මෙන්න තොත්ත බබාලා | දිනමිණ

මෙන්න තොත්ත බබාලා

රාජපක්ෂවරුන්ට හා රාජපක්ෂ හෙංචයියන්ට එරෙහිව වචනයක් කීමට නොව සිතීමට පවා එදා හම්බන්තොටදී රාජපක්ෂ රෙජිමය ඉඩ දුන්නේ නැත. එහෙත් දශකයක පාලනයක් නිමා කරමින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන වත්මන් යහපාලන යුගයේදී අධිකරණය හෝ පොලිසියට බිය වීමට වාසුලාට, ජී.එල්. පීරිස්ලාට හේතුවක් නැත.

“සිංහලයන්ට යමක් මතක තියෙන්නේ සති දෙකයි” කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කීවේ සිංහලයන් ගැන ඔහුට තිබුණ දීර්ඝ කාලීන නිරීක්ෂණය හා අත්දැකීම් පදනම් කොට ගෙන විය හැකිය. ප්‍රභාකරන් මේ කතාව කිව්වේ කුමන අරමුණකින් වුවත් ඒ කතාවට නම් ප්‍රභාකරන්ගේ කටේ මසුරන් දාන්න හිතෙන්නේ අද ඒකාබද්ධ විපක්ෂයේ සහ අලුතින් බිහි වූ පොහොට්ටු පක්ෂයේ නායකයන් කියන කරන කතා විමසා බලන විටය.

අද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම,වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සේම පොහොට්ටු පක්ෂයේ නායකයායැයි කියන මහාචාර්ය ජී.එල්. පීරිස් ද කතා කරන්නේ අද ඊයේ උපන්නා සේය. ගමේ ගොඩේ භාෂාවෙන් ප්‍රකාශ කළහොත් ‘බබ්බු’ මෙන්ය.

මේ දිනවල වාසුලාගේ, ඩලස්ලාගෙ අලුත් බබ්බු කතා අපට උදේ සවස අසන්නට ලැබෙන්නේ නාමල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ කල්ලිය රාජපක්ෂවරුන්ගේ නින්දගම වන හම්බන්තොටදී පසුගිය 06 වැනිදා ඇල්ලු ජල්ලිය සමඟ ඇති වූ කලබැගෑනිය හමුවේය.

එදා නාමල් ඇතුළු කල්ලිය හම්බන්තොටදී ඇල්ලු ජල්ලිය ගැන මුළු රටම දන්නා නිසා ඒ ගැන නොව වාසු, ජී.ඇල් ඇතුළු බබා කල්ලිය සුපුරුදු පරිදි ජනතාව මුලා කිරීමට නඟන අදෝනාව ගැන අප සමාජයක් ලෙස වඩාත් සංවේදීව විමසා බැලිය යුතුය. මන්ද, අද වාසුලා, ජී.එල්ලා මේ තොත්ත බබාලා සේ ජනතාව හමුවට පැමිණ හඬා වැටෙන්නේ ජනතාවට තිබෙන ආදරය නිසා නොව ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත් කළ රෙජිමය යළි ඔසවා තැබීමට බව ඉතාම පැහැදිලි හෙයිනි. රාජපක්ෂ පාලන සමයේ ජනතාව මුහුණ දුන් සියලු ආකාරයේ රාජ්‍ය මර්දනයන් හමුවේ ගොළුවන්, බිහිරන්, අන්ධයන් සේ සිටිමින් රෙජිමය ආරක්ෂා කළ වාසුලාට, ජී.එල්. පීරිස්ලාට යහපාලනිකයන් විසින් දිවි හිමියෙන් බිහි කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිත කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු හෙයිනි.

