කුඩා කල ඉගෙන ගත් පාසලේ දී ජනපතිට මතක් වූ අතීතය | දිනමිණ

කුඩා කල ඉගෙන ගත් පාසලේ දී ජනපතිට මතක් වූ අතීතය

* හදන්නත් කඩන්නත් කොන්ත්‍රාත් දෙන හැටි වජිර හෙළි කරයි
* පින්ලන්තයේ සිට ආ අගමැති පැය තුනකින් වැඩට බසී
* තමන්ම කළ නියෝගයකින් මහින්දට වැටුණු තොප්පිය
* ජවිපේ අමාරුවේ නොදාන්න නිවේදකයා ඇසූ ප්‍රශ්නය

අප රටේ කෘෂිකර්මය නඟා සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වය හිමි වූ අරමුණක් වනවා. ඒ සඳහා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ කළා. පාසල් දිනය, ව්‍යවසායකත්ව දිනය, රුක් රෝපණ දිනය ආදී වැඩ සටහන් රාශියක් ඒ යටතේ ක්‍රියාත්මක වනවා. පුරන් කුඹුරු සංවර්ධනය සඳහා වැඩසටහනක් ද එයට ඇතුළත්. මෙම වැඩ සටහන ආරම්භ කරමින් ජනාධිපතිතුමා කීවේ රජයෙත් පෞද්ගලික අංශයෙත් ඇති ප්‍රයෝජනයට ගත හැකි සියලු ඉඩම් වගා කිරීමට පියවර ගත යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය නව නීති හඳුන්වාදීමට ඉදිරි කාලයේ ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිතුමා කීවා.

තමන් කුඩා කල ඉගෙනුම ලැබූ පොළොන්නරුව ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සඳුදා ගියේ එහි අභිනවයෙන් ඉදිකළ තට්ටු තුනක පන්තිකාමර ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහායි. එහිදී විද්‍යාලයේ අතීත සිදුවීම් රැසක්ද ජනාධිපතිතුමා විස්තර කළා. 1978දී ඇති වූ මහා සුළිසුළඟ නිසා මෙම විද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ජනාධිපතිතුමා කීවා. විද්‍යාලයේ දැනට ඇති පැරණි ගොඩනැගිලි ඉදිවූයේ ඉන් පසුව බවත් ජනාධිපතිතුමා මතක් කළා.

මෙම ප්‍රදේශයේ පදිංචි කළේ දෙවන ලෝක යුද්ධයේ සේවා මුක්ත භට පිරිස් බවත්, මැලේරියා වසංගතය නිසා බොහෝ දෙනා ප්‍රදේශය අතහැර ගිය බවත් ජනාධිපතිතුමා පැවැසුවේ අතීතය ගැන නොදන්නා වත්මන් පරපුරට එම කටුක යුගය ගැන මතක් කිරීමක් වශයෙන්.

ලක්ෂ උයන පාසලේ තමා ඉගෙනුම ලැබූ කාලයේ ජනාධිපතිවරයකු තබා ඇමැතිවරයකු වන්නවත් හිතේ නොතිබූ බවද ජනාධිපතිතුමා කීවා. 1989 පෙබරවාරි 15දා මන්ත්‍රීවර‍ෙයකු ලෙස පත්වී පොලිස් ආරක්ෂාව යටතේ නිවසට එනවිට තමා පිළිගැනීමට කිසිවකු පැමිණ නොසිටි බව කී ජනාධිපතිතුමා එවකට තිබූ භීෂණය නිසා ජනයා ඒකරාශි වීමට බියවූ බවත් එකතු වූවා නම් වෙඩි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබූ බවත් කීවා. තම මවගේ පපුවට තුවක්කුව තබා පියාගේ තුවක්කුව රැගෙන ගිය ආකාරයද ජනාධිපතිතුමා මතක් කළා.

