ආසියා සත් සාමාජික රගර් - කොළඹ තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි තැනට | දිනමිණ

ආසියා සත් සාමාජික රගර් - කොළඹ තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි තැනට

ෆවුස් මොහොමඩ්

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදියර ලෙස ඊයේ කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත්වු කොළඹ තරගාවලියේ දී දකුණු කොරියාව ලකුණු 22-5කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙවර තරගමාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ පළමුවරටය.

මීට පෙර පැවැති හොංකොං සහ දකුණු කොරියානු තරගවලදී පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිල කොළඹ දී කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබිමට සමත්වූවත් එහිදී හොංකොං පිල හමුවේ ලකුණු 26-12කින් පරාජයට පත්විය.

තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු මිනිත්තුවේදීම රිචඩ් ධර්මපාල තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු 5-0කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. අනතුරුව පළමු භාගය නිමාවට පත්වීමට පෙර ධනුෂ්ක රන්ජන් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තරින්ද රත්වත්ත ශ්‍රි ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්විය. පළමු භාගය නිමාවීමට පෙර දකුණු කොරියානු පිල උත්සාහක දිනුමක් තැබූ අතර දෙවැනි භාගයේදී ප්‍රතිවාදීන් ඇද බැඳ තබාගත් ශ්‍රි ලංකා පිලට රිචඩ් ධර්මපාල තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමත්. අවසන් මොහොතේදී රීසා රෆායිඩීන් තැබූ උත්සාහක දිනුමත් නිසා ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ දමාගැනීමට හැකිවිය.

පෙරේදා ආරම්භ වූ මේ තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 28-21කින් පරාජයට පත්වූවත් දෙවැනි තරගයෙන් චීනය ලකුණු 28-7කින් ද, අවසන් තරගයෙන් චීන තායිපේ පිල ලකුණු 33-0කින් ද පරාජයට පත් කිරිමට සමත්විය.

ඊයේ කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මැලේසියාව ලකුණු 22-5කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙවර තරගාවලියේ ශූරතාව හිමිවූයේ ජපානය ලකුණු 19-14කින් පරාජය කළ හොංකොං පිලටය. එසේ වුවත් සමස්ත තරගමාලාවේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 32ක් රැස් කළ ජපානය සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්විය. සමස්ත ලකුණු 30ක් ලැබූ හොංකොං පිල දෙවැනි තැනටත්, ප්‍රසාද ලකුණු 27ක් රැස් කළ දකුණු කොරියාව තුන්වැනි තැනටත් පත්විය. ප්‍රසාද ලකුණු සටහනේ සමස්ත ලකුණු 18ක් බැගින් රැස් කළ ශ්‍රී ලංකාවට සහ චීනයට සිවුවැනි තැන හිමිවිය.

කාන්තා පිලට 6 වැනි තැන

මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා රගර් පිල 6 වැනි ස්ථානයට පත්විය. පස්වැනි ස්ථානය සඳහා හොංකොං පිල සමග තරග වැදුණු ශ්‍රී ලංකා පිල එහිදී හොංකොං පිල හමුවේ ලකුණු 12-5කින් පරාජයට පත්විය.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට එක්වූ ශ්‍රි ලංකා කාන්තා රගර් පිල එහිදී ජපානය හමුවේ ලකුණු 19-7කින් පරාජයට පත්වූ අතර හොංකොං පිල හමුවේ ලකුණු 10-5ක පරාජයක් ලැබුවේය. මූලික වටයේ අවසන් තරගයේදී දකුණු කොරියාවට එරෙහිව ලකුණු 29-0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ඊයේ කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් කසකස්තානය හමුවේ ලකුණු 12-0ක පරාජයක් ලබා පළඟ ශූරතා අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා පිල සිංගප්පූරුවට එරෙහිව ලකුණු 34-5ක විශිෂ්ට ජයක් ලැබීය. කොළඹ තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 10-5කින් චීනය පරාජය කළ ජපාන ක්‍රීඩිකාවෝ විසිනි.

නව අදහස දක්වන්න