වාසුගේ වසල කතා

“ඒ නීති අද බල්ලට ගිහිල්ලා. උද්ඝෝෂණය කිරීමට එරෙහිව අධිකරණයෙන් වාර්තා නියෝගයක් ගෙන තිබුණා. ඒ නියෝගයට ජනතාව අවනත වුණේ නැහැ. ඒකට තිබෙන පිළිතුර ඒ.එස්.පී මහත්තයාගේ කම්මුල් පාර නොවෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කම්මුල් පාරක් ගහන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. උසාවියේ වාරණය කඩලා නම් ඒකට හිරේ යන්න ලෑස්තියි. අපි හිරේ යන්න බලාගෙන තමයි ආණ්ඩුවට විරෝධය පළ කරන්නේ. ආණ්ඩුවේ හෝ අධිකරණයේ වාර්තාවලටවත් අපේ විරෝධය නතර කරන්න බැරි බව අපි නිර්භීතව ප්‍රකාශ කරනවා. මේ කියාපාන්නේ ආණ්ඩුවේ ඒකාධිපති පාලනයේ ලක්ෂණයි. පොලිසිය එදා ත්‍රස්තවාදීන් වාගේ ක්‍රියා කළේ ආණ්ඩුවේ උපදෙස් අනුව බවත් අපි දන්නවා. කතානායකතුමාත්, ආණ්ඩුවත්, දෙමළ ජාතික සන්ධානයත්, ජවිපෙත් එකතුවී පාර්ලිමේන්තුව වැසිකිළියක් බවට පත් කරලා ඉවරයි”

මේ කතා කරන්නේ කවුද ? කුමන යුගයක් ගැනදැයි කියා ඇතැම් විට පාඨක ඔබට සිතෙන්න පුළුවන. මන්ද මේ මොහොතේ රටේ ඉහත සඳහන් කළ කිසිවක් සිදුනොවන බව ඇස් පනාපිටම පෙනී යන නිසාය. ඉහත සඳහන් චෝදනා කිසිවක් වත්මන් යහපාලන ආණ්ඩුවට අදාළ නොවන නිසාය.

එහෙත් මේ චෝදනා එල්ල වූ දශකයකට ආසන්න යුගයක් මේ භූමියේ තිබුණේය. ඒ 2005-2015 මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් රට පාලනය කළ යුගයයි. වතුර ඉල්ලා පාරට බැස්ස වැලිවේරිය රතුපස්වල ජනතාවට යුද හමුදාව ලවා වෙඩි තබමින් එලවා එලවා පහර දුන්නේද, අවසානයේ අහිංසක මිනිස් ජීවිත තුනක් බිල්ලට ගත්තේද මේ යුගයේදීය. සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව පාරට බැස්ස කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට පොලිසිය සහ හමුදාව එක්ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් රොෂාන් චානක නම් අහිංසක තරුණයා බිලි ගත්තේද, ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පාරට බැස්ස හලාවත ධීවරයන්ගෙන් බිල්ලක් ගත්තේ ද මේ යුගයේදීය. තවත් අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත - කුගන් බිලි ගත්තේ මේ යුගයේදීය. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල් වීරවංශ නම් රාජපක්ෂ කසකරුවා පොලිස් ප්‍රධානියකුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කළේ මේ යුගයේදීය. වසීම් තාජුඩීන් නම් රගර් ක්‍රීඩකයාගේ ඝාතනය රිය අනතුරක් ලෙස නම් කර වළලා දැමීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් යොමු වූයේ මේ යුගයේදීය. රාජපක්ෂ යුගයේ ප්‍රබලයෙක් වූ ඇමැති මර්වින් සිල්වාගේ පුතා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ කන පැළුවේ මේ යුගයේදීය. කොටින්ම කිවහොත් ශ්‍රී ලංකා පොලිසිය රාජපක්ෂ පවුලේ හා අතේවාසිකයන්ගේ ගුබ්බෑයමක් වුණේ මේ යුගයේදීය.

