රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව බිලියන 4 තෙක් ඉහළට | දිනමිණ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව බිලියන 4 තෙක් ඉහළට

සන්ධ්‍යා කරුණාරත්න

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව බිලියන 4 ක් දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව කර්මාන්ත ශාලාව ලබන මාර්තු මාසයේ දී විවෘත කරන බවත් එම විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගත හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ තිස් වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගිය දා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ආයුර්වේද සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතන බවට පත්ව ඇති බවත් ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්වාභාවික ශාකසාර ආයුර්වේද නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරමින් තම ලාබය ඉහළ නංවාගෙන ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ත්‍රිපෝෂ සමාගම අතිරික්ත නිෂ්පාදන ‘සුපෝෂ’ ලෙස වෙළෙඳ පොළට නිකුත් කරන්නේ යැයි ද රාජ්‍ය සංස්ථා ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නොහැකි යැයි කීවද මේ ආයතන ලාභ ලබන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

ඇතැම් සංස්ථා ලාභ නොලබා වැහෙන්නට යමින් පණ අදින විට රජයේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන ඔක්සිජන්වලින් ඒවා පවත්වාගෙන යන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම මේ වන විට අත්හිටුවා ඇති බවත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරියේ දී උසස් රෝහලක් බවට පත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරමින් රෝගී ජනතාවට සහන ලබාදීමට පසුගිය වසර දෙක තුළ දී රජය කටයුතු කළ බවත් ඉදිරියේ දී සියලුම ඖෂධවල මිල අඩු කරන බවත් ඇමැතිවරයා කීය.

පෞද්ගලික රෝහල්වල මිල නියම කිරීම ද ඉදිරියේ දී සිදු කරන්නේ යැයි ඇමැතිවරයා පැවැසීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් මිලියන 7ක මුදලක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පරිත්‍යාග කිරීම මෙහි දී සිදුකෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමනාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් සහභාගි වූහ. 

නව අදහස දක්වන්න