සාමසර කන්දෙන් මතුවුණු මැණික් | දිනමිණ

සාමසර කන්දෙන් මතුවුණු මැණික්

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

කඳවුරේ ලයිට් තිබුණත් පොතපතක් හසුරුවාගෙන පාඩම් කරන්න තරම් පරිසරයක් එහි තිබුණේ නැහැ.මේ දරුවා ලකුණු ලබාගත්තේ පාසලේදී ‍ඉගෙන ගත් දෙයකින් තමයි.රෑට ‍කඳවුරේ කොහොමත් සද්ද වැඩියි.සමහරු ටීවී බලනවා,හයියෙන් කතා කරනවා.

පසුගිය වසරේ මැයි 17 වැනිදා අරණායක සාමසර කන්ද නාය ගියේ විශාල ආපදාවක් සිදු කරමිනි.ඒ සමඟම ඒ අවට ප්‍රදේශ ගණනාවක්ම අධි අවදානම් කලාප ලෙසින් නම් කෙරිණි.කඳවුරු සියයකට අධිකසංඛ්‍යාවක අවතැන්වූ පිරිස් රඳවනු ලැබීය.

මේ වනවිට නායයාමට හසුව අවතැන්වූවන් සියල්ල සඳහා නිවාස ඉදිකරදී හමාරය.අධි අවදානම් කලාපවලින් ඉවත්කළ පිරිසට නිවාස ඉදිවෙමින් තිබේ.එම කටයුතු ඉදිරි මාසය තුළ අවසන් කිරීමට යෝජිතය.මෙම ආපදාවෙන් නිවාස දේපළ අහිමිවූ පිරිස වෙනුවෙන් රජයෙන් සැලසුණු සේවාවන් රටේ අනෙකුත් ප්‍රදේශවල ඇතිවූ ආපදාඅවස්ථාවන්ට වඩා ඉහළ බව නොරහසකි.මෙම ව්‍යසනය සිදුවූඅවස්ථාවේ සිට රටේ විවිධ ප්‍රදේශවලින් සහනාධාර ලබාදීමට ජකතාව ඒකරාශි වූවේ එම පිරිසට අස්වැසිල්ලක් ලබාදෙමිනි.

නාය අවදානමට ලක්වූවන් අතර සිටි දූ දරුවන්ගේ අධ්‍යාපනයටදමෙම ආපදා අවස්ථාව ඍජුවම් බලපෑවේය.එහෙත් මෙම ව්‍යසනයට පරාද නොවී ජයගත් දැරියන් දෙදෙනකු පිළිබඳව අපට වාර්තා වූවේ උස්සාපිටිය ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයෙනි.තවමත් කඳවුරු තුළජීවත්වෙමින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් මේ දිරිය දියණියන්දෙදෙනා එම විභාගයෙන් ඉහළම ලකුණු ලබාගැනීමට සමත්ව සිටිති.

එම විද්‍යාලයේ ශිෂ්‍යත්වය සමත් සිසුන් අතරින් වැඩිම ලකුණු ලැබූ සේමිණී උදානධවනී විජේසූරිය හා ආකාශි තරුෂිකා විජේවර්ධන දැරියන් හමුවීමට අපි එහි ගියෙමු.එහිදී අප මුලින්ම හමුවූ උස්සාපිටිය ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ටී.ඩබ්ලිව්.ඒ.කේ.ජයසිංහ මහතා මෙසේ පැවසුවේය.

"2015 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් මෙම පාසලේ මෙලනි විජේසිංහ දැරිය ලකුණු 196 ක් ලබාගෙන ලංකාවෙන්ම පළමුවැනියා වූවා.2014 දී දරුවන් 149 ක් විභාගයට පෙනී සිට එයින් 97.3%ක් සමත් වූවා.එම ප්‍රතිශතය 2015 දී 94.4 යි.2016 දී ශිෂ්‍යත්වය සමත් ප්‍රතිශතය 94.7 ක්.මේ වසරේදී දරුවන් 194 දෙනකු විභාගයට පෙනී සිටියා.එයින් 179 දෙනකුසමත්ව තිබෙනවා.සමස්ත ප්‍රතිශතය 92.26 ක්.මෙවර වැඩිම ලකුණු විදියට ලකුණු 185 ක් ලැබූ සේමිනී විජේසූරිය දරුවාගේ සිට ලකුණු 170 ට වැඩි දරුවන් 15 ක් සිටිනවා.