ඉහත සඳහන් කළ ප්‍රකාශය පසුගියදා (09) කොළඹ ඇන්.එම්.පෙරේරා කේන්ද්‍රයේදී කියන්නේ ඉහත සඳහන් කළ සකල විධ දේ සිදු වූ යුගයේ ආණ්ඩුවේ ලොන්ඩරියේ පූර්ණ කාලීනයෙකු වශයෙන් සේවය කරමින් තවමත් ඒ ගඳ රෙදිපිළි සෝදමින් සිටින වාසුදේව නානායක්කාර මහතාය. ඔහු චෝදනා කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන පොලිසියටය. පුදුමය සහ කනගාටුවට කරුණ වන්නේ එයමය.

“අද නීතිය බල්ලට ගිහින් ඇතැයි” වාසුදේව නානායක්කාර කියන්නේ නාමල් රාජපක්ෂගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් පසුගිය 6 වැනිදා කළ උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියෙකු විසින් මාධ්‍යවේදියෙකු යැයි කියන උද්ඝෝෂකයෙකුට පහර දුන් බව කියන සිද්ධිය දඩමීමා කර ගනිමිනි.

වාසුට අනුව අද නීතිය බල්ලට ගිහින් නම් වාසුදේවලා නායකත්වය දැරූ රාජපක්ෂ රෙජිමය යටතේ නීතිය ගොස් තිබුණේ කොතැනටදැයි අපට සිතා ගැනීමටවත් නොහැකිය. මන්ද රාජපක්ෂ රෙජිමයට කත්අඳින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ඉහළ කිසිදු අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වූ බවක් අප රාජපක්ෂ යුගයේ අසා තිබුණේවත් නැති නිසාය. උදාහරණ වශයෙන් වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු රාජපක්ෂ පාලනයේ අනුහසින් වැසී ගිය ඝාතන රැසක් එළියට එන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන පොලිසියට හා අධිකරණ ක්‍රියාවලියට පින් සිදුවන්නටය. ගණන් කළ නොහැකි තරම් මූල්‍ය අපරාධ හා දූෂණ අද එළියට ඇදී එන්නේ, පාට, පක්ෂ භේදයකින් තොරව වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැඟෙන්නේ වත්මන් යහපාලන යුගයේදී මිස වාසුලා නායකත්වය දුන් රාජපක්ෂ පාලනය යටතේදී නම් නොවේ.

“අද නීතිය බල්ලට ගිහින්” යැයි ආණ්ඩුවට එරෙහිව චෝදනා කරන වාසුදේව නානායක්කාරට හිටපු අගවිනිසුරුවරිය කැන්ගරු උසාවියක් මගින් ධූරයෙන් පහකළ අයුරු අමතක වීම පුදුම සහගතය.

“උසාවි නියෝගවලට ජනතාව අවනත වුණේ නැහැ” වාසු කියයි. එහෙත් ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ යුගයේදී ජනතාවට පාරට බහින්න තියා ඒ ගැන හිතන්නවත් අවස්ථාවක් ලබා දුන්නාද යන්නයි. රාජපක්ෂ යුගයේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂ බලවේග, වෘත්තීය සමිති ඇතුළු බලපෑම් කණ්ඩායම් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණ කීයක් පොලිසිය විසින් ව්‍යාජ හේතු දක්වමින් වාරණය කළාදැයි වාසුදේවට අමතක විය නොහැකියි. රාජ්‍ය නොවන සංවිධානයකට තබා ආණ්ඩුවට එරෙහිව මතයක් ප්‍රකාශ කරන විදේශ රටක රාජ්‍ය නායකයකුට හෝ නායිකාවට පවා මේ රට තුළ සංචාරය කිරීමට රාජපක්ෂ යුගයේ නිදහස තිබුණාදැයි වාසුදේව කල්පනා කර බැලිය යුතුය. එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවා නිදහසේ ජන හමුවක් ඇමැතීමට වාතාවරණයක් රාජපක්ෂ රෙජිමය විසින් ලබා දුන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ වැඩමුළුවක් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් මේ යුගයේ පැවැති බව ඒ කාලයේ පවා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ළඟින්ම සිටි වාසුදේව නානායක්කාර මහතා නොදන්නවා විය නොහැකිය.

