සැලසිනේ හිටපු සභාපතිට ජාත්‍යන්තර රතු වරෙන්තු | දිනමිණ

සැලසිනේ හිටපු සභාපතිට ජාත්‍යන්තර රතු වරෙන්තු

සිරන්ජනි කුමාරි

සැලසිනේ රූපවාහිනි ආයතනය සතු ලක්ෂ 120කට ආසන්න මුල්‍ය වංචාවක් සිදු කිරිමේ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (13)රතු නිවේදන සහිත ජාත්‍යන්තර විවෘත වරෙන්තුවක් නිකුත් කෙළේය.

සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු අභ්‍යන්තර විගණන නිලධාරිනී වු ‍කණේවෙල පොකුණුවිට පදිංචි මනීෂා සුභාෂිණි ජයලත් නැමැත්තිය මේ මස 23 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියම කෙළේය.

සැලසිනේ ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා වර්ෂ 2010 සිට 2015 දක්වා වු කාලයේ දී සභාපතිධුරය දරා ඇති අතර වුඩ්රෝ ක්ලොස් පෙරිවේල් ග්‍රින් කොර්ඩ් යු බී 6,7 එච් යු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය එක්සත් රාජධානිය පදිංචි ඔහුට 2017 /1/17 වැනි දින සිට මේ දක්වා දෙවරක් නොතිසි නිකුත් කැර තිබිණ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63 වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කරනු ලැබු අතර එහ ජාත්‍යන්තර රතු නිවේදන සහිත වරෙන්තුවක් බවට ඉදිරියේ දී අධිකරණ අමාත්‍යායංශය හරහා ‍පොලිසිය ක්‍රියාමාර්ග ගත ව තිබිණ.

මෙම මුල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකකරන චෙක්පත් අටක් හා මුදල් ලබා ගත් වව්චර් පත් අධිකරණය හමුවේ නඩු භාණ්ඩ ලෙස නම් කිරිමෙන් අනතුරුව මෙම සැකකටයුතු ලේඛන රජයේ රස පරික්ෂක වෙත යොමු කර එහි සදහන් අත්සන් හා අත්අකුරු සම්බන්ධ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණය ඉකුත් 20 වැනි දින රජයේ රස පරික්ෂක වෙත නියෝග නිකුත් කර තිබිණ.

සැලසිනේ ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ,හිටපු ගණකාධිකාරි කත්‍රිආරච්චිගේ දොන් ජොෂප් ද ලසාල් , අභ්‍යන්තර විගණන නිලධාරි හා සුභසාධක සංගමයේ භාණ්ඩාගාරික මනේෂා සුභානි ජයලත් හා සුභසාධක සංගමයේ සභාපති ප්‍රසාද් මධුභාෂණ රංහොට්ටිගේ යන අයගේ අත්සන් හා අත්අකුරු පරික්ෂාව සඳහා මෙසේ අධිකරණය මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අවසර ලබා දි තිබිණ. මුල්‍ය වංචාවෙන් ලක්ෂ 18 කට ආසන්න මුදලක් හිටපු සභාපති වු ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා සිය මිතුරෙකු ට ලබා දි ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මුල්‍ය කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ.

පුර්ණ රාජ්‍ය ආයතනයක් වන සැලසිනේ ආයතනයේ මුල්‍ය වංචාව පොදු දේපොළ පනත යටතට වන වරදක් බවට ද මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

සැලසිනේ ප්‍රධාන ගිණුමේ මුදල් ලක්ෂ 120 සුබ සාධක සංගම ගිණුමට බැර කර ව්‍යාජ අත්සන් යොදා අවස්ථා 20 කදී මුදල් ලබාගෙන ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණය වෙත කරුණු වාර්තා කැර තිබිණ.

සැලසිනේ රූපවාහිනි ආයතනයේ රුපියල් 23,976,000 මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට හිටපු සභාපතිවරයාට මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පෙනි සිටින ලෙස දැනුම් දුන්න ද ඔහු එංගලන්තයේ පදිංචිව සිටින බවට පසුව දැනගත් බවට මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලෙස නම් කරන ලද හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනිම සදහා මෙසේ ජාත්‍යන්තර රතු නි‍වේදන සහිත විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබිණ.

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පොලිස් පරික්ෂක සංජිව ප්‍රනාන්දු හා කොස්තාපල් (77962) බණ්ඩාර යන අය සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කෙළේය. 

නව අදහස දක්වන්න