මෙම පාසල ආරම්භ කර තිබෙන්නේ 1932 වර්ෂයේදීයි.ඒ සිංහල පිරිමි කුමර විද්‍යාලය ලෙසින්.1970 දී අට්ටාපිටිය ශ්‍රී සුමංගල ධර්ම කථික නාහිමියන් සිහිවීමට ශ්‍රී සුමංගල විද්‍යාලය ලෙසින් නම්කර තිබෙනවා.මෙහි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙනවා.මා මේ පාසලේ විදුහල්පති ලෙසින් පත්ව ආවේ 2000 වර්ෂයේදී.ඒ වන විට ළමුන් 317 ක් පමණයි සිටියේ.දැන් දරුවන් 1587 ක් සිටිනවා.අපේ පාසලේ ගුරුවරුන් සංඛ්‍යාව 63 ක්.මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින්ද අප පාසල සිටින්නේ දෙවැනි ස්ථානයේ.

2016 දී සාමසර කන්ද නාය යන විට එම අවතැන්වූවන් වෙනුවෙන් කඳවුරු ඉදිකිරීමට ඉඩකඩ ලබාදීමට සමහර පාසල් ප්‍රතික්ෂේප කළා.නමුත් අපි ඉතාම කැමැත්තෙන් ඊට ඉඩ දුන්නා.ආපදාවට ලක්වූවන්ගෙන් 854 දෙනකු රැදී සිටියේ අප පාසලේ.5 ශ්‍රේණියේ මහ 11 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි අපි කටයුතු කළා.පාසල නිවාඩු කාලයේදීත් ගුරු මණ්ඩලය පැමිණ අවශ්‍ය සහයෝගය නොපැකිලව ලබා දුන්නා.

පාසලේ විභාග ප්‍රතිඵල හැමදාම ඉහළ මට්ටමක තිබෙන්නේ ගුරුවරුන්ගේ විශාල කැපවීම නිසයි.පාසලේ ශිෂ්‍යත්වය සමත් දරුවන් අතර කඳවුරුගතව සිටි සේමිණි දැරිය හා ආකාශි දැරිය ලබාගත් ජයග්‍රහණයන් අනෙකුත් දරුවන්ටත් ආදර්ශයක්."

විදුහල්පතිතුමාගෙන් සමුගත් අප මෙම ශිෂ්‍යත්ව හපනියන් සොයා ගියෙමු.තරමක් නිහඬ දැරියක වන සේමිණි විජේසූරිය දැරිය අප ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීවාය.

"මම ශිෂ්‍යත්ව විභාගය සමත්වූ නිසා ගොඩාක් සතුටින් සිටින්නේ.මම නුවර මහාමායා එකට තමයි යන්න කැමැති.මම හොඳින් ඉගෙන ගෙන ගුරුවරියක් වෙනවා.මගේ අක්කා ගෙදරදී මට ඉංග්‍රීසියි,දෙමළයි උගන්වනවා.මමත් මගේ නංගීට පාඩම් කියලා දෙනවා."

ඊළඟට අප හා කතාබහට එක්වූවේ ආකාශි තරුෂිකා දැරියයි.ඇය සේමිණීට වඩා කටකාරය.

" අයියයි මමයි නිවුන්නු.මම අයියත් එක්ක කූඩාරමේ බිම පැදුරක් එළාගෙන පාඩම් කළා.මම බලාපොරොත්තු වුණේ ලකුණු 170 ක් තියෙයි කියලා.ඒත් මට 171ක් ලැබී තිබෙනවා.මගේ අයියත් මේ පාර ශිෂ්‍යත්වය ලීවා.එයාට ලකුණු 102 යි.අපි දෙන්නා එකටමයි පාඩම් කළේ.මගේ පංතියේ ළමයි 49 ක් හිටියා.මම පංතියේ දහවැනියා වගේ තමයි හැමදාම.මම පින්නවල ජාතික පාසලට යන්න කැමතියි.එ‍තකොට අයියත් එක්කම යන්න පුළුවන්.මම කවදාහරි දොස්තර කෙනෙක් වෙනවා." අනතුරුව අප සේමිණී දැරියගේ පංතිය භාර සුජාතා මාවෙල ගුරුතුමිය සමඟද කතා කළෙමු.

