කෝටි 4ක් වංචා කළ කත අත්අඩංගුවට | දිනමිණ

කෝටි 4ක් වංචා කළ කත අත්අඩංගුවට

ස්වර්ණා විජේකෝන්

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයකු විසින් ඔක්තෝබර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ නිලධාරින් කළ රහසිගත ආවේක්ෂණීය විමර්ශනයකින් අනතුරුව ඔක්තෝබර් මස 14 වන දින කඩවත හඳුවලගේ ශර්මිලා ජයරත්න (අවු. 45) නම් ප්‍රධාන සැකකාරිනිය අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප්‍රකාශද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක්ද අත්අඩංගුවට ගත් අතර ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 02ක්ද හමු විය. මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7-9ත් අතර මුදලක් ජපාන රැකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමඟින් රුපියල් ‍කෝටි 4 ලක්ෂ 5කට අධික මුදලක් වංචා කර ඇත. මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර ඒ අනුව සැකකාරිය වංචා කළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකියැයි විමර්ශන නිලධාරීහු විශ්වාස කරති.

ඇය ඔක්තෝබර් මස 15 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔක්තෝබර් මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.‍ මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශගතවී ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවයි.

අදාළ සැකකාරිණිය කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ජපන් භාෂා ගුරුවරියකි. මෙම ක්නාතව ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිනියක වන අතර ‍මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමුකර තිබේ. ඉන් අනතුරුව 2012 වර්ෂයේ සිට මෙම රැකියා ජාවාරම මෙහෙයවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශරැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ මේ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට තොරතුරු ලබාදුන් හා මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු මෙහෙයවූ කාර්යාංශයේ සියලු නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාවේ පහත සඳහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍යතුමිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාර්යාංශයේ දුරකථන අංක 009411-2879900, 009411-2879901, 009411-2879902

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ ක්‍රියාකාරී අධක්ෂක නීතිඥ උපුල් දේශප්‍රිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතිඥ කීර්ති මුතුකුමාරණ යන මහත්වරුන්ගේ මඟපෙන්විම මත විමර්ශන ඒකකයේ කළමනාකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී. වෙළගෙදර, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්.ජේ. අබේධීර, උප පොලිස් පරීක්ෂක මංජුල ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර යන නිලධාරීන් හා කාර්යාංශ මාණ්ඩලික සහකාරිණී අසංකි හුළුගල්ල, රියදුරු එම්.ඒ.අජිත් යන අය එක් වූහ. 

 

නව අදහස දක්වන්න