සොයෙල්-සජාඩ් කටුකුරුන්දේ ජය ධජ නංවති | දිනමිණ

සොයෙල්-සජාඩ් කටුකුරුන්දේ ජය ධජ නංවති

ගීෂා මුණසිංහ

රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය 2017

මෙරට මෝටර් රථ හා යතුරුපැදි තරග බිමට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබාදෙමින් රොදර්හැම් මාණ්ඩලික තරගාවලියට පළමුවරට ඇතුළත් වූ මෝටෝ ජී.ටී. (Moto GT) මෝටර් රථ ශූරතා තරගය ජයගත් ප්‍රවීණ ධාවන ශූර සජාඩ් සුහයිර් කටුකරුන්ද තරගාවලියේ දක්ෂතම රියදුරා ලෙස අභිෂේක ලැබීය. කිලෝමීටර් 45ක තරග ඉසව්වක් ලෙස පැවැති මේ තරගයේදී ප්‍රබල තරගකරුවන් 16 දෙනකු අබිබවා ජයග්‍රහණය අත්කර ගැනීමට ඔහු සමත් විය.

සියැට් - ස්ලඩා ශූරතා තරගමාලාවේ අවසන් තරගාවලිය ලෙස පසුගියදා කටුකරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට පත්වූ මේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ශූරයා ලෙස කුසලානය දිනාගැනීමට සමත්වූයේ පසුගිය වසරේ පළමුවරට තරගාවලියට එක් කළ මෝටෝ ජී.පී. (Moto GP) ශූරතා තරගයෙන් ජයගත් සොයෙල් ඩැනියෙල්ය. පසුගිය වසරේ එම ඉසව්වේ ජයගනු ලැබුවේ ද සොයෙල් ඩැනියෙල් විසිනි.

ඉෂාක් වහාබ්, අශාන් සිල්වා, උෂාන් පෙරේරා, දිනේෂ් ජයවර්ධන, ජනක ඩයස්, අරවින්ද ප්‍රේමදාස, යසිත් ගමගේ, ඉර්ෆාම් ෆූවාඩ්, සජාඩ් සුහයිර්, ටිරෝන් හෙන්ද විතාරණ, මිස්සක නවීන්, මනීෂ ගුණතිලක, කුෂාන් පීරිස්,කපිල ජයසුන්දර, චරිත පෙරේරා, ඩැරන් වීරසිංහ හා ඩෑන් දිසානායක කාල ගණනය අනුව පෙළගැසී සිටියේ නව තාලයේ අත්දැකීමක් ලබාගැනීමේ අරමුණින්ය. තරගයේ ආරම්භයේදී පෙරමුණ ගත් ඉෂාක් වහාබ් පළමු හැරවුමේදීම පසුකොට පෙරමුණ ගැනීමට දෙවැන්නා ලෙස සිටි අශාන් සිල්වා සමත්වීම කැපී පෙනුණි.

දිනේෂ් ජයවර්ධන දෙවැනි තැන උදුරාගත් අතර අරවින්ද ප්‍රේමදාස තුන්වැන්නා බවට පත්විය. තරගයේ ‍සිවුවැනි වටයේදී අශාන්ගේ මෝටර් රථයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා නැවත පෙරමුණ ගැනීමට අසමත්වූ අතර සෙසු තරගකරුවන් ද ‍ඔහු අබිබවා ගියහ. ප්‍රවීණ මෝර් රථ ධාවක අරවින්ද ප්‍රේමදාසගේ මෝටර් රථය ද සිවුවැනි වටය අවසානයේදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. අෂාන්ගේ සහ අරවින්දගේ පසුබැසීම නිසා දිනේෂ් ජයවර්ධණ පෙරමුණට පැමිණියත් ඔහුට එක් වටයකට වඩා ඉදිරියෙන් සිටීමට නොහැකිවූයේ ඔහුගේ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී යාම නිසාය. ඔහු නැවත ධාවන පථයට පිවිසියේ ලැබූ අවස්ථාවෙන් කදිම ඵල නෙලාගත් ජනක, සජාඩ්, ඩැරන් සහ උෂාන් ඔහු පසුකර යද්දීය. තරගයේ 6 වැනි වටය නිමාවෙද්දී ඩැරන් පසුකර සජාඩ් පෙරමුණ ගත් අතර ජනක ඩයස් දෙවැන්නා ලෙසත්, උෂාන් පීරිස් තෙවැන්නා ලෙසත් ඔවුනොවුන්ගේ ස්ථාන තහවුරු කරගත්හ. 14 වැනි තරග වටයට පිවිසෙන තුරුම එම ස්ථාන වෙනස් නොවූවත් පසුව ඉදිරියට පැමිණි උෂාන් මීටර් 600ක පමණ දුරක් රඳවා ගනිමින් පෙරමුණේ පසු වූ සජාඩ් වෙත ළඟා වූයේ මෝටර් රථ දෙක අතර පරතරය අඩුකර ගනිමිනි.

