කමිඳුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියා කුසලානයට | දිනමිණ

කමිඳුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියා කුසලානයට

ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට පැවරී තිබේ.

වමතින් හා දකුණතින් පන්දු යවමින් විශිෂ්ට දස්කම් දක්වන ඔහුගේ නායකත්වය යටතේ පසුගිය වසරේ පැවැති මේ තරගාවලියේදී අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම කණ්ඩායම නියෝජනය කළ මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් 15දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ උප නායකයා ලෙස නම් කර ඇති අතර එම තරගාවලියට එක්වූ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වන හසිත බෝයගොඩ, නිපුන් රංසික, අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රමද මෙවර සංචිතයට ඇතුළත් කර තිබේ.

මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා කටයුතු කරයි. ලබන මස 9වැනිදා සිට 20 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් රටවල් 8ක් එක්වෙයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය වසරේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 34කින් පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය.

අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය: කමිඳු මෙන්ඩිස් (රිච්මන්ඩ්), ජෙහාන් ඩැනියල් (මරදාන සා.ජෝශප්), ක්‍රිශාන් සංජුල (කඳාන ද මැසනොද්), අශේන් බණ්ඩාර (ගාල්ල සා.ඇලෝසියස්), හසිත බෝයගොඩ (ත්‍රිත්ව), තිසරු රශ්මික (ත්‍රිත්ව), ප්‍රවීන් ජයවික්‍රම (මොරටුව සා.සෙබස්තියන්), නිපුන් රංසික (අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න), ධනංජය ලක්ෂාන් (රිච්මන්ඩ්), නිශාන් මදුසංක පෙරේරා (මොරටු මහා විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සා.සෙබස්තියන්), නිපුන් ධනංජය (වෙන්නප්පුව සා.ජෝශප් වාස්), රන්ධීර් රණසිංහ (කුරුණෑගල සා.ආනා), කළණ පෙරේරා (ගල්කිස්ස සා.තෝමස්), කෙවින් කොත්තිගොඩ (ගාල්ල මහින්ද) අතිරේක ක්‍රීඩකයන් - විශ්ව චතුරංග (මොරටුව වේල්ස් කුමර), තිළිණ ප්‍රශාන් (සා.සර්වේසස්), රවිඳු සංජන (සා.ඇලෝසියස්), හරීන් බුද්ධිල (සා.ඇලෝසියස්) 

නව අදහස දක්වන්න