යතුරුපැදි ලියාපදිංචියේදී අල්ලස් ඉල්ලීමට සහ දීමට සැක දෙදෙනාම රිමාන්ඩ් | දිනමිණ

යතුරුපැදි ලියාපදිංචියේදී අල්ලස් ඉල්ලීමට සහ දීමට සැක දෙදෙනාම රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

යතුරුපැදි ලියාපදිංචි සහතිකයක් සකස් කර ගැනිමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි හා ලබා ගත් බව කියන සිද්ධියකට අදාල ව අල්ලස් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තැරුව්කරු හා සිවිල් පුද්ගලයකු මේ මස 17 වැනි දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පසුගියදා (09) නියම කළේය.

නාරාහේන්පිට මො‍ටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මඟින් රාජකාරි කටයුතු කර දිම සඳහා එම කාර්යාලයීය නිලධාරින් වෙත අල්ලස් වශයෙන් මුදල් ලබා ගන්නා බවට නිර්නාමික ව අල්ලස් විමර්ශන කොමිසම් සභාව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව අවේක්ෂණ විමර්ශනයක් මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට අල්ලස් කොමිසම අධිකරණය වෙත දැන්වීය.

තැරුව්කරු වු නො.299/3 ඉහළ බියන්විල, කඩවත පදිංචි කුපුරුබණ්ඩාරගේ දයානන්ද සතුව තිබි වාහන පොත්, ජාතික හැදුනුම්පත් ඇතුළු ලේඛන 30ක් සොයා ගෙන ඇති අතර ඔහුගේ නිවස පරික්ෂා කිරිම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් අල්ලස් කොමිසම ඉල්ලා තිබිණ. තැරුව්කරු නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන කොමාසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක නිලධාරියකු මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරියකු බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

එන්.ඩබ්ලිව්.වි.පී 5724 දරණ යතුරුපැදියේ ලියාපදිංචි සහතිකය සකස් කර ගැනිමට අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් 2000ක් අල්ලස් මුදලක් ඉල්ලා සිටිම හා මුදල් පිරිනැමිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...