කොළඹ ව්‍යාපෘති රැසකට රුපියල් මිලියන 238ක් | දිනමිණ

කොළඹ ව්‍යාපෘති රැසකට රුපියල් මිලියන 238ක්

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ වෙරළ තීරය ඛාදනය වීමේන උන්හිටිතැන් අහිමිව අවතැන්වන ජනතාවට කඩිනමින් විසඳුමක් ලබාදෙන බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සම සභාපති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක සේනක පී. සිල්වා මහතා විමධ්‍යගත අයවැය වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1239 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් විසිතුන්කෝටි අසූලක්ෂයක් (රුපියල් මිලියන 238) අනුමත වී ව්‍යාපෘති 521 ක වැඩ අවසන් කර තිබෙන බවත්, ව්‍යාපෘති 469 ක වැඩ ආරම්භ කර ඇති බවත්, ව්‍යාපෘති 197 ක් ප්‍රසම්පාදන මට්ටමේ පවතින බවත් පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, ජාතික පෝෂණ වැඩසටහන, ග්‍රාම ශක්ති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය යන වැඩසටහන්වලට ද ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය. ඩෙංගු පිළිබඳ ප්‍රගති වාර්තාවක් ද ප්‍රධාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සම සභාපති බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, අමාත්‍ය මනෝ ගනේෂන්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. මුජිබර් රහුමාන්, ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහත්වරු හා පළාත් සභා මන්ත්‍රීන් හා රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ. 

උඩුගම්පොළ සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...