“උසාවි නියෝගවලට ජනතාව අවනත වන්නේ නැහැ” වාසු කියන විට අපට මතක් වන්නේ හිටපු අගවිනිසුරුවරිය ධූරයෙන් පහ කිරීමට එරෙහිව එදා කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට පැවැති නීතිඥ සංගමය ඇතුළු සිවිල් සමාජයේ විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩුවේ මැරයන් විසින් එල්ල කළ නින්දිත ප්‍රහාරයයි. එදා විපක්ෂය විසින් සංවිධාන කරන ඕනෑම විරෝධතා ව්‍යාපාරයකට එරෙහිව ප්‍රතිගාමී උද්ඝෝෂණ ව්‍යාපාර ආණ්ඩුව විසින් සංවිධාන කළ බව වාසුදේව නානායක්කාර මහතා නොදන්නවා විය නොහැකිය.

එදා විපක්ෂයට සැලකූ හැටි

අද නාමල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කරමින්, හිරේ යන්න වුණත් බය නැතිව උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කරන්නේ හම්බන්තොට, මත්තල රැක ගැනීමට යැයි කියති. එහෙත් අද නාමල්ලා, වාසුලා ඉල්ලන නිදහස මීට අවුරුදු දෙකහමාරකට පමණ පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් වූ අජිත් පී. පෙරේරාලාට, සුජීව සේනසිංහලාට තිබුණේ නැත. ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නැත. අද නාමල්ලා, වාසුලා දිවිහිමියෙන් රැක ගන්න හදන හම්බන්තොට වරාය නිරීක්ෂණය එදා විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස ගිය අජිත් පී. පෙරේරා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට වරාය සංකීර්ණයට ඇතුළු වීමට ඉඩ නොදී එලවා එලවා පහර දුන්නේ නාමල්ගේ සුරතලෙක් වන හිටපු හම්බන්තොට නගරාධිපති එරාජ්ය. මේ රාජපක්ෂ සුරතලා එදා පිස්තොලයක් අතැතිව විපක්ෂ මන්ත්‍රීවරුන් පිටපසු එලවා ගෙන එනවා දුටු මිනිසුන් භීතියට පත් වුණේ එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම මනාව ප්‍රදර්ශනය වූ නිසාම පමණක් නොව රාජපක්ෂවරුන් තම නින්දගමේදී කොතරම් භීෂණකාරී ආකාරයෙන් හැසිරෙන්නේ දැයි මනාව පැහැදිලි වූ නිසාය.

වාසුට තවත් කරුණු අවශ්‍ය නම් එදා හම්බන්තොටදී ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් සමූල ඝාතනය කළ රාජපක්ෂ මැරයා ගැන ද මතකයට නඟා ගත හැකියි.

රාජපක්ෂවරුන්ට හා රාජපක්ෂ හෙංචයියන්ට එරෙහිව වචනයක් කීමට නොව සිතීමට පවා එදා හම්බන්තොටදී රාජපක්ෂ රෙජිමය ඉඩ දුන්නේ නැත. එහෙත් දශකයක පාලනයක් නිමා කරමින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන වත්මන් යහපාලන යුගයේදී අධිකරණය හෝ පොලිසියට බිය වීමට වාසුලාට, ජී.එල්. පීරිස්ලාට හේතුවක් නැත.

මේ සමගම වාසුට, ඩලස්ට ඇතුළු ඊනියා ඒකාබද්ධ කල්ලියට තවත් යමක් මතක් කර දිය යුතුමය. ඒ ඔවුන් අද ජනමාධ්‍යවේදීන් ගැන හෙළන කිඹුල් කඳුළු දැකීම සමඟ ඇතිවන පිළිකුල නිසාය.

