අපහසුතා වළකන්න ඕන දේකට ලෑස්තියි | දිනමිණ

අපහසුතා වළකන්න ඕන දේකට ලෑස්තියි

ශීලා උඩුවර

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මගීන්ට ඇතිවී තිබෙන අපහසුතාව අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ ඊයේ ( 12) පැවති සාකච්ඡාවේ දී පැවසිය.

මෙම තත්ත්වය පිළිබඳව තමා ජනාධිපතිතුමා දැනුවත් කර ඇති අතර මෙම වර්ජන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් මගී ජනතාවට සිදුවන අපහසුතාව වැළැක්වීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

වර්ජකයන් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කරන බව දැනුම් දී ඇති බවත්, නමුත් එසේ නොකොට 11 වැනිදින පස්වරු 5ට පමණ දුම්රිය වර්ජනය ආරම්භ කිරීම කඩාකප්පල් කාරි ක්‍රියාවක් බවත්, එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, ඇමැතිවරයා කීය.

ජනතාව අපහසුතාවට පත් කරමින් කළ මෙම සාපරාධි ක්‍රියාමාර්ගය පිළිබඳව පොලිසිය මාර්ගයෙන් විමර්ශනයක් කිරීමට ඇමැතිවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

දුම්රියසාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් හා ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරින් ද , ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී හේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් මේ සාකච්ඡාවට සහභාගී වුහ.

පෙරේදා සවස සිට මගී ජනතාවට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා ශ්‍රී ලංගමය කොළඹ සිට පොල්ගහවෙල අලුත්ගම ගාල්ල මිගමුව යන ප්‍රදේශ සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බවත්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින්ද, පෞද්ගලික බස් සේවා පුළුල් කර ඇති අතර , වර්ජනය අවසන් වන තෙක් තාවකාලික මාර්ග බලපත්‍ර නොමැතිව අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් ධාවනයට බස්රථ හිමියන්ට අවසර ලබා දී ඇත.

ලංගමයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවළංගු කර තිබේ. ඊයේ දුම්රිය 12ක් ධාවනය කර ඇති අතර කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ධන රැගත් දුම්රියක්ද ධාවනය කර ඇත.

කලින් ආසන වෙන් කරනසුඛෝපභෝගි දුම්රිය සේවාවන් සඳහා ශ්‍රී ලංගමයේ වායු සමීකරණ කරන ලද බස් රථ යෙදවීමටද කටයුතු කරන බවත් ලබාගත් දුම්රිය බලපත් මගින් සුඛෝපභෝගි බස්රථවලින් ගමන් කිරීමට හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

නව අදහස දක්වන්න