අඹ ගැට තුනක් නිසා දවසක් හිරේ | දිනමිණ

අඹ ගැට තුනක් නිසා දවසක් හිරේ

අඹ මාලුවක් සදහා අසලවූ නිවසක පාරට බරවූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් අවස්ථාවේ අඹ ගස අයිති නිවසේ හිමිකාරිය අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලීසිය පැමිණ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව පැය 24 ක් පොලීස් සිර මැදිරියේ තමන්ට බීමට වතුර පොදක්වත් නොමැතිව රදවා තැබූ බවට අනුරාධපුර සාලියපුර පදිංචි වයෝවෘද්ධ 64 හැවිරිදි ඒ.ලලිතා මහත්මිය පැවසුවාය. 
 
තමන්ට අනුරාධපුර මූලස්ථාන පොලිසියදී අත්විදීමට සිදුවූ කටුක අත්දැකීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ලලිතා මහත්මිය මෙසේ පැවසුවය. 
 
පසුගිය නම වනදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා.ඒ අවස්ථාවේදී නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී නිවස හිමිකාරිය හා මහත්තයාපොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා මම හොරෙන් අඹ කැඩුවා කියලා. 
 
උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් නිවසට පැමිණ මට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 යක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාග කිරීම ස‍ඳහා පොලිසියට පැමිණෙන්න කියලා.පැමිණිල්ල අසා මා පුදුමයට පත්වුණා.වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා.අසනීපෙන් සිටින මා සපාකන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට පැනලා සොරකම් කරන්නේ කොහොමද? පැමිණිල්ල ඇසූ මා පුදුමයට පත්වුණා. 
 
අඹ ගෙඩි තුනක් කඩාගත් වැරැද්ද මා භාර ගන්න නිසා පැමිණිල්ල සමතයකට පත්කර දෙන්න යැයි මා පොලිසියෙන් ඉල්ලා සිටියා.එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරැද්ධ වුණා. පසුව ඇය පොලිස් නිළධාරීන් ඉදිරිපිට දී කියා සිටියා වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස නිවෙස් හිමිකාරියගේ ගස් වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කර ගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කර ගන්නා බව.මා එයට කැමති වුණා.පොලීසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කර ගන්නා බවට ලියා අත්සන් කරන්න.නමුත් ඇය ඊට විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන් මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා. 
 
දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාගකළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩිකර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ලග බංකුවක තමයි මා වාඩි කර සිටියේ. 
 
රාත්‍රීයේ සිරකූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත් වැසිකිලි සදහා එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ලග පොලිසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇප දීලා තමයි මා නිදහස් කර තිබුණේ.
 
ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා. උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලිසියෙන් විසඳ ගන්න තිබුණා.කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින් යැයි ඇය පැවසුවාය
 
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහානාම මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කලේ පැමිණිල්ලක් සමතයකට පත් කර ගැනීම ස‍ඳහා පැමිණිලි පාර්ශවය අකමැඅත්ත ප්‍රකාශ කිරීම නිසා සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවයි. 
 
(අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න