"කඳවුරේ සිටි දරුවන්ගේ දක්ෂතා මතුකර ගැනිමට අපි විවිධ ක්‍රියාකාරකම් කළා.ඒ දරුවන්ට විභාගය සමත්වීමට ධෛර්යය ඇති කළා.විෂයානුබද්ධ පොත්පත් අපේ වියදමින් ගෙනැවිත් දුන්නා.2015 අවුරුද්දේ මේ පාසලෙන් ලංකාවේම පළමුවැනියා වූ දරුවා ඇතුලත් වූවේ මහනුවර මහාමායා විද්‍යාලයටයි.එය සේමිණි දරුවාගේත් මනසේ තැන්පත් වෙලා.එයාත් බලාපොරොත්තු වන්නේ මහාමායාවට ඇතුළත් වෙන්නයි.එයාගේ අභ්‍යාස පොත්වලත් එයා ඒක ලියලා තියෙනවා.

පාසලේ කඳවුරු තිබූ දිනවල 2016 මැයි සිට අගෝස්තු දක්වා පාසල වහලා තිබුණේ.ශිෂ්‍යත්ව ළමුන් 150 ක් විතර ප්‍රධාන ශාලාවට දමාගෙන දුෂ්කර කාර්යයකට අපි මුහුණ දුන්නා.දිනපතා සවස තුන හමාර විතර වෙනතුරු ඉගැන්වූවා.මෙවැනි ආපදා තත්වයක් නොවූවානම් මීට වඩා ඉහළ ලකුණුවලට මේ දරුවන්ට යන්න තිබුණා.පංතිවල ළමයින් කූඩාරම්වල ඉඳලා පාසලට ආවත් කිසිම දරුවෙක් ඔවුන්ට සමච්චල් කරලා හිනා වුණේ නැහැ.ඒ දරුවනුත් මේ අහිංසක ළමයින්ට පුළුවන් තරමින් උදවු කළා."

ඉදිරි අධ්‍යාපනයට උපකාර ඕනෑ ආකාශි හා හිරූෂ දරුවන්ගේ පංතිභාර ගුරුතුමිය වත්සලා තිලකරත්න මහත්මියයි.ඇයද නායයාමේ ඛේදචාචකයට ගොදුරුවූ තැනැත්තියකි.මෙම දරුවන්ගේ ජයග්‍රහණයන් පසුපස රැදී සිටි ඇය තම අත්දැකීම් මෙසේ විස්තර කළාය.

"මමත් නායයාමේ දරුණු ඛේදවාචකයට මුහුණ දුන් කෙනෙක්.අපි නාය යනවා සියසින් දුටුවා.මෙම සිදුවිමත් සමඟ මගේ මානසික තත්වයත් බිඳී තිබුණා.මේ දරුවන් දෙදෙනා මගේ ඥාති දරුවන්ද වෙනවා.මම පළමු වතාවටයි ශිෂ්‍යත්ව පංතියක් භාර ගත්තේ.මේ දරුවන්ගේ මාපියන් ශිෂ්‍යත්ව ප්‍රතිපලවලින් පුදුම සතුටක් ලැබුවා.ඒවගේම දරුවන්ගේ අධ්‍යාපන ඉදිරි කටයුතු කරගන්නේ හොමද කියලා දැන් අඬනවා.

මේ දරුවන්ට හැමදාම උදේට මම පාසලේදී හීන දුන්නා.ලොකු ඉස්කෝලෙකට යන්න,අනාගතයේදී ලස්සන වාහනයක්,නිවාසයක්,හොඳ රස්සාවක් ලබාගන්න හීන දුන්නා.දරුවන් ඒ හීනවලට ආසයි.අපේ පාසලේ දකින්න නැතිදේ දැකගන්න ලොකු පාසලකට යන්න ආසාවෙන් සිටියා.කූඩාරමේ පවා ඉගෙනුම් ආධාරක එල්ලාගෙන පුදුම ශක්තියකින් හා උනන්දුවකින් මේ දරුවන් වැඩ කළා.ඒ මඟපෙන්වීම සාර්ථක වීම මත අද අපිත් සතුටු වෙනවා."

පාසලේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අපි පාසල් නාම පුවරුවේ ඡායාරූප ගත්තෙමු.අප මාධ්‍යවේදීන් බව හඳුනාගත් මාපියන් පිරිසක් අප වටකර ගත්හ.

ක්‍රීඩා පිටියක් ලබා දෙන්න

"සාමසර කන්ද නායයාමෙන් අවතැන්වූ පවුල් සියයක් පමණ මේ අවට පදිංචිවෙලා සිටිනවා.අලුපොත,උස්සාපිටිය,කාරියගම,පල්ලේපමුණුව,වහරක්ගොඩ,කටුගහ,කෝපිවත්ත, නිකපිටිය, පොල්අඹේගොඩවගේ ගම්වල. ඒ අයගේ දරුවන් මේ පාසලේ එක් එක් පංතිවලට ඇතුලත් කරලා සිටිනවා.මේ විදියට අවතැන් වුණු පවුල්වලින් ලබන අවුරුද්දේ පළමුවැනි පංතියට ළමයි 25 ක් විතර අයදුම් කරලා.සමාන්තර පංති හතරට අමතරව තවත් පංතියක් ඇති කරන්න කියලා මාපියන් ඉල්ලනවා.

ඒ වගේම මේ පාසලේ දරුවන්ට ක්‍රීඩා පිට්ටනියක් නැහැ.පාසල ආසන්නයේම පුරන්වූ කුඹුරු යායක් තිබෙනවා.ඒකෙන් කොටසක් හරි ලබාගෙන ක්‍රීඩා පිට්ටනියක් හදලා දෙනවා නම් මේ දරුවෝ ක්‍රීඩාවලිනුත් තව දස්කම් පෙන්වාවි "යනුවෙන් පාස‍ලට ඇති අඩුපාඩු කීපයක්ද පැවසුවේ ඒවාද වාර්තා කරන ලෙස ඉල්ලා සිටිමිනි.

පාසලෙන් නික්මුණු අප තල්ගස්පිටිය පානපුර වත්තට ගියෙමු.ඒ සේමිණීගේ අලුතින් ඉදිවන නිවස පිහිටි ඉඩමයි.එහි පසෙක ඔවුන් තවමත් වෙසෙන කූඩාරමය.එහිදී අපට හමුවූ සේමිණීගේ පියා වන ඩබ්ලිවි.ඒ.ඩබ්ලිව්.විජේසූරිය මහතා මෙසේ කීවේය.

"අපි පදිංචිවෙලා හිටියේ අරණායක දෙයියන්වල.මම පිංතාරු කරුවෙක් හැටියට රැකියාව කරනවා.2016 වර්ෂයේ මැයි මාසයේ සාමසර කන්ද නාය ගියා.අප පදිංචිව සිටි ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස නම්කර නිවාසවලින් ඉවත් කළා.2014 වර්ෂයේදීත් මෙලෙසම අපිට ඉවත්වීමට සිදුවුණත් නැවතත් අපි පදිංචි වුණා.

දැන් නව නිවසක් ඉදිකිරීමට මෙම ඉඩමෙන් පර්චස් 15 ක් අගෝස්තු හය වැනිදා ලැබුණා.නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ දොළහක් රජයෙන් ලැබෙනවා.මේ වන විට රුපියල් ලක්ෂ හයක් ලැබුණා.අපි ඒ මුදලෙන් කාමරයක් හා තුස්සියක වැඩ ඉවර කළා.මේවන විට මට ශ්‍රමය හැර බඩුවලටරුපියල් ලක්ෂ හත හමාරක් විතර වියදම්වෙලා තිබෙනවා.මේ මාසයේ 20 වැනිදා වන විට වැඩ අවසන්කර නිවසේ පදිංචි වන ලෙස දක්වා තිබෙනවා.දුව ශිෂ්‍යත්ව විභාගයට ලියන්න ගියේ මේ කූඩාරමේ ඉඳලයි." යනුවෙන් කීවේය.