රෑ නිදාගන්නේ කොතනදැයි ඒ කාලේ කලින් දැන නොසිටි බවත් ඒ ගැන තීරණය කරන්නේ අවසන් මොහොතේ බවත් ජනාධිපතිතුමා කීවා. තමා මරා දැමීමට එල්.ටී.ටී.ඊ. ය ද පස් වරක් උත්සාහ කළ බවත්, එක් වතාවකදීවත් තමන්ට හානි කිරීමට නොහැකි වූ බවත් කී ජනාධිපතිතුමා තමන් මරන්න ආ සියලු දෙනා විනාශ වූ බවත් පෙන්වා දුන්නා.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මෙන්ම ලෝකයේ සෑම රටකින්ම අපට සහයෝගය ලැබෙන බවත්, අප ඉල්ලන ඕනෑම උදව්වක් කිරීමට ලෝකයේ සියලු රටවල් සූදානමින් සිටින බවත් ජනාධිපතිතුමා පැවසුවේ යහපාලන රජයේ ජයග්‍රහණ මතක් කරමින්.

ජාත්‍යන්තර තැපැල් දිනයට පසුගියදා සහභාගි වූ ජනාධිපතිතුමා රජයේ නිලධාරීන්ට විශේෂ අවධාරණයක් කළා. එනම් ජනතාවට සේවය කිරීමේදී කිසිදු චක්‍ර ලේඛයක් හරස්කර නොගන්නා ලෙසයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණා. එහි කැපී පෙනෙන සිදුවීමක් ලෙස පෙනී ගියේ කොළඹින් පිට දුප්පත් ළමයින් දක්ෂතා පෙන්වා තිබීමයි. ගලේවෙල පහළ දිග්ගුල ප්‍රාථමික විද්‍යාලයේ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න දැරිය ඒ අතරින් විශේෂයි . ඇගේ පියා වකුගඩු රෝගයට ගොදුරු වී මිය ගිහින්. මව කුලියට ගඩොල් කපා දුලාංජලීට අධ්‍යාපනය ලබා දුන්නේ ජීවත්වන්නට ද ස්ථිර නිවසක් නොමැතිවයි. ශිෂ්‍යත්වයෙන් ලකුණු 168ක් ගත් මේ දරුවා ගැන අනුවේදනීය වාර්තාව මාධ්‍යවල පළ වුණා.

දුලාංජලි දැරිය පිළිබඳ වාර්තාව මාධ්‍ය මගින් දැනගත් වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම නිලධාරීන්ට නියෝග කළේ මෙම දැරිය වහාම ගෙන්වන ලෙසයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයට පැමිණි දැරියගේ උසස් අධ්‍යාපනය නිමවන තෙක් රුපියල් 3000ක ශිෂ්‍යත්වයක් ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ඇයට අවශ්‍ය පොත්පත් අධ්‍යාපන උපකරණ රාශියක්ද ලබා දුන්නා. දුලාංජලි දැරිය කීවේ ජනාධිපතිතුමා තමනට තෑගි භෝග රැසක් දුන් බවයි. එදින ජනාධිපතිතුමාට ඉතා ප්‍රීතිමත් දිනයක් වුණා.

ජර්මනියේ හා පින්ලන්තයේ සති එකහමාරක නිල සංචාරයකට එක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා හිමිදිරි 2ට යළි දිවයිනට පැමිණියා. හෙල්සින්කි සිට ලන්ඩනයටත් එතැන් සිට කටුනායක කරා පැමිණීමට පැය 22ක් ගත වී තිබුණා. අධික වෙහෙසක් තිබුණද පැය 3ක කෙටි නින්දකින් පසුව අගමැතිවරයා පෙරවරු 10 වන විට අරලියගහ මැදුරට පැමිණියේ සතියේ ආර්ථික කමිටු රැස්වීමට සහභාගී වීමටයි. ඊට පෙර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නවසීලන්ත ආයෝජකයකු වන බ්‍රයන් ස්ටෙප්ලර්ස් මෙන්ම සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙක්ද අගමැතිවරයා හමුවුණා.

“මගේ පියාගේ පරම්පරා හතක් ලංකාවේ හිටපු අයයි. එයාලා ඉපදුණෙත් ලංකාවේ. මම ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ . දැන් පදිංචිය නවසීලන්තයේ. ලංකාවේ ඉන්න බැරක් ඔබාමා ඔබතුමා බව මගේ පියා නිතර කියනවා. ඔබ ගැන පොතපත වෙනත් දේ පරිශීලනය කරනවා. ඔබ හමුවීම විශාල සතුටක්.”

බ්‍රයන් ස්ටෙප්ලර්ස් අගමැතිවරයාට කිව්වා.

