමට කෙළින් ම උද්ඝෝෂකයින් අතරට ගියේ තමා අවංක නිසා බව පැහැදිලිය.

එහිදී ඔහු සඳහන් කළේ ප්‍රශ්නයක් තිබේ නම් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසය. සාකච්ඡා අවශ්‍ය නැතැයි ශිවාජිලිංගම්ලා කළ ප්‍රකාශයෙන් ම ඔවුන් දේශපාලනඥයන් නොව කොතරම් ග්‍රාමීය අන්තවාදීන් දැයි උතුරේ ජනතාවට ම පැහැදිලි වනු ඇත. තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නොවන ඕනෑම කෙනෙක් පාවිච්චි කිරීම මේ අයගේ දේශපාලනය බව උතුරේ ජනතාවට ම තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ එඩිතර ගමනේ අරමුණ වන්නට ඇත.

එය දකුණේ සමහර ප්‍රචණ්ඩ උද්ඝෝෂණ හා සම කළ නොහැකිය. ඒ නිසා මෙය ජනපතිවරයා ගමන් කළ ගමන් මාර්ගය අසලම සිදුවන සාමකාමී උද්ඝෝෂණයක් හා සමකිරීම සාධාරණ වන්නේ නැත.

මේ සියලු දෙනාට ජනාධිපතිවරයා මෙහිදී දුන් පණිවිඩය වැදගත්ය. “ මම දුර්වල කළහොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා කියන එක අමතක කරන්න එපා. “ ඒ නිසා අන්තවාදීන් පිටුපස යමින් යළි සාමකාමී ජන ජීවිතය පමණක් නොව මුළු උතුරම විනාශ කරන අන්තවාදී යක්ෂයෙක් ගෙන්වා ගැනීමට උතුරේ ජනතාව සූදානම් නැත. එදාට අමිර්තලිංගම්ලාට සිදු වූ පරිදි ශිවාජිලිංගම්ලා වුවද ඉතිරි වන්නේ නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...