දුෂ්කරතා මැද දරුවෝ ජය ගත්තා

"කඳවුරේ ලයිට් තිබුණත් පොතපතක් හසුරුවාගෙන පාඩම් කරන්න තරම් පරිසරයක් එහි තිබුණේ නැහැ.මේ දරුවා ලකුණු ලබාගත්තේ පාසලේදී ‍ඉගෙන ගත් දෙයකින් තමයි.රෑට ‍කඳවුරේ කොහොමත් සද්ද වැඩියි.සමහරු ටීවී බලනවා,හයියෙන් කතා කරනවා.දුව රෑ හත හමාර වෙනකල් පාඩම් කරලා නිදාගත්තා. රෑ දහය හමාරට විතර ඇහැරලා පැය දෙක තුනක් පාසලේ පාඩම් වැඩ කළා.දුවගේ ආසාව තිබුණේ නුවර මහාමායාවට යන්න.එයා සටහන් පොත්වලත් පිට කවරයේ ඒ ගැන ලියා තිබෙනවා"

සේමිණීගේ මව ඩී.පී.එස්.පත්මකුමාරි මහත්මියද අප හා කතාබහට එක්වෙමින් පැවසුවාය. ඔවුන්ගෙත් සමුගත් අප උස්සාපිටිය පොදු ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති කඳවුරට ගියෙමු.ක්‍රීඩා පිටිය පුරා අටවා තිබූ කූඩාරම්වලින් දැන් ඇත්තේ දහයක් පමණය.ආකාශිගේ මව වන ඩබ්ලිව්.එන්.එස්.අනෝජා ප්‍රේමරත්න මහත්මිය එහිදී අපට හමුවිය.

"අපි පදිංචිවෙලා හිටියේ පල්ලේබාගේ බෙලිගොඩ ගමේ.නාය ගියේ අපේ නිවාසවලට පහළින් පල්ලේබාගේ කොටසයි.අපිත් අධි අවදානම් කියලා ඉඩම්වලින් ඉවත් කළාඋස්සාපිටිය සහන කඳවුරට ආවේ ඉන් පසුවයි.මගේ ලොකු දුව මයුරපාද විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.මේ අකාශි හා හිරූෂ මධුෂාන් දෙන්නා නිවුන්නු.මගේ මහත්තයාට ස්ථිර රැකියාවක් නැහැ.මමත් රැකියාවක් කරන්නේ නැහැ.මහත්තයා ඉදිකිරීම් වැඩපොලවල අත්වැඩ කරලා ලැබෙන ආදායමෙන් තමයි මේ හැමදේම කරන්නේ.

කඳවුරු ජීවිතේ ඇත්තටම දුෂ්කරයි.මේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය ලංවෙන කොට ඒ අයට පාඩම් කරන්න පහසුකම් නැති නිසා මම හොඳටම දුක් වුණා.උදේ අට වෙනකොට කූඩාරමට අවුව වැටෙනවා.හවස හතර පහ වෙනකල් මේ පිටිටනියට හොඳටම අවුව.දරුවෝ රෑ අට නවය වෙනකොට නිදා ගත්තා.පහුවදා උදෙන්ම ඇහැරලා පාසල් යන්න සූදානම් වුණා.එදිනෙදා පංතියේ කළ වැඩවලින් ලබාගත් දැනුමින් තමයි මේ ප්‍රතිළුලය ලැබුවේ.

චීන රජයේ ආධාරයෙන් ඉදිවෙන තට්ටු නිවාසවලින් එකක් අපිටත් ලැබෙනවා.එතකල් මීට වඩා පහසුකම් තිබෙන තැනකට යන්න කීවත් අපි ගියේ නැහැ.මෙතැන ඉඳලා දරුවන්ට පාසලට පයින්ම යන්න පුළුවන් නිසා" යැයි කීවාය.

උස්සාපිටිය කඳවුරෙන් පිටතට එන විටම අපගේ නෙත ගැටුණේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සවිකර ඇති පුවරුවකි.එහි මෙසේ සඳහන් විය."සෑම දරුවෙකුම අපේය.අප සැමගේම වටිකා සම්පත දරුවන්ය.ඔවුන් සුරකිමු."