“ලංකාවේ ව්‍යාපාර පටන්ගන්න අපි උදවු කරන්නම්. ඔබ ඉදිකරන ත්‍රිකුණාමලය හෝටලය ගැන නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම හා සංචාරක මණ්ඩල ප්‍රධානි කාවන් රත්නායක එක්ක කතා කරන්න” අගමැතිවරයා ස්ටෙප්ලර්ස්ට කිවුවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන ලියවුණු ග්‍රන්ථ 2 ක් රැගෙනවිත් තිබූ ස්ටෙප්ලර්ස් ඒවාට අගමැතිවරයාගේ අත්සන් ලබා ගැනීමටද අමතක කළේ නැහැ.

අනතුරුව තමාට සුබ පැතීමට පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟ අගමැතිවරයා පිළිසඳරේ යෙදුණා.

“පින්ලන්ත සංචාරය ලංකාවට ඉතා වාසිදායක වුණා නේද?” අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසුවා.

ෆින්ලන්තයට නිදහස ලැබී අවුරුදු 100ක් පිරෙන අවස්ථාවේදී අගමැතිතුමාට එහි එන්න ආරාධනා කර තියෙන්නේ. එරටේ අගමැති, කථා නායිකාව, ආරක්ෂක, සෞඛ්‍ය හා ආර්ථික ඇමතිවරු හමු වී සාකච්ඡා කළා. කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම, මුහුදු රළින් විදුලිය නිපදවීමටත් ඔවුන් ලංකාවට උදව් කරාවි” අකිල විරාජ් ඇමැතිවරයා කිවුවා.

“‍පින්ලන්ත ව්‍යවස්ථාවෙන් අපට බොහෝ දේ උගත හැකියි. මේ සංචාරයේදී ලංකාවට ලැබුණු ලොකුම වාසිය වෘත්තිය පුහුණුව හා විභාග සමත් වුණත් නැතත් දරුවෙකු වසර 13ක් අධ්‍යාපනයට යොමු කිරීමේ පින්ලන්ත ක්‍රමය ලංකාවට ලබාදීමට එකඟ වීමයි. එහි නියමු ව්‍යාපෘතිය ලබන ව‍සරේම පටන් ගන්නවා. ඔවුන් ලංකාවට ඇවිත් අපිට පුහුණුව දේවි.” අගමැතිවරයා කිවුවා.

“ඊයේ කැබිනට් එකේ දී නුවර අධිවේගී මාර්ගය ගැන දයාසිරි, අමරවීර, සුසිල් ප්‍රේම්ජයන්ත, චම්පික රණවක ඇමැතිවරු විරුද්ධ වීම පුදුමයක්. අගමැතිතුමා නැති වෙලාව බලලයි ඔවුන් මේ බාල්දිය පෙරලුවේ” රංජන් රාමනායක ඇමැතිවරයා කතා බහකට මුල පිරුවා.

“නුවර අධිවේගය ජනාධිපතිවරණයේදී අපි දුන් පොරොන්දුවක්. ඒක නවත්තන්න බෑ. ජපානය, චීනය, ඉන්දියාව මුදල් දෙන්නෙ ඔය පාරටයි. පාර නැවැත්තුවොත් සල්ලිත් නවතියි. සියලු දෙනා හිටපු කැබිනට් එකේදී සම්මත වූ දෙයක් නවත්තන්න කියන්නෙ කොහොමද?” අගමැතිවරයා උත්තර දුන්නා. මම කට්ටියට හොඳට උත්තර දුන්නා මේ අධිවේගයට විරුද්ධ අය ඔක්කොම ජනාධිපතිවරණයේදී ඔබතුමා පරදවන්න දඟලපු අය බව මම ජනාධිපතිතුමාට කෙළින්ම කිවුවා. ජනාධිපතිතුමා අන්තිමට කිවුවා පාර හදනවා කියලා. 2001 දී අගමැතිතුමා මැලේසියානු උදව් මත මේ පාර හදන්න ගියා. 2005 දී අපි පැරදුණු නිසා ඒක කෙරුණෙ නෑ. මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදී මහනුවර 71000 කින් පැරදුණ නිසා මහනුවර අධිවේගය හැදුවේ නෑ. අධිවේග ඕනෑ දකුණට විතරද කියලා විරුද්ධ වූ ඇමැතිවරුන්ගෙන් මා ඇහුවා. මේකෙ වංචා නෑ. පාර්ලිමේන්තුවේදී සත්‍ය පැහැදිලි කළා” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිවුවා.

“නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව හා බුදු දහම රැකෙන බවට මල්වතු නාහිමි දිනේෂ්ට කී දෙයට ඒකාබද්ධයේ අය පහර ගැසීම ගැන මිනිස්සු විරුද්ධයි” දයා ගමගේ ඇමැතිවරයා කිවුවා.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ තියෙන්නේ යෝජනා පමණයි. මල්වත්ත, අස්ගිරි හා රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන්ට මා පිටපත් පිළි ගන්වලා සත්‍ය පැහැදිලි කළා. උන්වහන්සේලාගේ ප්‍රශ්නයක් නෑ. ඒකාබද්ධය බලයට කෑදරෙන් නැති බිල්ලො මවලා රටේ අනාගතය එක්ක පහත් දේශපාලනයක් කරනවා” කිරිඇල්ල මහතා කිවුවා.

“මහින්ද අණ දීපු හමුදාවේ ඇතැම් අය යුද කාලෙ අපරාධ කළා, ඒ මිනිස්සුන්ගේ ඉඩම් ආපසු දිය යුතුයි කියලා බැසිල් කී කථාව ගැන ඒකාබද්ධෙ සද්දයක් නෑ. ඔය කතාව එජාපෙ එකෙක් කිවුවා නම් සද්දෙ බලන්න තිබුණා. දයා ගමගේ මහතාගේ කතාවට සැවොම එකඟ වුණා.

“මත්තල බදු දීලා ගොඩගන්න හදනකොට විකුණන්න හදනවා කියා ඒකාබද්ධෙ තියපු උද්ඝෝෂණය ප්‍රචණ්ඩ වුණා. දැන් ඔක්කොම ඇතුලේ කිරිඇල්ල මහතා කිවුවා.

උසාවි නියෝග කඩකිරීම, කලහකාරීවීම, රාජ්‍ය දේපළ විනාශ කිරීම, පොලිසියට ප්‍රහාර එල්ල කිරීම,මහින්දගෙ කාලෙ කළානම් වෙඩි තියලා මරනවා. දැන් ඇතුලට ගියා විතරනෙ” අගමැති වික්‍රමසිංහ මහතා කීවා.

“ලිට්රො ගෑස් සභාපතිවරයාට තිබෙන චෝදනා ඇත්ත නම් දැඩි දඬුවම් දෙන්න ඕන. මොකද ඒකාබද්ධය මේවාත් ආණ්ඩුවේ එකට දාන්න හදාවි.” රංජන් රාමනායක මහතා දැඩි ලෙස කිවුවා.

කබීර් සහ මලික් බැඳුම්කර කොමිසමට කැඳවීම හොඳයි. රාජපක්ෂ යුගයේ එහෙම වුණා ද කොමිසම බැඳුම්කර ගැන හෙවීමට වඩා එජාපයට පහර ගහන්න හදපු එකත් බලන්න. එහෙම වුණොත් එජාප පසුපෙළ ලෙස සංවිධානය වෙලා කියන්න ඕන තරම් දේ තියනවා කියලා බදුල්ලේ මන්ත්‍රි විජේසිරි මහතා කිවුවා යැයි දයාගමගේ ඇමැතිවරයා එතනදි කිවුවා.