වාසුලා, ඩලස්ලා කියන ආකාරයට තංගල්ල ඒ.එස්.පී දළුවත්ත මහතා උද්ඝෝෂණයේ යෙදුණු පුද්ගලයෙකුට පහර දෙන දර්ශන මේ ලේඛකයා ද ඇතුළු මුළුරටම ඉතාම පැහැදිලිව දැක්කේය. වාසු පමණක් නොව අපද අවධාරණය කරන්නේ කිසිදු පුද්ගලයෙකුට පහරදීමට තබා අවමන් සහගත ලෙස සැලකීමට පොලිසියට කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතු බවය. පොලිස් මර්දනය හා භීෂණයට වහාම තිත තැබිය යුතු බවය. පොලිස් භීෂණයෙන් හා මර්දනයෙන් ඇතිපදම් බැට කෑ මේ රටේ 62 ලක්ෂයක් ජනතාව පසුගිය 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ පාලනයට තිත තැබුවේ ද මේ කාරණය ද ප්‍රධාන චෝදනාවක් කර ගනිමිනි. ඒ නිසා යහාපලන ආණ්ඩුව තුළ අප කිසිවෙක් මෙවැනි ක්‍රියාවක් අනුමත කරන්නේ තමා තවදුරටත් සිදුවිය යුතු බව විශ්වාස කරන්නේ ද නැත.

නින්දා සහගත බොරු කීම

එහෙත් මෙතැනදීත් වාසුදේවලා, ඩලස් අලහප්පෙරුමලා අතිශයින් නින්දා සහගත ආකාරයෙන් බොරුව යළි යළි රජකරවීමට ගන්නා නින්දා සහගත ප්‍රයත්නය අප හෙළා දැකිය යුතුය. මන්ද මේ කල්ලිය අද මාධ්‍යවේදියා අල්ලාගෙන මාධ්‍ය නිදහස වේවා, පොලිස් ප්‍රහාර ගැන වේවා කඳුළු හෙළන්නේ අවංකව නොවන නිසාය. ඊට හේතුව වන්නේ රාජපක්ෂ රෙජිමයේ පාලනය තුළ තරම් මෙරට මාධ්‍ය මර්දනයක් ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ හෙයිනි. උදාහරණයක් ලෙස අද ඊනියා සිදුවීමක් ගැන කිඹුල් කඳුළු හෙළන වාසුලා, ඩලස්ලා, එදා පෝද්දල ජයන්ත, නාමල් පෙරේරා, උපාලි තෙන්නකෝන් ආදි දකුණේ ප්‍රකට මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ තුච්ච ප්‍රහාරයන් හමුවේ කසාය බිවූ ගොළුවන් සේ හැසිරුණා මිස ඊට එරෙහිව එකඳු වචනයක් කතා කරනු අප දැක්කේ නැත. මර්වින් සිල්වා ආණ්ඩුවේ රූපවාහිනියට කඩා පැන එහි සේවකයන්ට තර්ජනය කරමින් පහර දෙන විට වාසුලා, ඩලස්ලා ඒවා හෙළා දැක්කේ නැත. සිරස ඇතුළු රාජපක්ෂ පාලන සමයේ දිනපතා දැවැන්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් මාධ්‍ය ගැන එදා වාසුලා කටක් ඇරියේ නැත. ඒ නිසා අප ඉතාම දැඩිව අවධාරණය කරන්නේ අද මේ ඊනියා ඒකාබද්ධ කල්ලිය තම යැපීම සඳහා දිනපතා නිර්මාණය කර ගන්නා සිදුවීම් මගින් යළි රෙජිමයේ පාලනය ඔසවා තැබීමට කිසිදු ආකාරයක අවස්ථාවක් ලබා නොදිය යුතු බවය.

