සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිර පළාතට | දිනමිණ

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිර පළාතට

වර්නන් ගුණසේකර

* දක්ෂතම ක්‍රීඩකයා අරුණ දර්ශන

* ක්‍රීඩිකාව හෂිනි ප්‍රබෝධා

2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිර පළාතටත් අනුශූරතාව මධ්‍යම පළාතටත් හිමි වූහ.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පස් දිනක් තිස්සේ පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී බස්නාහිර පළාත සමස්ත ශූරයන් වූයේ ලකුණු 1268ක් ලබා ගනිමිනි. අනුශූරතාව හිමිකර ගත් මධ්‍යම පළාත ලකුණු 526ක් රැස් කළේය.

මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මීටර 400 ඉසව්වේ තත්පර 47.19ක දක්ෂතාවක් වාර්තා කළ මධ්‍යම පළාතේ අකුරම්බොඩ වීරකැප්පෙටිපොල ජාතික පාසලේ එස්.අරුණ දර්ශන ය. තුන් පිම්ම ඉසව්වේ මීටර 13.22ක දුරක් සටහන් කළ වයඹ පළාතේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහ විදුහලේ බී.එම්.හෂිනි ප්‍රබෝධා දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. මීට අමතරව දර්ශන හා ප්‍රබෝධා පිළිවෙළින් ධාවන තරග දක්ෂතම ක්‍රීඩකයා හා පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද තේරිණි.

සමස්ත ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව (අවුරුදු 16න්, 18න් හා 20න් පහළ) හිමිකර ගත්තේ ලකුණු 105ක් ලබා ගත් බස්නාහිර පළාතේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි. මධ්‍යම පළාතේ වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහල ලකුණු 187ක් රැස්කර ගනිමින් ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව දිනා ගත්තේය.

සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ බාලක ශූරතාව (අවුරුදු 12න් හා 14න් පහළ) දිනා ගැනීමට සමත් වූයේ වයඹ පළාතේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහ විදුහලයි. ඒ, ලකුණු 37ක් ලබා ගනිමිනි. ලකුණු 29ක් ලබා ගත් බස්නාහිර පළාතේ මීගමුව ආවෙ මරියා කන්‍යාරාමය කනිෂ්ඨ බාලිකා ශූරියෝ වූහ.

කඩුලු මතින් දිවීමේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මීටර 110 තත්පර 13.91කින් අවසන් කළ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ ෂෙහාන් දිලුෂ කාරියවසම් ය. අකුරම්බොඩ වීරකැප්පෙටිපොල ජාතික පාසලේ එස්.පසිඳු බවන්ත මීිටර 57.1ක් දුර හෙල්ල විසි කරමින් විසිකිරීමේ ඉසව්වන්හි දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

සහාය දිවීමේ බාලක ශූරතාව (අවුරුදු 16න්, 18න් හා 20න් පහළ) කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලත් එහි බාලිකා ශූරතාව වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහලත් හිමිකර ගත්හ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි. 

නව අදහස දක්වන්න