42 වැනි උදා ගම්මානය “සමුදිගම” ජනතා අයිතියට පැවරීම සඳහා සූරියවැව, වැලිවැවට ගොස් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නව ගම්මානයේ සමරු ඵලකය විවෘත කර වේදිකාව වෙත යාමට සැරසෙන විටම කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැමිණි ජංගම දුකථන පණිවුඩයෙන් ලැබුණේ සුභ ආරංචියක්, එනම් නව උදා ගම්මාන 50ක් තැනීම සඳහා රුපියල් ලක්ෂ 6,000ක පරිත්‍යාගයක් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේදී හමුවුණු දෙතුන්වරකදීම සජිත් ඔහු වෙත දන්වා තිබුණේ මෙවැනි උපකාරයක් ඉන්දියාවෙන් ලැබේ නම් ඉතා අගය කරන බවයි. පවුල් 22කට නිවාස අයිතිය පවරමින්, පවුල් 300කට ‘විසිරි නිවාස ණය’ පිරිනමමින්, පුද්ගලයන් 42 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබා දෙමින් හා රණවිරු පවුල් 35කට ‘විරු සුමිතුරු’ වැඩසටහන යටතේ නිවාස ආධාර පිරිනමමින් වැඩසටහන නිම වෙද්දී සජිත් වටා රොක්ව සිටියේ ‘විරු සුමිතුරු’ නිවාස ආධාර ලැබූ රණවිරුවන්ගේ මාපියන් පිරිසත්, සජිත් ඔවුන්ට කීවේ ‘ඔන්න ඉන්දියාවෙනුත් අපට උදව්වක් කරන්න යනවා. එසේ මෙසේ නෙවෙයි, ලක්ෂ හය දාහක උදව්වක්” කියායි. සජිත් එසේ කියද්දී මවක් කීවේ “අපේ දරුවෝ හමුදාවට බැඳිලා රට වෙනුවෙන් ජීවිතේ පූජා කළා. දුප්පත් අපට හරියට ඉන්න හිටින්න තැනක්වත් නෑ. අපට මෙච්චර කාලෙකට තඹ සත පහක් දෙන්ඩ කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. දුප්පත් අයට සේවය කරන්න සර්ට යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනෑ. ගම්මාන 2,500ක් නෙවෙයි 5,000ක් හදන්න දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න ඕනෑ” කියායි.

පසුගිය බදාදා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ගාලු ගියේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට සහභාගී වීමේ අපේක්ෂාවෙන්.වසර ගණනක සිට අබලන්ව පැවැති නයාපාමුල,උනන්විටිය හරහා නාගොඩ දක්වා දිවෙන මාර්ගය වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 4795ක් වෙන්කර තිබුණා. මේ මාර්ගයේ වැඩ බදාදා දිනයේ ආරම්භ කෙරුණු අතර එදින ම වඳුරඹ, ඇතුමලේ යක්කටුව මාර්ගයේ වැඩ ආරම්භ කිරීම ද සිදුවුණා. ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 3194 ක් තරම් වනවා.

පසුදින වජිර අබේවර්ධන අමාත්‍යවරයා අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග රැසක් විවෘත කළා. ඒ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා මුදල් වෙන්කර තිබුණේ නිල මෙහෙවර වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින්.

සිකුරාදා ගාල්ල කඩවත් සතර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හෙබ වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා ගාල්ල නගරයේ ඉදිකරන ලද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. ගාල්ල නගරයේ පිහිටි පාසල් කිහිපයක ම විදුහල්පතිවරු තම සිසු සිසුවියන්ට ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩාංගණයක් නොමැති බවත් ඒ සඳහා මුදල් ලබාදීමට සිදුව ඇති බවත් කීවා. මේ අවස්ථාවේ අදහස් දක්වමින් වජිර ඇමතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාලු උරුමයේ හා ලෝක උරුමයේ සියලු කොන්දේසි උල්ලංඝනය කරමින් ඉදිවෙද්දී එදා නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත් බවයි. අහිංසක මිනිසකු තාප්පයක් බඳින විට විරුද්ධ වන නිලධාරීන්ට මේ ක්‍රීඩාංගණයට විරුද්ධ වීමට කොන්දක් නොතිබුණු බවත් ඉදිරියේ දී ක්‍රීඩාංගණය කඩා ඉවත් කර වෙනත් තැනක ඉදිකරන බවත් කීවා.

මේ සමඟම කරාපිටිය නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල සම්බන්ධ ගැටලුව ද මතුවුණා. එහි දී ද ඇමතිවරයා කීවේ නිලධාරීන් තම හිතුමනාපයට වැඩ කිරීමෙන් ගැටලු මතුව ඇති බවයි.මේ ඉදිකිරීම් ලබාදී ඇති අයට දැන් ලාභ ලැබිය හැකි බවත් ඉදිරියේ කරාපිටිය නගර සංවර්ධන සැලැස්ම අනුව මේ ගොඩනැගිල්ල යළි කඩා ඉවත් කිරීමට සිදුවන බැවින් එය කඩා ඉවත්කිරීම තවත් කොන්ත්‍රාත් කරුවකුට ලාභ ලැබීමේ අවස්ථාවක් වන බවත් ඇමතිවරයා කීවා.

