ලබන අවුරුද්දෙ අලි ගණිනවා | දිනමිණ

ලබන අවුරුද්දෙ අලි ගණිනවා

තිරසර සංවර්ධන වනජීවි හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

අලි - මිනිස් ගැටුමට අමතරව මිනිස් - රිළා, මිනිස් - වඳුරු - මොණර ගැටුමක් ද හටගෙන ඇති සමයක තිරසර සංවර්ධන වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැති හමුවට කැඳවීමු. තිරසර සංවර්ධනය, පළාත් සභා අද්දැකීම්, ආණ්ඩු විරෝධි සටන් බුද්ධාගමට හිමිතැන ආදිය පිළිබඳ ද මෙහි සාකච්ඡා කෙරේ.

* සංඝ කතිකාවතට මහනාහිමිවරුන්ගේ අදහස් ඕන
* බුද්ධාගමට හිමි තැන නැතිකරන කතාව පට්ටපල් බොරුවක්
* රාජපක්ෂලා චෝදනා ලැබූ අය නිදැල්ලෙ යැවුවා

තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ධුරය දරපු ඔබට මෑතක සිට බුද්ධ ශාසන ඇමැති ධුරයත් ලැබුණා. ඉතිං මොකද හිතෙන්නේ?

මේක මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. මම ගහකොළට සතා සීපාවට පරිසරයට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මොන අමාත්‍යාංශ ලැබුණත් මා වනජීවී අමාත්‍යාංශයටත් කැමැතියි. මේක අදෘශ‍යමාන හස්තයකින් වුණ දෙයක් විදියටයි මා දකින්නේ. මේ රට වසර පන්දාහක් බුදු දහම ආරක්ෂා වී තිබෙන රටක් කියලනේ කියන්නේ. අතීතයේ ඉඳලා අපි දැකලා තියනවා නායකයෝ උනත් හිතුවක්කාර පාලනයක් ගෙන ගියොත්, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට පටහැනිව ගියොත් එවැනි පාලකයන් විතරක් නෙවෙයි රටත් කඩා වැටෙනවා. මේ තනතුර මා නිහතමානිව බාර ගන්නවා. මගේ තිරසර සංවර්ධන වනජීවී අමාත්‍යාංශයත් බුද්ධ ශාසන අමාත්‍යාංශයත් අතර සබඳතාවයකුත් මා දකිනවා. බුදුරජාණන් වහන්සේ තමයි පරිසරය ගහකොළ සතාසීපාවා සුරකින්න කියලා දුන්නේ. උන්වහන්සේ තමයි පළමු පරිසරවේදියා. වායුගෝලය පස මිනිසා මේ ‍ඔක්කොම එකට බැඳිලා තියනවා. ලෝක නීති ධර්මය කියන්නේ ඒකයි. ජලයට ගහකොළට ජීවයක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් කියවිලා තියනවා. බුදු දහම සමගත් තිරසර කියන වචනය බැඳිලා තියනවා. ඒක ලෝකයට අලුත් වචනයක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතිය එක්කත් බැඳිලා තියනවා. ඒකනේ මිහිඳු මහ රහතන් වහන්සේ කිව්වේ මහරජ ඔබ මේ රාජ්‍යයේ අයිතිකරු නොවේ. බාරකරු කියලා.

කලක් වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය දරපු ඔබ හොඳම මහ ඇමැති ලෙස ජනතා ප්‍රසාදයට පත්වුණා. වර්තමානයේ එවැනි ක්‍රියාශීලී මහ ඇමැතිවරුන් ඇත්තටම දකින්න නැත්තේ ඇයි?

මට අනුන් ගැන කතා කරන්න අයිතියක් නෑ. මම එදා බාර ගත්තේ අභියෝගයක්. මහ ඇමැති ධුරයට තරග කරන්න ගියේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා අස්වෙලා. එදා පළාත් සභා අලුත් සංකල්පයක්. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කැබිනට් ඇමැතිවරයකුට වඩා විශාල සේවයක් මහ ඇමැතිට කරන්න පුළුවන් බව මා එදා දැක්කා. ඒ විතරක් නෙවෙයි, ඒක මම කරලා පෙන්නුවා. එදා දකුණෙත් භීෂණය, උතුරෙත් භීෂණය පාලනය බාර ගත්තා මහ ඇමැතිවරයාට දර්ශනයක් තියෙන්න ඕනෑ. තමන් කරන වැඩපිළිවෙළ පිළිබඳව. ඒ දර්ශනය තමන්ගේ පළාතේ ජනතාවට, ගහකොළට, සතා සීපාවට, පරිසරයට, ජලයට මේ හැම දේටම පොදු වෙන්න ඕනෑ. මහ ඇමැතිවරුන් අරයා හොඳයි මෙයා නරකයි කියලා මට කියන්න බෑ.