දරුවන් ගැන අපටත් සතුටුයි

අප අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්.ෆයිසාල් මහතා හමුවීමු. "සාමසර කන්ද නායයාමෙන් විපතට පත්වූවන්ට ඉතාම කෙටි කාලයක් තුළ අලුත් නිවාස ලබාදී පදිංචි කරවන්න අපට පුළුවන් වුණා . දැනට උස්සාපිටිය කඳවුරේ සිටින්නේ පවුල් නවයක් පමණයි.චීන රජයේ දායකත්වයෙන් ඉදිවන නිවාස සංකීර්ණයේ ඔවුන් ලබන මාසයේදී පදිංචි කරවනවා.එතෙක් මීට වඩා පහසුකම් සහිත ස්ථානයකට ඔවුන්ව යොමු කළත් ඔවුන් මෙහි රැඳී සිටින්නේ ඔවුන්ගේම කැමැත්තෙන්.මෙහි රැඳී සිටීම දරුවන් පාසලට යැවීමට පහසුවක් බවයි ඔවුන් පවසන්නේ.මේ පිරිස තුන් වතාවක්ම ලිඛිතව එලෙස ඉල්ලා සිටි නිසා අපි ඊට ඉඩදී තිබෙනවා. රජයක් විදියට කෙනෙකුගේ බලාපොරොත්තු සියයට සියයක්ම ඉෂ්ඨ කරන්න බැහැ.රජයෙන් ලබාදෙන සහනවලින් උපරිම ප්‍රයෝජන ගන්න හැකියාව තිබෙන්න ඕනෑ.විජේසූරිය මහතා ඊට හොඳම උදාහරණයක්.ඔහු මේ වන විට ලබාදුන් මුදලින් කාමරයක් හා මුළුතැන්ගෙයි ඉදිකරීම් බොහෝ දුරට අවසන් කරලා.මේ මාසයේ තිස් වැනිදාට පෙර අවම වශයෙන් කාමරයක් හා මුළුතැන්ගෙය හදාගෙන පදිංචි වෙන්න ඕනෑ.මේ නිවාසවලට යන මාර්ග කොන්ක්‍රීට් කරන්න මුදල් තිබෙනවා.කොන්ක්‍රීට් දැමුවාම දින ගණනාවක් පාර වහන්න වෙන නිසයි එය ප්‍රමාද කළේ.

ශිෂ්‍යත්වය හොඳින් සමත්වූ මේ දරුවන් වෙනුවෙන් මාසිකව ශිෂ්‍යත්වයක් ලබාදීමට විදේශීය කණ්ඩායමක් සමඟ සාකචිඡා කළා.සමෘද්ධි වැඩසටහන හරහාද උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නායයාමේ ආපදා අවස්ථාවේ සිට මේ දක්වාද කෑගල්ල දිසාපතිතුමා අවශ්‍ය උපදෙස් අපට ලබාදෙනවා.සියලුම රාජ්‍ය ආයතන ආපදා අවස්ථාවේදී එකතුවී ක්‍රියාකළා.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් සහයෝගය නිසා කිසිම බෝවන රෝගියකු පිළිබඳව එකම කඳවුරකින්වත් වාර්තා වූවේ නැහැ.මනෝ වෛද්‍ය උපදේශකවරු සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සමඟ මෙම කාර්යාලයේ නිලධාරින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස මෙම පිරිස යථා තත්වයට පත්වෙන තුරුකිසිම දීමනාවක් බලාපොරොත්තු නොවී උපරිම කැපවීමකින් ක්‍රියා කළා.එම කැපවීමේ ප්‍රතිළුලයක් ලෙස මෙම දරුවන්ගේ ජයග්‍රහනයන්ද මම දකිනවා.මෙම විභාග ජය පිළිබඳව අපිත් ඉහළින්ම සතුටු වෙනවා"යනුවෙන් ඒ මහතා පැවසුවේය.

"සෑම දරුවෙකුම අපේය.අප හැමගේම වටිනා සම්පත දරුවන්ය.ඔවුන් සුරකිමු" උස්සාපිටිය කඳවුර තුළදී දුටු පාඨය යළි මට මෙනෙහි විය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...