සෙනසුරාදා උදෑසන නෙලුව හා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන් හි හානියට පත් වූ කුඩා තේවතු හිමියන් සඳහා චෙක් පත් බෙදාදීමේ අවස්ථා දෙකකට සහභාගී වූ ඇමතිවරයා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී හම්බන්තොට වරාය සිද්ධිය විවේචනය කළේ යමකු බෝඩ් අල්ලාගෙන සංවර්ධන ව්‍යාපෘතියකට විරුද්ධ වනවානම් ඒ ව්‍යාපෘතිය කෙසේ හෝ කඩිනමින් සිදුකළ යුතුයැයි කියමින්.

අඟහරුවාදා සවස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවට ගියා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ උප්පැන්න මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සංගමයේ සංවත්සර උත්සවයට සහභාගී වීමටයි. ඉදිරියේ දී රෙජිස්ටාර්වරුන්ගේ උන්නතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ද ඔවුන්ගේ සේවය ඇගයීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියා.

පසුගිය දහවෙනිදා මන්ත්‍රී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් සංවිධානය කළ විවෘත සංවාදයක් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. මේ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. මේ අවස්ථාවට ශ්‍රීලනිපය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, එජාපය නියෝජනය කරමින් කබීර් හසීම්, ටීඑන්ඒ නියෝජනය කරමින් සුමන්තිරන් යන දේශපාලඥයෝ පැමිණ සිටියා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම පැමිණෙන බව දන්වා තිබුණද ඔහු පැමිණ සිටියේ නැහැ. එදින සංවාදයට බඳුන් වීමට තිබූ මාතෘකාව වූයේ ආණ්ඩුවේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශයන් යන්නයි. එජාපය ශ්‍රීලනිපය ජනතාවට පොරොන්දු ඉටු කළාද? නැද්ද? යන්න පිළිබඳව මෙහි දී සාකච්ඡා වුණා. කෙසේ වෙතත් සංවාදය ආරම්භ වීමට පෙර දුමින්ද දිසානායක ඇමතිවරයා සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් අධ්‍යනය කරමින් සිටින අතර විජිත හේරත් සමඟ කතාවකට මැදි වුණා. ”අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයක තියෙනවා, සමෘද්ධි පවුලකට ගෑස් සිලින්ඩරයක් දෙනවා කියලා. ඒ වගේ දේවලූත් අපි පොරොන්දු වෙලානේ..” ඇමතිවරයා කියා සිටියා.

විවෘත සංවාදය ආරම්භ වූ අතර එහි දී ප්‍රධාන මාතෘකාව වූයේ විගණන පනත ප්‍රමාද වීමයි. කෙසේ වෙතත් ශ්‍රීලනිප ලේකම් හා එජාප ලේකම් විගණන පනත පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළා.

සංවාදය මෙහෙයවන නිවේදකයා විජිත හේරත් වෙත අපූරු ප්‍රශ්නයක් යොමු කළා. ”ආණ්ඩුවට විවේචන කළාට ජවිපෙ මේ ගැන මොකුත් කළාද? මම මේක ඇහුව්වේ ජවිපෙ අමාරුවේ දාන්න නෙවෙයි” නිවේදකයා ඇසුවා. ඒක මාව අමාරුවේ වැටෙන එකක් නෙවෙයි. ඔබතුමා මට හොඳ පාස් එකක් දුන්නා, ඩෑෂ් එකක් ගහන්න. අපි නිකන් හිටියේ නැහැ. ආණ්ඩුව මේක කල්දාන නිසා අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට මේක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය කටයුතු කළා.” විජිත හේරත් පිළිතුරු දුන්නා.

