බසයේ දී වෛද්‍යවරියට අතවර කළැයි කොන්දොස්තර රිමාන්ඩ් | දිනමිණ

බසයේ දී වෛද්‍යවරියට අතවර කළැයි කොන්දොස්තර රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

වෛද්‍යවරියකට බස් රථයක් තුළ දී අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් අත්අ‍ඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බස් රථ කොන්දොස්තරවරයකු මේ මස 13 දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා ඊයේ (10) නියෝග කළේය. කොළඹ ජාතික රෝහලේ මුඛ හා හානුක ඒකකයේ වෛද්‍යවරියක මෙ‍සේ අතවරයට ලක් ව ඇති බවට පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

පැමිණිලිකාරිය පිටකොටුවෙන් බස් රථයට ගොඩ වු බවත් ප්‍රවේශ පත්‍රය ලබා ගැනිමට තරමක් ප්‍රමාද වු අතර ඊට බැණ වැදුණු කොන්දොස්තර පසුව සිය මුදල් ලබා ගත් බවට පැමිණිල්ලේ සඳහන්ය. අනතුරුව තමන් බස් රථයෙන් බැසිමට සුදානම් වු අවස්ථාවේ එකවර තමන් වෙත පැමිණි කොන්දොස්තර තමන්ට අතවර කළ බවට පැමිණිල්ලේ සඳහන්ය. බදුල්ල පදිංචි ඒ. නිශ්ශංක නමැති සැකකරු මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කෙරිණ. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්ති ප්‍රකාරව පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

පිටකොටුව පොලිසියේ (40824) එම් ජී ක්‍රිෂ්ණ නිලධාරියා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය. 

නව අදහස දක්වන්න