මිනිස්සුත් ඉවරයි බොරලුත් ඉවරයි | දිනමිණ

මිනිස්සුත් ඉවරයි බොරලුත් ඉවරයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසිවල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීම්ක් සිදු කිරීමෙන් අනතුරුව පස් යොදා පිරිවිය යුතුය. එසේ වුවද නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙම හොර ජාවාරම් කරුවන් කිසිදු බියකින් තොරව සිදු කරගෙන යයි.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති විලුක ගම්මානයේ සහ 615 ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති සින්නනාගවිල්ලුව යන ගම්මානවල දිගින් දිගටම සිදු කරනු ලබන නීති විරෝධි මහා පරිමාණ බොරළු ජාවාරමක් හේතුවෙන් ප්‍රදේශය පුරාවට මේ වන විට උග්‍ර පාරිසරික ගැටලු රැසක් උද්ගතව ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් විලුක සහ සින්නනාගවිල්ලුව යන ගම්මානවල වටිනාකමින් ඉහළ බොරලු නිධි ප්‍රදේශයේ පිහිටා තිබීම එහි ඇති විශේෂත්වයකි. මෙකී බොරලු කැණීම් කිරීම සදහා 1971 වර්ෂයේ සිට මේ දක්වා දේශපාලනඥයින්ගේ නොමද සහාය ඇතිව පරිපාලන අංශයේ හොර සක්විත්තන්ගේ මගපෙන්වීමෙන් මෙකී ඉඩම් සදහා ව්‍යාජ බලපත්‍ර සකසමින් බොරලු ජාවාරම්කරුවන් දිගින් දිගටම මහා පරිමාණයෙන් බොරලු කැණීම් සිදු කරගෙන යන බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

අනූ නව අවුරුදු බදු බලපත්‍ර යටතේ සහ වාර්ෂික බදු බලපත්‍ර යටතේ මෙකී ඉඩම් සංවර්ධනය කරගෙන යන මුවාවෙන් අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් බොරලු ජාවාරම්කරුවන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් බොරලුකැණීම් කිරීම සිදු කරන්නේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දෙන බල පත්‍ර නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝණය වන ආකාරයටය.

වසර ගණනාවක සිට නොනවත්වා පවත්වාගෙන එන මේ මහා පරිමාණ බොරලු ජාවාරම තුළින් මේ වන විට උග්‍ර පාරිසරික ගැටලු රැසක් පැනනැගී තිබේ.

පරිසර ආඥා පනතට පටහැනිව සිදුකරගෙන ගොස් ඇති මේ මහා පරිමාණ බොරලු ජාවාරම සඳහා මේ වන විට පොළව පිහිටි මට්ටමේ සිට අඩි විස්සක්, තිහත් අතර ප්‍රමාණයක් ගැඹුරට කැණීම් කර බොරලු ලබා ගෙන ඇත. බොරලු ගැනීම නිසා ප්‍රදේශය පුරාවට විශාල ප්‍රමාණයේ වළවල් සෑදීම හේතුවෙන් මිනිස් ජීවිත පවා අහිමිව ගොස් ඇති බවද කියති.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසිවල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීම්ක් සිදු කිරීමෙන් අනතුරුව පස් යොදා පිරිවිය යුතුය. එසේ වුවද නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙම හොර ජාවාරම් කරුවන් කිසිදු බියකින් තොරව සිදු කරගෙන යයි. මේ වන විට අක්කර සීයයකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක නීති විරෝධි බොරලු ජාවාරම සිදුකළද අද වන තෙක් එහි නැවත පස් පිරවීමක් හෝ එසේත් නොමැතිනම් එම කැණිම් කරන ලද වළවල් තුළ වන වගා වැනි පාරිසරික ආරක්ෂිත ක්‍රමසම්පාදනයක් නොකර මුදල් පමණක් උපයීම පුදුමය දනවන්ක්ව තිබේ.

මෙම බොරලු ජාවාරම් කරුවන්ට දේශපාලනඥයින්ගේ මෙන්ම පරිපාලන අංශයේද නොමද සහය ලැබෙන බව ජනතාව පවසයි. . මේ හේතුව නිසාවෙන් මේ වන විටත් අක්කර 100ට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුව තිබියදීත් එයට කිසිදු බලධාරියකු නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රැකීම බරපතළ ගැටලුවකි.