අවසන් වට කිහිපයේදී උෂාන්ගෙන් සජාඩ්ට තියුණු අභියෝගක් එල්ලවූවත් තරගය අවසන් වන තුරුම උෂාන්ට පෙරමුණ ලබානොදීමට සජාඩ් වගබලා ගත්තේය.

ජී.ටී. මෝටර් රථ තරග ඉසව්ව මෙන්ම කාගේත් අවධානය දිනාගත් පසුගිය වසරේ හඳුන්වා දුන් ජී.පී. යතුරුපැදි තරග ඉසව්වට තරග කරුවන් දහයකට වැඩි පිරිසක් එක්වී සිටියහ. ශ්‍රීයන්ත අනුරාධ, ළහිරු ප්‍රදීප්, ශ්‍රීවංක පිලිප්,මහේන්ද්‍ර ප්‍රනාන්දු, දිමුත් ද සිල්වා, මධුරංග කල්දේරා, සොයෙල් ඩැනියෙල්, ප්‍රමුඛ සේසත් හා ලතික ශාමේල් කාල ගණනය අනුව පෙළ ගැසෙමින් තරගයට පිවිසි අතර සාර්ථක ආරම්භයක් ලැබු මධුරංග කල්දේරා සිය අත්දැකීම් උපයෝගි කරගනිමින් සෙසු තරගකරුවන්ට අතර දිගු පරතරයක් තබාගැනීමට සමත්විය. එහෙත් ඔහු පසුපසින් ප්‍රමුඛ, ළහිරු හා ශ්‍රිවංක හඹා යද්දී සොයෙල් ඩැනියෙල් සිටියේ තිදෙනාටම පසුපසිනි. එහෙත් වට 15ක් නිමාවෙද්දී පෙරමුණේ පසුවූ මධුරංග සහ ප්‍රමුඛ අතරට එක්වූ සොයෙල් ක්‍රමයෙන් පරතරය අඩු කරමින් අවසන් වට කිහිපයේදී දෙදෙනාවම අබිබවා පෙරමුණ ගත් අතර තරගය නිමාවනතුරුම සිය ආධිපත්‍ය පතුරුවා හැරියේය. ප්‍රමුඛ සේසත් දෙවැන්නා ලෙස තරගය නිමා කළ අතර මධුරංග කල්දේරාට හිමි වූයේ තෙවන ස්ථානයයි.

මෝටර් රථ තරග ඉසව්වලින් මේ වසර පුරාවට නවකයකු ලෙස ඉතාමත් ඉහළ දක්ෂතාවයන් පාමින් සිටින කුෂාන් පීරිස්ට රොදර්හැම් තරගාවලියේ අණසක පතුරුවාලීමට නොහැකිවිය. තරග ඉසව් තුනක් නියෝජනය කළත් ඔහුට හිමි වූයේ එක් ජයක් පමණි. එස්.එල්.ජී. ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අශාන් ද මේ තරගාවලියේ සාර්ථක ඵල නෙලාගැනීමට අසමත්විය. එමෙන්ම ප්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ තරග ඉසව් දෙකක් නියෝජනය කළත් කිසිදු ජයග්‍රහණයක් හිමිනොවිම කැපී පෙනුණි. 

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...