ඔබ මහ ඇමැති කාලේ භූමටුල්ලත් පිටරට යැව්වා නේද?

ඔව්. මම තමයි මාලදිවයිනේ පළමු ප්‍රදර්ශනය කළේ. අදත් වයඹ නිෂ්පාදන අලෙවි කරන්න අලෙවිසලක් කුරුණෑගල තියනවා.

ලංකාවේ කැලෑවල ඝනත්වයට වඩා වන අලි සිටින බව නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා පසුගියදා පැවසුවා. ඔබ ඒ අදහස පිළිගන්නවාද?

මට නම් දිවැස් නෑ. එතුමාටවත් මටවත් හරියට කියන්න බෑ ලංකාවේ ඉන්න අලි ප්‍රමාණය. මොකද ඒ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් තවම කරලා නෑ. සමහරු කියනවා වන අලි හාරදාහක් ඉන්නවා කියලා තව සමහරු හත්දාහක් ඉන්නවා කියනවා. කොහොම උනත් අපි ලබන ජනවාරියේ වන අලි සංගණනයක් කරනවා. අලියා රෑකට හැතැක්ම විස්ස තිහ ඇවිදිනවා. ලංකාවේ සියලුම වන කලාප තුළ දවස් දෙක තුනක් ඇතුළත සංගණනයක් කරනවා. එවිට ඇත්ත තත්ත්වය අපිට බලාගන්න පුළුවන් වෙයි.

අපේ රටේ අලි මිනිස් ගැටුම නිරන්තරයෙන් සිදුවෙනවා. අලි මිනිස්සු මරනවා. මිනිස්සු අලි මරනවා. මේ ගැටුම නවත්වන්න ස්ථිර විසඳුමක් නැතිද?

මිනිස් ජීවිතයක වටිනාකම මිල කරන්න බෑ. සත්තුන්ගේ ජීවිතත් ඒ වගේ කියලා මා හිතනවා. ලෝකයේ වඳවීමට ලක්වූ සත්තු කොච්චර ඉන්නවද? එක්සත් ජාතින්ගේ සංවිධානය කියන්නේ තිරසර පොළවක්, භූමියක් ඇති කරන්න කියලයි. ගහකොළ සතා සීපාවත් ඒකට අයත්. අලින‍්ගෙන් වගාවන් බේරගන්න අලුත් සංකල්පයක් අපි ඇති කරලා තියනවා. ඒකට ජනතා සහභාගිත්වයත් ඕනෑ. වගා කරන කාලයට අලි වැට ගහන්න පළාතේ ගොවියන්ටම බාර දෙනවා. අස්වනු නෙළාගත් පසු වෙල් ඉපණැල්ල කන්න අලි වැට ගලවලා අලින්ට ඉඩ හරිනවා. ගමේ පැරණි ක්‍රමය ඒකයි. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. ඌ විවිධ ක්‍රමවලට අලි වැට කඩනවා. මේ නිසා අලි වැට බලාගන්න ජනතා සහායත් ලබාගන්නවා. ඒ වගේම අලි ප්‍රිය නොකරන වගාවන් අපි ඇති කරනවා. තල්, දෙහි, බෝගන්විලා වගේ දේවල් වවන්නත් පියවර ගන්නවා.

කෘෂි නිෂ්පාදනවලින් සියයට විස්සක් පමණ අලි, මොණරු, වඳුරෝ, රිළව්, ඌරෝ, දඬුලේනුන් ආදී සතුන් නිසා අහිමිවෙන බව ඇමැතිවරුන් කීපදෙනෙක්ම කැබිනට් සාකච්ඡාවලදී පවා කීවා. මේවට දෙන පිළියම මොකක් ද?

