ලංගමට සල්ලි | දිනමිණ

ලංගමට සල්ලි

සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය මුදල් අමාත්‍යවරයා වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවෙන් කියැවෙන්නේ රුපියල් මිලියන 31,000ක් ලංගමය සඳහා ලබාදෙන ලෙස ය. එවිට ලංගමය ගොඩගත හැකි බව ද ලාභ ලැබිය හැකි බව ද සේවක අයිතිවාසිකම් ලබාදිය හැකි බව ද ඉහත සංගමය පෙන්වා දෙයි. දැනට ලංගමය දුවන්නේ පාඩු පිට ය. ඇතැම් මාසවල සේවක වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය මුදල් සැපයිය යුතු ය. ලංගමය දුවන්නේ භාණ්ඩාගාරයේ සහයෝගය මත යැයි කියන්නට පුළුවන. ඩිපෝ කිහිපයක් පමණක් යන්තමට තම වියදම බේරාගෙන පඩිත් ගෙවන බව ද කිව යුතුය.

රාජ්‍ය ආයතනයක් පාඩු ලබමින් වැහෙන්නට යන විට රජය මැදිහත් වී එය ගොඩදැමීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියකි. එහෙත් ලංගමය රජයේ ආධාර මත දුවන්නේ කාලයක සිට ය. 1950 ගණන්වල සිට 1977 පමණ වන තෙක් රටේ මගී ප්‍රවාහනයේ අධිකාරීත්වය දරන ලද්දේ ලංගමය යි. විවෘත ආර්ථික සම්ප්‍රදායට අනුව කිසිදු ක්ෂේත්‍රයක අධිකාරිත්වයක් නො පවතී. මහජනයාට වැඩි සේවයක් සලසාදීම සඳහා එකිනෙක ක්ෂේත්‍රවල තරගයක් ඇති කිරීම නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. මෙහිදී තරගකාරිත්වයට මුහුණදීමට ආයතනවලට සිදුවේ. අප දන්නා හැටියට ප්‍රවාහන ක්ෂේත්‍රයේ තර‍ගයෙන් ලංගමය පරාජයට පත්විය.

ප්‍රවාහන සේවක සංගමය ඉදිරිපත් කරන තර්කය දෙස නැවත හැරී බැලුවහොත් වැදගත් කරුණු කිහිපයක් එහි තිබේ. ඔවුන්ගේ යෝජනාවලට අනුව දිස්ත්‍රික්කයකින් එක් ඩිපෝවක් තෝරාගෙන එම ඩිපෝව ප්‍රවාහන මධ්‍යස්ථානයක් සේ දියුණු කළ යුතුය. ඉන්ධන පිරවුම්හලක්, රථවාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක් හා රියදුරු පාසලක් ද එහි ස්ථාපනය කළ යුතුය. මේ යෝජනා ඇත්ත වශයෙන් ම වැදගත් ය. කලකට පෙර ලංගමය මඟින් මෙහෙයවන ලද රියදුරු පාසල් හා ඒ පුහුණුව ඔස්සේ ලබාදුන් සහතික පත්‍රය ද සමාජයේ පිළිගැනීමට ලක් විය. එවැන්නක් නැවත ඇති කළ හැකි නම්; එයින් හොඳ ආදායමක් ද ලැබිය හැකි ය.

ප්‍රවාහන සේවක සංගමය පෙන්වාදෙන තවත් කාරණයක් වන්නේ සේවකයන්ගේ අර්ථ - සාධක, පාරිතෝෂික දීමනා හා වැටුප් වැඩිවීම් යළි ක්‍රියාත්මක විය යුතු බවය. රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු වූ රුපියල් 5000/- ක මුදල ලංගම සේවකයාට ද ලබාදිය යුතු බව ද ඔවුන්ගේ යෝජනා අතර තිබේ. මේ යෝජනා ක්‍රියාත්මකවීම වැදගත් ය. එවිට ලංගම සේවකයන් තෘප්තිමත් ලෙස සේවයෙහි යෙදෙන්නේ යැයි උපකල්පනය කළ හැකි ය. එහෙත් මේ මඟින් ලංගමය යළි සක්‍රීය වේ යැයි සිතිය හැකි ද?

