ආසියා සත් සාමාජික රගර් අවසන් අදියර අද-හෙට කොළඹ දී | දිනමිණ

ආසියා සත් සාමාජික රගර් අවසන් අදියර අද-හෙට කොළඹ දී

ෆවුස් මොහොමඩ්

ආසියානු කුසලාන සත් සාමාජික රගර් තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදියර අද (14) සහ හෙට (15) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සමග රටවල් අටක් තරග වදින මේ තරගාවලිය අවසානයේදී ආසියාවේ සමස්ත රගර් ශූරයන් තෝරාගනු ලැබේ.

සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක්වන්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන් හමුවේ වැඩි දස්කම් දැක්වීමේ බලාපොරොත්තුව ඇතිවය. මීට පෙර හොංකොං හී සහ දකුණු කොරියාවේ පැවැති තරගාවලි තුළදී පස්වැනි ස්ථානය ලැබූ ශ්‍රී ලංකා පිලේ අරමුණ වී ඇත්තේ මෙවර තරගාවලියේ දී අවසන් කණ්ඩායම් හතරට එක්වීමය.

පීටර් වුඩ්ස්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට එක්වෙයි. ශ්‍රී ලංකාව සමග දකුණු කොරියාව, චීනය හා චීන තායිපේ කණ්ඩායම් ද එම කාණ්ඩයට ඇතුළත්ය. ජපානය, හොංකොං, මැලේසියාව සහ පිලිපීනය ‘බී’ කාණ්ඩයෙන් එක්වී සිටී.

මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව ආසියානු කාන්තා සත් සාමාජික රගර් තරගාවලියේ දෙවැනි අදියරේ තරගාවලිය ද අද සහ හෙට තුරඟ තරග පිටියේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් අටක් තරග වදින මේ තරගාවලියට ශ්‍රී ලංකා පිල එක්වන්නේ රන්දිකා කුමුදුමලීගේ නායකත්වය යටතේය. කාන්තා පිලේ පුහුණුකරු ලෙස සුදත් සම්පත් කටයුතු කරයි.

මිට පෙර දකුණු කොරියාවේ පැවැති කාන්තා තරගාවලියේ පළමු අදියරේ දී පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා රගර් පිලේ අරමුණ වී ඇත්තේ ද කොළඹදී අවසන් කණ්ඩායම් හතරට එක්වීමය.

ශ්‍රී ලංකා කාන්තා රගර් පිල මේ තරගාවලියේදී ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර ජපානය, හොංකොං සහ දකුණු කොරියාවත් ඊට ඇතුළත්ය. ‘ඩී’ කාණ්ඩයෙන් චීනය, කසකස්තානය, තායිලන්තය හා සිංගප්පූරුව තරග බිමට පිවිසෙයි.

ශ්‍රී ලංකා පිරිමි රගර් පිල - සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ඕමල්ක ගුණරත්න, රීසා රෆායිඩීන්, දනූෂ දයාන්, ජේසන් දිසානායක, රෙහාන් ද සිල්වා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, සුදම් සූරියආරච්චි, තරින්ද රත්වත්ත, රිචඩ් ධර්මපාල, දනුෂ්ක රන්ජන් - රොහාන් චින්තක (කළමනාකරු)

ශ්‍රී ලංකා කාන්තා රගර් පිල - රන්දිකා කුමුදුමලී (නායක), අයේෂා පෙරේරා, නදීකා මුණසිංහ, දුලානි පල්ලිකොන්දගේ, තීක්ෂණා ලියනගේ, සංජීවනී ද සිල්වා, කුමාරි දිල්රුක්ෂි, දසුනි ද සිල්වා, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි, අයේෂා කළුආරච්චි, අනූෂා අත්තනායක - තිලංගනී වරකාගොඩ (කළමනාකාරිනී)

ශ්‍රී ලංකාව තරග වදින මූලික වටයේ තරග මෙසේය.

පිරිමි තරග - දකුණු කොරියාව සමග පෙරවරු 11.14ට, චීනය සමග පස්වරු 2.32ට, චීන තායිපේ පිල සමග පස්වරු 5.28ට.

කාන්තා තරග - ජපානය සමග පෙරවරු 11.58, හොංකොං පිල සමග පස්වරු 3.16, දකුණු කොරියාව සමග පස්වරු 5.56ට


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...