වන ගහනය සියයට විසි හතේ සිට සියයට තිස් දෙක දක්වා වැඩි කරන්න අපිට වැඩපිළිවෙළක් තියනවා. වන සතුන් වැඩිවී ඇති බව මා පිළිගන්නවා. කුරුණෑගලට, උඩුගම්පොළට ජීවිතේට මොණරෙක් ඇවිත් නෑ. ඒත් දැන් එනවා. ඒ විතරක් නෙවෙයි, මුවොත් එනවා. රිළව් ප්‍රශ්නයක් තමා. මේ සත්තු මරන්න තහනම්. එයාලා ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. මේ ප්‍රශ්නයට කෙටිකාලීන මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම් සොයන්න මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු විශේෂඥයන් පිරිසකගේ කමිටුවක් පත්කරලා තියනවා. ඒ අය ඒකට විසඳුම් දෙයි.

ඒත් ‍මේ වගා හානි කරන සත්තු බෝවීම පාලනය කරන්නවත් වැඩපිළිවෙළක් නැතිද? මිනිස්සු වුණත් උපත් පාලනය කරනවානේ.

මට ඒකට උත්තරයක් තියනවා. ඒකයි මම කලින් කිව්වේ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම් තියනවා කියලා. තහනම් වචන මගෙන් අහන්න එපා. ස්වභාවික පරිසර තුළනය අද බිඳවැටිලා. අද දියබරියෙක් දකිනවාද? ඇයි වකුගඩු රෝග එන්නේ, පොළවට එක්කරන කෘෂි රසායනික නිසා. මේක ස්වභාවධර්මයේ දඬුවමක්.

මේ ගැටලුවලින් මිදෙන්න ඇයි ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ නැත්තේ?

මේකට දේශපාලනඥයන්ට විතරක් ඇඟිල්ල දික්කරලා වැඩක් නෑ. පුරවැසියන්ටත් යුතුකමක් තියනවා. ඒ වගේම ඔබ වැනි මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒකට ජනතා සහාය ඕනෑ.

ඌරා වගා පාලුකරන සතෙක්. ඒ නිසා ඌරා මරන්න නීතියෙන් තහනම් නෑ. ඒත් මරපු ඌරාගේ මස් විකුණන්න නීතියෙන් තහනම් ඇයි මෙවැනි තහනමක්?

මම බුද්ධශාසන ඇමැති, තිරසර සංවර්ධන ඇමැති. ඒ වගේම හොඳ බෞද්ධයෙක්. ඒ නිසා ඒ ප්‍රශ්නයට මට උත්තර දෙන්න බෑ. මගෙන් එවැනි ප්‍රශ්න අහන්නත් එපා.

බැඳුම්කරය නිසා ආණ්ඩුවට කිසියම් කළු පැල්ලමක් එක්වුණා. එය මැකෙන්නත් කලින් රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියෙක් තායිවාන බැංකු ගිණුම්වලට සුද්දයක් දාලා. මේ වගේ සිද්ධීන් යහපාලනයට ගැලපෙනව ද?

එවැනි චෝදනාවලට ලක්වූ අය අත්අඩංගුවට අරන් තියනවා. මේ වගේ රාජපක්ෂ පාලන සමයේ සිදුවුණා ද? නෑ. ඔබට මතක ඇතිනේ දිවිනැඟුම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා එක දවසෙන් නඩු අහලා හිටපු අග විනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක ගෙදර යවපු සිද්ධිය. අපේ පැත්තේ අය වංචා දූෂණ කරලා තියනවානම් රජයක් විදියට අපි ඒ අය රකින්නේ නෑ. දැන් හිටපු මුදල් ඇමැතිට චෝදනාවක් ආවා විතරයි ඉල්ලලා අස්වුණා. තිලක් මාරපන ඇමැතිතුමා ඉල්ලලා අස්වුණා. එයාට චෝදනා නැතිනිසා නැවත පත්කළා.

තායිවාන බැංකු සිද්ධිය පිටුපස එජාපයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් සිටින බවටත් චෝදනාවක් තියනවා. කවුද ඇත්තටම ඒ?

මා දන්නේ නෑ. ඔයාලා තමයි මාධ්‍යකාරයෝ. ඔයාලා තමයි හොයාගන්න ඕනෑ. මට එකක් කියන්න පුළුවන්. අපි වංචා දූෂණ කරපු අය ආරක්ෂා කරන්නේ නෑ. ඒ අය වහන්න අපිට පුළුවන්කමක් නෑ.

මහනාහිමිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සංඝ කතිකාවත සම්මත කරලා දෙන්න කියලයි. ඇයි ඒක නොකරන්නේ?

