පරෙවියන් අටක් සොරාගත්තැයි පාසල් සිසුවාට ඇප | දිනමිණ

පරෙවියන් අටක් සොරාගත්තැයි පාසල් සිසුවාට ඇප

මල්වාන සමූහ මහානාම විතානගේ

ඇඹරලුව - උතුර ප්‍රදේශයේ නේවාසිකාගාරයක සුරතලට ඇතිකරන ලද පරෙවියන් අටදෙනකු සොරාගත් 15 හැවිරිදි පාසල් සිසුවකු වැලිවේරිය පොලිසිය මගින් ඉකුත් සඳුදා (09 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ පාසල් ශිෂ්‍යයාගේ නිවසේ තිබී එම පරෙවියන් අටදෙනා සොයා ගැනිණි.

ඉකුත් සඳුදා (09 වැනිදා) රාත්‍රී 9.00ට පමණ එම නේවාසිකාගාරයේ සිටි තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයකු පමණක් එහි සිටියදී මොහු පරෙවි කූඩුව කඩා එම පරෙවියන් උරයක දමාගෙන රැගෙන ගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.

මේ ප්‍රදේශයේම පදිංචි එම පාසල් සිසුවා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් හේමන්ත කුමාර අතපත්තු, උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, සැරයන් ශාන්ත (555556) හා ගුණසේකර (27589) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදුකළහ. 

නව අදහස දක්වන්න