රටේ පවතින ඉඩම් අර්බුදයට තිරසාර විසඳුමක් නොලබා කඩපිල්වල, පදික වේදිකාවල ජීවිකාව ගත කරන අසරණ ජනතාවට අත්ව ඇති ඉරණම සුළුපටු නැත. එවන් අසරණ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයට විසදුමක් ලෙස මෙවන් සංහාර සිදුවන රජය සතු ඉඩම් කැබිලි කර ජනසතු කරනවා. රටේ ඉඩම් ගැටලුව විසඳනු වෙනුවට ජවාරම්කරුවන්ගේ පසුම්බිය පමණක් පුරවාලීම අනුමත කළ හැකිද යන්න ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සින්නනාගවිල්ලුව පදිංචි ජයලත් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“අපි මේ සිද්ධිය පැහැදිලිවම දන්නවා, අපි මේ වෙද්දි නිලධාරින්ට දැනුම් දීලා තියෙනවා. අපි දන්න විදියටත් අපිට තේරෙන විදියටත් අපි හිතන්නෙ මේකට නිලධාරි සම්බන්ධ වෙලා තමයි ලොකුවට මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ කියලා. මොකද දැන් මේ අය තමන්ගෙ ඉඩම ගොවිතැන් කරන්න විදියක් නැහැ මේ ඉඩමෙ බොරළු ඉවත් කරලා පස් පුරවලා නැවත ගොවිතැන් කරනවා කියලා තමයි බොරළු කපන්න ගන්නෙ. හැබැයි එහෙම පස් පුරවලා ගොවිතැන් කරපු කිසිම බොරළු වළක් නැහැ මේ වෙනකම් දැන් අවුරුදු ගාණක් තිස්සෙ මේ බොරළු ජාවාරම කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි ගිහිල්ලා බලන ඕනෙම නිලධාරියෙකුට වටහා ගන්න පුළුවන් මේ බොරළු කපන හැම වළකම ඊට උඩින් තියෙන සෑම ඉඩමකම පොල්, කජු වගේ වගාවල් කෙරෙනවා ඒත් එහෙනම් බොරළු කියලා වගා නොකර ඉන්න එපායැයි. අපි මේ ගැන ප්‍රාදේශීය ලේකම්, දිසාපති දැනුවත් කරලා තියෙනවා එයාලා මේක නවත්වන බවට පොරොන්දු වෙලා තියෙනවා. ජාවාරම නැවැත්තුවත් වැඩක් නැහැ මේ හාරලා තියෙන කිසිම වළක් වහන්නෙ නැති එක තමා ගැටලුව මේ වෙද්දි අක්කර සියය ඉක්මවා කපලා තියෙනවා. අපි අහද්දි කියන්නෙ ඒ වළවල් නැවත පුරවනවා කියලා නමුත් එහෙම දෙයක් මේ වෙනකම් කවමදාවත් වෙලා නැහැ. එහෙම පුරවන්න මම හිතන්නෙ තවත් පළාතකින් මේ වගේම විනාශයක් කරලා පස් ගෙනාවොත් පුරවන්න පුළුවන් කියලා. මේ ගැන කිසිම බළධාරියෙක් එන්නෙ නැහැ සොයා බලන්න ආවත් මගදිම ගතමනාව අරගෙන අනුමැතිය දීලා යන එක තමයි කරන්නෙ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම සහකාර ප්‍රදේශීය ලේකම් එස්.පී.වීරසේකර මහතා පවසා සිටියේ.

මෙහෙමයි ඔය කියන කාරණය මට පැහැදිලි නැවත ප්‍රතිපූර්ණය කරනවා කියන කාරණය නෙමෙයි ඒ ගොල්ලො දැන් ව්‍යාපෘති වාර්තා හරහා බොරළු කැණීමට ඉල්ලීම් කරද්දි එයාලා යෝජනා කරනවා කැණීම් අවසන් වූ පසු ඒ භූමියෙ නැවත ශාක හෝ වන වගාවකට යන කාරණය තමා සදහන් කරන්නෙ. අපි ඒ කොන්දේසියට යටත්ව තමයි ඒ බොරළු කැණීමට දිස්ත්‍රික් බොරලු කමිටුවේදී දිසාපතිතුමාගෙ අනුමැතිය ලැබෙන්නෙ. නමුත් ඔය කියන කැණීම් සිද්ධ වෙලා තියෙන්නෙ කිසිම ආයතනයක අනුමැතිය නැතිව කියන එක පැහැදිලියි මොකද ඒ වගේ කැණීම් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබද අපි අවශ්‍ය පාර්ශ්වයන් දැනුවත් කර තියෙනවා. හැබැයි අවිධිමත් ආකාරයෙන් කැණීම් සිදුකරගෙන යනවා කැණීම්වලින් පසුව නැවත නඩත්තු නොකිරීම වැනි ලොකු ගැටලුවක් තියෙනවා.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම අතිරේක දිසාපති පුත්තලම වැඩබලන ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.සී.එම්.කේ. වන්නිනායක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