මහනාහිමිවරුන් එකඟතාවකට පැමිණි පසු ඒක කරනවා. ඒකට මහනාහිමිවරුන්ගේ අදහස් ගන්න ඕනෑ.

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට තිබුණු තැන නැති කරන්න යනවා කියලත් ලොකු ඝෝෂාවක් ඇතැම් භික්ෂූන් වහන්සේලා කරනවා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඒක පට්ටපල් බොරුවක්. කිසිම සත්‍යතාවක් නෑ. බුද්ධාගම බුද්ධ ශාසනය රජයෙන් වෙන් කරන්න බෑ. බුද්ධාගමට පළමු තැන දෙන ගමන් අනෙක් ආගම්වලටත් ගරු කරනවා. ඒ ආගම්වල අයිතීනුත් ආරක්ෂා කරනවා. සංහිඳියාව කියන්නේ ඒකයි. අපේ අදහස හොඳ ප්‍රතිපත්ති තුළ හොඳ පුරවැසියෙක් හැදීම හැම ආගමකටම දහම් පාසල් අනිවාර්ය කරන්න ඕනෑ.

යහපාලන ආණ්ඩුව ආවට පස්සේ පන්සලක පෙරහරක් කරන්නවත් අලියෙක් හොයාගන්න බැරි තත්ත්වයක් ඇවිත් කියලා සමහරු චෝදනා කරනවා නේද?

ඒක බොරු කතාවක්. එහෙමනම් නුවර ඇසළ පෙරහරට අලි අසූ ගානක් ගියේ කොහාමද? අලි ඉන්නවා ඇති වෙන්න.

මත්තල ගුවන් තොටුපළ විකුණනවා කියලා ඊට එරෙහිව ලොකු උද්ඝෝෂණයක් පසුගියදා පැවැත්වුණා. එහිදී මුළු රටම දැක්කා සහකාර පොලිස් අධිකාරිවරයෙක් මාධ්‍යවේදියෙක්ගේ කනට ගහනවා. උද්ඝෝෂකයන් රිමාන්ඩ් කළා මිස පොලිස් නිලධාරියාට එරෙහිව ගත්ත පියවරක් නෑ නේද?

ඒ පිළිබඳ වාර්තාවක් කැඳවලා තියනවා. යහපාලනය නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඔබත් අහන්නේ. දැන් බලන්න අපි හම්බන්තොට ගියාට පස්සේ අපේ මන්ත්‍රීවරුන්ට ගහලා පිස්තෝල අරන් ඇවිත් තර්ජනය කළා. ඉස්සර උද්ඝෝෂකයන් මැරුවා. ඒත් බය නිසා ඒවා මතුකළේ නෑ. ස්වාධීන කොමිසමක් තියනවා. පරීක්ෂණ එයි. ඒවා වළක්වන්න කාටවත් බෑ.

2018 වසර සඳහා අය-වැය විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා එළිදැක්කා. මෙවරත් වැඩිම වියදම ආරක්ෂක අමාත්‍යාංශයට යුද්ධය අවසන් වී තිබියදී ඇයි මෙවැන්නක් සිදුවී තියෙන්නේ.

දේශීය ත්‍රස්ත්‍රවාදයට වඩා ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කේන්ද්‍රයක් බවට ලංකාව පත් වෙන්න පුළුවන්. චීනය, ඉන්දියාව, ලංකාවට පුදුම ඇස් ගැහිල්ලක් තියනවා. අපි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. මැද ඉඳලා හැම කෙනාගෙන්ම උදව් උපකාර ගන්නවා. අපි යුද්ධයකින් වසර තිහක් බැටකෑවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ඉතා වැදගත්.

බලයට ඇවිත් වසර දෙකහමාරක් ගතවනතුරුත් ගොවියාත්, ගොවිතැනත් වළපල්ලට යැවූ මේ ආණ්ඩුව දැන් වගා සංග්‍රාම කරමින් ජනතාව ගොනාට අන්දවන්න හදනවා කියලා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා කියනවා.

ඒක එයාගේ මාමගෙන් අහන්න කියන්න. මහනුවර එක ගමකට කෝටි කීයක් සංවර්ධනය සඳහා වැය කරලා තියනවද කියලා. එදා රාජපක්ෂ රජයෙන් දහයක් වියදම් කළොත් හතරක් ගසා කෑවා. අද එහෙම චෝදනා නෑ.

ගාමිණි බණ්ඩාරනායක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...