නිල්වලා හොරකමට හිටපු ලේකම්ට වරෙන්තු | දිනමිණ

නිල්වලා හොරකමට හිටපු ලේකම්ට වරෙන්තු

සුභාෂීණී සේනානායක

ගිං නිල්වලා හැරවුම් යෝජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 4012ක මූල්‍ය අක්‍රමිකතාවක් වූ බව කියන සිද්ධියේ පසුගිය රජයේ වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16) වරෙන්තුවක් නිකුත් කළාය.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.

මෙම වරෙන්තුව සිංහලෙන් මෙන්ම නවසීලන්තයට යැවීම සඳහා ඉංග්‍රිසි භාෂාවෙන් ද නිකුත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම වරෙන්තුවේ පිටපත් භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙසට නියෝග කළාය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2015 වසරේ අය-වැය මගින් රුපියල් මිලියන 40ක් අනුමත වී ඇති බවත් එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ ප්‍රතිපාදන රහිතව රුපියල් මිලියන 2902ක් ගෙවා ඇති බවත් කී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ව්‍යාපෘතිය සඳහා අනුමත සියයට පහක් වූ ප්‍රමාණයෙන් සියයට 4.35ක පමණක් ගෙවීමෙන් අදාළ චීන සමාගම වන චීන කැමේ (CAMC) සමාගමට මුදල් ගෙවා ඇති බවත් කියා සිටියේය. මෙම ව්‍යාපෘතිය මගින් ගිං නිල්වලා ගංඟාවල ජලය ප්‍රයෝජනයකින් තොරව මුහුදට යෑම නැවැත්වීමත් අධිකව වර්ෂාපතනය ඇති වන දිනවල ගංඟා පිටාර ගැලීම නැවැත්වීමත් මෙම ජලය හම්බන්තොට ඇතුලු ප්‍රදේශවලට ජලය ලබා දීමට සහ ගංඟා හරස් කර වෙනත් ප්‍රදේශ වලට ගෙන යාමට සකස් කර ඇති බවත් කී අතර මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ව්‍යෘපෘති නිලධාරිවරිය ,සැකකරුගේ ‍සහෝදරයා සොයුරිය ඇතුලු පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කියා සිටියේය.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා පරිසර අධ්‍යයන වාර්තාව සකස් කර ගැනිම එම කොන්ත්‍රාත් සමාගමට පවරා ඇති බවටත් ගෙවිය යුතු මුදල් වන සියයට පහක ප්‍රමාණයෙන් සියයට 4.35ක් ගෙවීම හේතුවෙන් එම සමාගම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර නැති බවත් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකය කියා සිටි අතර චීන සමාගම ලබා ගත් මෙම මුදල් හොංකොං රටේ රෙඩ් කෘට් ඉන්වෙස්ට්මන්ට් නැමැති සමාගමට ප්‍රේෂණය වී ඇති බවට තොරතුරු අනාරණය වූ බවත් එහි හිමිකරු තිරු නඩේෂන් නමැති අයකු බවට අනාවරණය වූ බවත් කියා සිටියේය.

සැකකරු 2016.04.14 වන දින නවසීලන්තය වෙත ගොස් ඇති බව අනාවරණයවූ බවත් අමාත්‍යාංශ මුල් ලිපි ගොනුවේ ඇති එක් ලිපිනයක් සොයුරිගේ බවත් අනෙක් ලිපිනය ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇත්ද එහි පදිංචිය නොමැති බවත් අධිකරණයට දැනුම් දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වයිබර් තාක්ෂණය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන්ද විමර්ශණ සිදු කරන බවද කියා සිටි මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය එම මුදල වසර දෙකක පමණ කාලයක් රඳවා තබා ගැනිමෙන් එම සමාගමට අයුතු ලාභයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කිරිම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයට කරුණු දැක්වීම සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු ක අධිකරණයට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

නව අදහස දක්වන්න