ජී.එල්ගේ නීති පොත

නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු පමණක් නොව හිටපු අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයෙකු ද වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය 10 වැනිදා වජිරාරාමයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කරමින් කියා සිටියේ “අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට පහර දෙන්න කිසිම පොලිස් නිලධාරියෙකුට අයිතියක් නැතැ’යි කියාය.

නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු පමණක් නොව ගමේ ගොඩේ මිනිස්සු පවා මේ කතා කියන්නේ බොහෝ කාලයක් පුරාය. විශේෂයෙන් මේ මහාචාර්යවරුන්ද නායකත්වය දුන් රාජපක්ෂ රෙජිමයේ පාලන යුගයේදී ජනතාව මේ කතාව කටේ කෙළ ලුණු රහ වෙන තෙක් කියා ඇත්තේය. ඒ “අායුධ පෙන්වීමට ගොස් ” සිදුවන පුද්ගල ඝාතන රාජපක්ෂ යුගයේදී ඒ තරම් සුලභ වූ නිසාය. පාතාලය මර්දනය කිරීමේ නාමයෙන් එදා සිදු වූ මෙම ඝාතන ගැන ජී.එල්. ලා එදා එක වචනයක් කතා කළේ නැත. ඒ වෙනුවට ඔහු ඇතුළු කල්ලිය කළේ “ගොරකා - දඩමස් න්‍යාය” භාවිත කරමින් මේ සියලු පොලිස් ප්‍රහාරයක්ම, ඝාතනයක්ම සර්වසාධාරණ කිරීමය. ඒවා යුක්ති සහගත කරන නීති තර්ක නහුතයක් ඉදිරිපත් කිරීමය.

යළි නාමල් ගැන

අද වාසුලා, ඩලස්ලා, ජී.එල්ලා මේ දෙකොන මාරුවී කතා කරන්නේ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලියේ කඩාකප්පල්කාරී ක්‍රියා සාධාරණීකරණය කරමින් ඊට පක්ෂව ජනමතයක් නිර්මාණය කිරීමට බව ඉතාම පැහැදිලිය. එහෙත් මෙහිදී අප අවධාරණය කරගත යුතු කරුණක් තිබේ. ඒ අද නාමල්ලා හැසිරෙන්නේ තමන් විසින් වළට ඇඳ දැමූ රට යළි ගොඩනගා මේ මිනිසුන්ගේ ජීවිත ගොඩ ගන්නවාට වන අකමැත්ත නිසා බවය. ඒ අකමැත්තට හේතුව වන්නේ වත්මන් ආණ්ඩුව සංවර්ධන කාර්යයේදී දක්වන සාර්ථකභාවය නාමල් රාජපක්ෂලාගේ අනාගතය සදාකාලික අන්ධකාරයේ තබන නිසාය. රට සංවර්ධනය වුවහොත්, හම්බන්තොට, මත්තල සංවර්ධනය වුවහොත් ජනතාව දියුණු වෙද්දී, ඔවුන්ගේ අතමිට සරු වෙද්දී හැකිලෙන්නේ නාමල්ලාගේ අනාගතයය. සිදෙන්නේ නාමල්ලාගේ ඡන්ද බැංකුය. ඒ නිසා අද නොව හෙටත් නාමල්ලා, නාමල්ට ඔටුනු පළඳවනු දැකීමේ දොළදුකෙන් පෙළෙන වාසුලා, ජීඑල් ලා යළි යළිත් අහිංසක ජනතාව දඩමීමා කර ගනිමින් හම්බන්තොට පමණක් නොව හැකි නම් මුළු රටම එකම දඩබිමක් කර ගන්නවා ඇත.

ජනවාරි 08 වෙනස වෙනුවෙන් නායකත්වය දුන්, ඡන්දය දුන් සියලු පාර්ශ්වයන් නාමල්ලා මේ නෙළන්න යන්නේ මොන මලක් දැයි වඩාත් විමසිලිමත්ව සිටිය යුතුය. 

නව අදහස දක්වන්න