පාකිස්තානයට එරෙහි එක්දින ගැටුම් ඇරැඹේ | දිනමිණ

පාකිස්තානයට එරෙහි එක්දින ගැටුම් ඇරැඹේ

ප්‍රින්ස් ගුණසේකර

දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ ඩුබායි ක්‍රීඩාංගණයේ රොද බඳිති

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා - රාත්‍රී තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩු දිනයක් හෙයින් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනින් පැමිණ සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා පිල දිරිමත් කරනු දක්නට ලැබුණි.

රටට විදේශ විනිමය ගෙන එන විශාල පිරිසක් ඩුබායි හී රැකියව කරමින් සිටින අතර ඊයේ තරගය නැරැඹීමට සාජා හා අබුඩාබි යන ප්‍රදේශවලින් ඉතා සංවිධානාත්මකව ශ්‍රී ලාංකිකයෝ පැමිණ සිටියහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් සංගීත කණ්ඩායම් සමග ප්‍රේක්ෂකාගාරවලට පැමිණ සිටීම ප්‍රබෝධය වැඩි කරවන්නක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට ඩුබායි හී එක්දින තරගයකට සහභාගීවී ඇත්තේ වසර 2013 දෙසැම්බරයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාවට ජය අත්විය. එබැවින් මේ තරගයේදී ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව දස්කම් දක්වනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කළහ.

පුවත්පත මුද්‍රණයට යද්දී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ඕවර් 15කදී කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබා සිටියේය. සාමාන් පන්දු 39කදී හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 35ක් හා බාබර් අසාම් පන්දු 39කදී හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 23ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස ෆකාර් සාමාන් හා අහමඩ් ෂේෂාඩ් පිටියට පිවිසියහ. නිමාවට පත්වූ ඉන්දීය සංචාරයේදී බොහෝ අවස්ථාවලදී කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි නොවූ අතර මෙවර පාකිස්තානය සමග නිමාවූ ටෙස්ට් තරග දෙකේදී හා පළමු එක්දින තරගයේදී මේවන විට කාසියේ වාසිය ශ්‍රී ලංකා පිල හිමිකර ගැනීම විශේෂත්වයකි.

පාකිස්තානයේ පළමු කඩුල්ල ලකුණු 11දී බිඳ හෙලීමට ආරම්භක වේග පන්දු යවන ළහිරු ගමගේ සමත් විය. ඔහු අහමඩ් ෂේෂාඩ් වෙත එවූ පන්දුවකට ඉදිරියට පැන ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී ‘ස්ක‍වෙයාර් ලෙග්’ හී සිටි අකිල ධනංජය අතට පහසු උඩ පන්දුවක් දී බිංදුවට දැවී ගියේය.

ඊයේ තරගයට චාමර කපුගෙදර ක්‍රීඩා නොකළ අතර ශ්‍රී ලංකා පිලට උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සි, අකිල ධනංජය හා සුරංග ලක්මාල් එක්ව සිටියහ.

පළමු එක්දින තරගය පමණක් ඩුබායි හී පැවැත්වෙන අතර දෙවැනි හා තෙවැනි එක්දින තරග මේ 16 හා 18 දිනවල අබුඩාබි ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී, සිවුවැනි හා පස්වැනි එක්දින තරග 20 හා 23 දිනවල සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...