සින්නනාගවිල්ලුව වසම කියන එක මම හරියටම දන්නෙ නැහැ. එක බලපත්‍රයක් තියෙනවා මේ කොට්ඨාසයේ ඒක තියෙන්නෙ. රජයෙ ඉඩමක, අපි වාර්ෂික ඉඩම් බල පත්‍රයක් පළාත් ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතියෙන් දීලා තියෙනවා. රජයට අක්කරයකින් රුපියල් පනස්දහස ගාණෙ රජයෙ ගාස්තු අය කරලා අපි පළාත් සභාවට යවලා තියෙනවා. ඒකෙ මට මතක හැටියට පර්චස් හතලිහක් හෝ හැටකට දිස්ත්‍රික් බොරලු කමිටුව හරහා කැණීම් බලපත්‍රයක් දීලා තියෙනවා. ඒකෙ කාල සීමාවනම් මට මතක නැහැ හරියට ඒකෙ කොන්දේසී උල්ලංඝනයක් වෙලා තියෙනවානම් අනිවාර්යයෙන්ම අපි නීත්‍යානුකූල කටයුතු කරනවා. එකක් තමයි කොන්දේසි කඩවෙලා තියෙනවානම් අපි වහාම නෛතික ක්‍රියා මාර්ග ගන්නවා දෙවැනි කාරණය තමා ඔය පුද්ගලයාගේ ව්‍යාපෘති වාර්තාවට අනුව අපිට සොයා බැලීමක් කරන්න සිද්ධ වෙනවා. තෙවන කාරණය තමා අපි නැවත එයාට බලපත්‍ර නිකුත් කීරීමක් සිද්ධ වෙන්නෙ නැහැ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු හර්ෂ සිරිවර්ධන මහතාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසුකදී ඔහු පවසා සිටියේ

ඔය නැවත පස් පුරවනවා කියන කාරණය සීයට සීයක්ම අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද බොරලු කපා නැවත පුරවනවා කියන්නෙ ඒ වළවල් පුරවන්න පාවිචචි කරන්න වෙන්නෙ පස් හරි බොරලු වැනි දෙයක් එතකොට තවත් කොහෙ හරි කැණීමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් බොරලු කඳු වගේ ප්‍රදේශ තියෙනවනම් යම් මට්ටමකට කපලා ඉවර වෙලා ඉඩම සාම­ාන්‍යයෙන් යථා තත්ත්වයට කියන එක තමා අපේ පනත හැටියට තියෙන්නෙ. සාමානයෙන් කියන්න ඕනෙ ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ඉඩම සකස් කිරීම තමා ප්‍රධාන අරමුණ මම මෑත කාලේ ඔය කියන පැත්ත අධීක්ෂණයක් කරලත් නැහැ. මොකද දැන් මම කුරුණෑගල කාර්යාලයෙ නෙමේ ඉන්නෙ ගම්පහ කාර්යාලයෙ නිසා. තව දෙයක් අපි බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවානම් අනිවාර්යෙන්ම බලපත්‍ර ලාභියා විසින් අප වෙත සපයලා තියෙන ව්‍යාපෘති වාර්තාවට අනුව අපිත් සමග ගිවිසුමකට ඇවිත් තියෙනවා. නැවත මේවා යථාතත්ත්වයට පත්කරනවා කියන කාරණය මත අපි ඇපකරයක් තියා ගන්නවා. ඒ ඇපකරය අපි නිදහස් කරන්නෙ අපි සෑහීමකට පත්වෙන ආකාරයට කටයුතු සිදුකරලා තියෙනවානම් විතරයි.

වනාතවිල්ලුව කේ.ප්‍රියංකර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...