මන්ත්‍රී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සැලකිල්ලට ගෙන කරන ලද සමීපක්ෂණයෙන් තවමත් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ජවිපෙ නායක අනුර දිසානායක සමත්වී තිබෙනවා. පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම, අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම, විෂයභාර ඇමතිවරුන්ගෙන් ජනතාවට බලපාන ගැටලූ පිළිබඳව ප්‍රශ්න කිරීම, පාර්ලිමේන්තුවේ විවාද ඉල්ලා සිටීම, ජනතාවට වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම ඇතුළු කටයුතු පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබනවා. මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම පළමු ස්ථානය ලබාගැනීමට ජවිපෙ නායකයා සමත්ව සිටිනවා. එමෙන්ම ජවිපෙ අනෙකුත් මන්ත්‍රීවරු ක්‍රියාකාරීම මන්ත්‍රීවරුන් දස දෙනා අතර රැඳී සිටීමට සමත්ව සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ජපානයට ගියේ තමන්ගේ රෝගී තත්ත්වයනට ප්‍රතිකාර ගැනීම සඳහායි. වෙනදා මෙන් විශාල පිරිසක් සම්බන්ධකර නොගත් එම ගමනට වැඩි ප්‍රසිද්ධියක්ද දුන්නේ නැහැ. ලොහාන් රත්වත්තේ, උදිත ලොකු බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු මෙම ගමනට එක්ව සිටියා. ජපානයේ ප්‍රසිද්ධ දේශීය ආයුර්වේද වෛද්‍යවර‍යකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම අරමුණ වී තිබුණා. එයට දේශපාලන කටයුතු ඇතුළත්කර තිබුණේ ද නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ජපානයේ සිටින ඇතැම් හිතවතුන්ටද මේ ගමන ගැන දැනුම් දී තිබුණේ නෑ.

මහින්ද රාජපක්ෂ මහතා ජපානයට ගොඩබසින විට වෙනදා මෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නියෝජිතයකු එතුමා පිළිගැනීමට පැමිණ සිටියේ නැහැ. සාමාන්‍ය පිළිවෙත මෙරට හිටපු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු හෝ යන විටදී ඔවුන් පිළිගැනීමට ජපාන තානාපති කාර්යාලයේ නියෝජිතයකු පැමිණීමයි. එවිට ප්‍රභූවරයාට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද හිමිවන අතර රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා වූ විශේෂ පර්යන්තයෙන් පිටවී යාමට අවස්ථාව ලැබෙනවා. එසේ වුවද මෙවර මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට කිසිවකු නොපැමිණියේ රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ නිකුත් කළ නියෝගයක් නිසාමයි. එම නියෝගය නම් මෙරට හිටපු රාජ්‍ය නායකයන්, මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් නොදී යන ගමන්වලදී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොදිය යුතු බවයි. මෙවර මහින්ද රාජපක්ෂ මහතා ජපානයට ගියේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරවයි. ඔහුම ජනාධිපති ලෙස නිකුත් කළ නියෝගය අනුව කටයුතු කළ ජපන් තානාපති මහාචාරය ධම්මික ගංගාත් මහතා ඒ ගැන වෙනස් පිළිවෙතක් අනුගමනය කළ යුතු දැයි කොළඹ බලධාරියකුගෙන් විමසා සිටියා. ඔහුට උපදෙස් ලැබුණේ කලින් දී තිබෙන නියෝග අනුව කටයුතු කරන ලෙසයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලැබුණේ නෑ. සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිට වී යාමට ඔවුනට සිදුවුණා. තමා ජනාධිපති ලෙස එබඳු නියෝගයක් දී තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා දැන සිටියේ නෑ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලේකම්වරියකු ලෙස සිටි ඔරනෙලා ඉරේෂා සිල්වා පසුගිය කාලයේ සිටියේ විදේශ ගතවයි. නාමල් ඇතුළු සය දෙනෙකුට එරෙහිව ඇති මුදල් විශුද්ධි කිරීමේ නඩුවක ඇයද විත්තිකාරියක්. උසාවියට ඉදිරිපත් නොවූ ඇයට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගැනීමටද එෆ්.සී.අයි.ඩී ය කටයුතු කළා. පසුව ඇය පසුගියදා ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගත්තා. අධිකරණයෙන් ඇයට ඇප නියම වූ අතර නාමල් ඇතුළු පිරිසට ‍එරෙහි නඩුව විභාගයට ගැනීමට අධිකරණය එදිනම නියෝග කළා.

මේ අතර නාමල් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත්වන්නේ අධිකරණ නියෝග නොතකා කළහකාරී ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන්. ඒ මත්තල ගුවන්තොටුපළට එරෙහිව කළ උද්ඝෝෂණයේදීයි. නාමල්ගේ නඩුව විභාගයට ගැනීමෙන් ඔහු නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමක් සිදුවූයේ එක දිනයක් තුළදීයි.

නව අදහස දක්වන්න