ගුවන් බලය ශක්තිමත් කරන කොළඹ ගුවන් සමුළුව අද අවසන් | දිනමිණ

ගුවන් බලය ශක්තිමත් කරන කොළඹ ගුවන් සමුළුව අද අවසන්

මහින්ද අලුත්ගෙදර

කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණදෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටලු සහ ආරක්ෂක තර්ජන මෙන්ම ස්වාභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය හැකි ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන කොළඹ ගුවන් සමුළුව 2017 කොළඹ දී ඊයේ (12) ආරම්භ විය.

ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුවක් වන මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන අතර මේ සමුළුව රත්මලාන, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සමුළු සහ උත්සව ශාලාවේ දී පැවැත්වෙයි. එය අද (13) අවසන් වෙයි.

අසමමිතික තර්ජන ඇමැතීමේ දී ගුවන් බලය යන්න තේමාව කැර ගනිමින් පැවැත්වෙන කොළඹ ගුවන් සමුළුව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර මේ සඳහා දෙස් විදෙස් උසස් හමුදා නිලධාරීන්, සිවිල් විද්වතුන්, රජයේ උසස් නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ලෝක ගුවන් බලයේ වඩාත් පුළුල් ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම, සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සහ නියෝජනය කරනු ලබන ජාතීන් අතර සුහඳත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ ගුවන් සමුළුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මෙය 2015 වසරේ දී ආරම්භ කෙරිණි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ගුවන් හමුදා මූලස්ථානයේ දී පසුගිය දා (10) පැවැති අතර එහිදී අදහස් දක්වමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පෙන්වා දුන්නේ සමතුලනයක් නොමැති යුදමය අවස්ථාවන්හි දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ අත්දැකීම් මෙන්ම විදෙස් රටවල ගුවන් හමුදාවන් සතු හැකියාවන් සහ නවීන තාක්ෂණයේ භාවිතයන් හුවමාරු කර ගැනීමට මෙය අනගි අවස්ථාවක් වන බවත්ය.

සමතුලනයක් නොමැති යුදමය අවස්ථාවක දී එක් හමුදාවකට පමණක් තනිවම කටයුතු කළ නොහැකි බව පෙන්වාදුන් ගුවන් හමුදාපතිවරයා මේ හේතුවෙන් ගුවන් බලය යෙදවිය යුතු ආකාරය, නවීන තාක්ෂණය යොදා ගන්නා ආකාරය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බවද මිත්‍ර රටවල හමුදාවන්ට සහ බුද්ධි තොරතුරු එක්රැස් කරන සිවිල් ආයතන නිලධාරීන් සඳහා ද මේ සඳහා ආරාධනා කැර තිබෙන බවද පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙන්ම විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු මෙහිදී දේශන පැවැත්වීමට නියමිතව තිබෙන අතර සමුළුවට සමඟාමීව විදෙස් නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

ඩ්‍රෝන භාවිතා කිරීමේ දී සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව යම් යම් නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරන බව සදහන් කළ ඒ මහතා යම් යම් අවස්ථාවල දී එයින් අනතුරක් සිදු කිරීමේ හැකියාව පැවතීම හේතුවෙන් මෙලෙස නීති පැනවීමට සිදුව තිබෙන බවද සදහන් කෙළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් ආරක්ෂණ පද්ධතිය අවශ්‍ය කරන තත්ත්වයට ගෙනැවිත් තිබෙන අතර එවැනි තත්ත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානා බිම හෙළීමට හැකිවූ බවත් දැනට ප්‍රමාණවත් පහසුකම් පැවතිය ද රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සමඟ සමතුලනයකින් යුතුව නවීන තාක්ෂණයට අනුව ඉදිරියට ගමන් කිරීමට සූදානම් බවත්ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරවද්‍යතාවය සහ කාර්යක්‍ෂමතාවය, ගුවන් බලය වර්ධනය වෙමින් පැවති ත්‍රස්තවාදයට එරෙහිව ගුවන් බලය යොදවමින් පරාජය කිරීම හොඳම නිදසුනක් වන අතර ගෝලීය ප්‍රජාව විසින් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ දරන අතර, ගෝලීය ත්‍රස්තවාදය අනෙකුත් ත්‍රස්ත සංවිධාන සහ වංචාකරුවන්, කුලී ඝාතකයන්, පරිගණක හැකර්වරුන්, නිති විරෝධී ප්‍රවාහකයින්, මිනිස් ජාවාරම්කරුවන්, මුදල් වංචාකරුවන් සහ දිනෙන් දින පුළුල් ජාලයක්ව ගොඩනැගෙන ත්‍රස්තවාදී කණ්ඩායම් වැනි නීතිවිරෝධී සංවිධාන සමඟ සමීප සබඳතාවක් පවතී.

සාම්ප්‍රදායික මුහුණට මුහුණලා කරනු ලබන සටන් වෙනුවට සත්‍ය වශයෙන්ම සොයා ගැනීමට හෝ විනාශ කිරීමට දුෂ්කර උසස් තාක්‍ෂණික සහ අසමමිතික තර්ජනයන්ට ලෝකය මුහුණ දෙමින් සිටින අතර ත්‍රස්තවාදය ගෝලීය තර්ජනයක් වන හෙයින් එය ඉතා වේගවත් ආකාරයකින් ස්වභාවය සහ ස්වරූපය වෙනස් කරනු ලබයි. ත්‍රස්දවාදය හැරුණු කොට අද ලෝකය දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්වල ප්‍රබල අභියෝග රාශියකට මුහුණ දී තිබේ.

ස්වභාව දහම කිසිවිටෙකත් තම සීමා මායිම් සපථ කිරීමේ දී ජාතීන් අනුව හෝ දේශපාලනික අවශ්‍යතාවයන් අනුව හෝ රාජ්‍යයන් ලෙස වර්ගීකරණය කොට නොසලකන නිසාවෙන් ස්වභාවික උවදුරු සඳහා මුහුණු දීමට ගෝලීය යාන්ත්‍රණයක අවශ්‍යතාව මතුව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිෂ් මාර්ෂල් පී.ඩී.කේ.ටී ජයසිංහ, චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමදෝර් එච්.එස්.එස් තුයියකොන්ත, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න, ගුවන් සමුළුවේ ලේකම් ස්කොඩ්‍රිරන් ලීඩර් ඩී.එල්.ඒ මානගේ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...