විශේෂ අවශ්‍යතා සහිත අයගේ දක්ෂතා එළිදැක්වීමක් | දිනමිණ

විශේෂ අවශ්‍යතා සහිත අයගේ දක්ෂතා එළිදැක්වීමක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් යනු කාගේත් අධානයට යොමුවිය යුතු එමෙන්ම ආදරයට පාත්‍ර විය යුතු පිරිසකි. මේ වන විට මෙම පිරිස දිනෙන් දින ඉහළ යන බව විශේෂ ළමා අධ්‍යාපන ඒකක වලට ගියවිට පැහැදිලි වන කරුණකි.

මෙම ප්‍රජාවගේ මානසික ශක්තිය වැඩිකිරීමේ අරමුණින් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමේ වැඩ සටහනක් පසුගියදා ප්‍රාදේශීය මහ ලේකම් ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය මහ ලේකම්වරයා පැවසුවේ මෙම ප්‍රජාව දෙස අනුකම්පාවෙන් නොබලන ලෙසය. මේ අයට කිසිවකුගේ අනුකම්පාව අවශ්‍ය නොවන බවත් එහෙත් ආදරය අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම තමාගේ එදිනෙදා කයුතු තමාටම කර ගැනීමට සලස්වන මෙන්ද මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දුරත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා ආබාධිත දරුවන් පමණක් නොව වයසට ගිය තම මවුපියන් මහ මග දමා යන පිරිසක් වෙසෙන රටක මෙම මවුපියන් විසින් කරන මෙහෙවර විශාල පින්කමක් ලෙස දකින බවද පෙන්වා දුන්නේය.

මෙහිදී ආබාධිත පිරිස් තම හැකියාවන් පෙන්වා ත්‍යාග හා සහතික පත් ලබා ගත් අතර පැමිණි සියලුම ආබාධිත පිරිසට ත්‍යාග ලබා දීමට ස්ව ශත්ති සංවිධානය හා සමාජ සේවා නිලධාරිනී අනෝමී වික්‍රමනායක මහත්මිය කටයුතු කර තිබුණි.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක
ධර්මදාස සිරිවර්ධන

නව අදහස දක්වන්න