ලංගමය රජයේ වෙනත් ආයතන සඳහා ණය කන්දරාවක් ගෙවිය යුතු බව ද කවුරුත් දන්නා කාරණයෙකි. ආයතනය සඳහා නව බස් රථ අවශ්‍ය බව ද පිළිගත යුතු කාරණයකි. එලෙස ම එහි කාර්මික අංශය සඳහා නූතන තාක්ෂණය හා ඊට අදාළ මෙවලම් එකතු කළ යුතු බවද පිළිගත යුතු සත්‍යයෙකි. මේවා ලබාගැනීම සඳහා ක්‍රියාත්මක විය යුත්තේ ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය යි. අප දන්නා හැටියට ලංගමය ගොඩනැඟීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයට වැඩපිළිවෙළක් තිබේ. ඒ අනුව වැඩි කාලයක් යෑමට පෙර නව බස් රථ දහසකට අධික ප්‍රමාණයක් ආනයනය කිරීමට යන බවද වාර්තා වී ඇත. ප්‍රවාහන සේවක සංගමය ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නේ ඊට අමතර ලෙසින් යැයි කියන්නට පුළුවන.

මේ ක්ෂේත්‍රයේ සේවක සංගම් හා ඉහළ කළමනාකාරිත්වය අතර සහසම්බන්ධයක් නැතැ’යි සිතන්නට පුළුවන. වෘත්තීය සමිති එක මාවතක යන අතර කළමනාකාරිත්වය තවත් මාවතක යන බව පෙනී යයි. ලංගමය ගත්ත ද, දුම්රිය දෙපාර්තමේන්තුව ගත්ත ද මේ තත්ත්වය දකින්නට ලැබේ. වෘත්තීය සමිති ඉහළ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීමට කැමැති නැත. ඉහළ කළමනාකාරිත්වය ද වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට කැමැති නැත. මෙබඳු පසුබිමක් තුළ ආයතන ගොඩනැඟීම ඉතා අපහසු ය. අපගේ වැටහීමට අනුව සේවක සංගමය තම යෝජනා භාර දිය යුතුව තිබුණේ මුදල් අමාත්‍යවරයාට නොව; සිය ආයතනයේ ප්‍රධානීන්ට ය. නැතහොත් ප්‍රවාහන අමාත්‍යංශයට ය.

ලංගමය දියුණු කළ හැකි ය. එම ආයතනයට ලාභ ලැබිය හැකි මතයේ සිටීම එක අතෙකින් සුබදායක ය. සමහරුන්ගේ මතය වන්නේ ලංගමය ඈවරකොට මගී ප්‍රවාහනයේ ඒකාධිකාරය පෞද්ගලික බස් සංගම්වලට භාර දිය යුතු බව ය. තව සමහරුන්ගේ මතය වන්නේ ලංගමයේ කළමනාකාරිත්වය තනිකර ම පෞද්ගලික අංශය වෙත භාර දිය යුතු බව ය. එහෙත් මහජනයා තුළ අදත් ලංගමය කෙරෙහි විශ්වාසයක් හා ආදරයක් පවතී. ලංගමය පෞද්ගලික අංශයට පවරනවාට මහජනයා තුළ කැමැත්තක් නැත. පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවය කාර්යක්ෂම වන්නේ වුව ඔවුන් මහජනයා වෙත වගකිවයුතු සේවයක් ලබාදීමට සමත් වී නැත. එය පිළිගත යුතු සත්‍යයෙකි. පෞද්ගලික අංශයේ එක ම අභිලාෂය ලාභ ලැබීම පමණි.

කිසිදු භේදයකින් තොරව ලංගමය ශක්තිමත් කළ යුතුය. ඒ ප්‍රධාන සාධක දෙකක් නිසා ය. එක; මහජනයාට වගකිව යුතු විශ්වාසවන්ත සේවයක් ලබාදීම සඳහා ය. දෙක; මේ වනවිටත් ලංගමය ඔස්සේ ජීවිකාව ගෙන යන සේවක පිරිසගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ය. මේ සාධක දෙක ම අත්හැරිය නොහැකි අපේක්ෂා ලෙස පවතී. සේවක සංගමය ඉල්ලා සිටින්නේ 2018 අයවැය ලේඛනයෙන් ඉහත සඳහන් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළ යුතු බව ය. ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැ’යි සිතිය හැකි ය. මෙවර අයවැය ලේඛනයට ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධ ඇස්තමේන්තු මේවන විටත් සකසා ඇතැ’යි සිතන්නට පුළුවන. එයට හේතුව නොවැම්බරයේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතු බැවින් ය.

ප්‍රවාහන සේවක සංගමයේ යෝජනා නරක නැත. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද? කළමනාකාරිත්වය භාරගන්නේ කවුද? යන ප්‍රශ්නවලට අමතරව පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන මේ ලෙසින් අරමුදල් ඉල්ලා සිටින්නේ ද යන්න ද සොයා බැලිය යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...