වගා සංග්‍රාමය! | දිනමිණ

වගා සංග්‍රාමය!

අතීත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැන ය. ජනතාව ගොවිතැන්කොට ආහාර සපයාගත් අතර නිෂ්පාදනයේ අතිරික්තය අලෙවිකොට අනෙකුත් අවශ්‍යතා සපුරා ගත්හ. මේ වනා හී අප දන්නා සරල කෘෂිකාර්මික පිළිවෙත ය. එදා ගැමියා කියා සිටියේ අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්නවා යන්න ය. නැතහොත් අත හෙලෙව්වොත්; කට හොලවන්නට ලැබේ යන්නය. මේ උදාන වාක්‍යවලින් ද කියැවෙන්නේ ජීවත්වීම සඳහා ගොවිතැන අවශ්‍ය බව ය. එහෙත් අද ලෝකය සංකීර්ණ ය. අවශ්‍යතා බහුල ය. ඒ අනුව ගොවිතැනට නව අර්ථකථන දෙන්නට ද, එහි උපාය මාර්ග වෙනස් කරන්නට ද අපට සිදු වී තිබේ.

මේ දිනවල ආණ්ඩුවේ ද ඇතැම් සංවිධානවල ද සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ වගා සංග්‍රාමය කෙරෙහි ය. එය ආහාර නිෂ්පාදනයේ විප්ලවයක් ලෙස සමහරු අර්ථ දක්වති. කුඹුරු අක්කර එක්ලක්ෂ තිස්දහසක් අලුතින් වගා කිරීම, පොල් අක්කර දස දහසක් අලුතින් වගා කිරීම, වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වැඩසටහනේ මූලික ඉලක්ක බවට පත් ව තිබේ. ඒ හැරෙන්නට පාසල් හා කාර්යාල කේන්ද්‍රකොට අලුතින් ගොවිබිම් ඇති කිරීමට ද අපේක්ෂා කෙරේ. 2020 වනවිට ගොවීන්ගේ ආදායම දෙගුණයකින් වැඩිවන බව ද අපනයන ආදායම ඉහළ යන බව ද පුරෝකථනය වී ඇත.

අපට හැ‍ඟෙන පරිදි මේ වැඩසටහන ඉතා කාලෝචිත ය. එය රටේ හා ලෝකයේ අනාගතය දෙස බලා ආරම්භ කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය. ලෝක ආහාර සංවිධානය පෙන්වා දෙන ලෙස ඉදිරි දසකය තුළ ප්‍රබල ආහාර අර්බුදයක් ලෝක මට්ටමින් ඇතිවීමට පුළුවන. ජල හිඟය, නියඟය, පස අසාරවීම, ස්වාභාවික විපත්වලින් වගාවට හානි වීම ආදිය මීට බලපාන සාධක ලෙස දක්වා තිබේ. ආහාර හිඟය අප්‍රිකානු හා ලතින් අමෙරිකානු කලාපවලට පමණක් නොව; ආසියාවට ද තදින් බලපානු ඇතැ’යි අනතුරු හඟවා තිබේ. ලෝක ආහාර සංවිධානය මේ අනතුරු හැඟවීම කර ඇත්තේ ඊට සූදානම් වීම සඳහා ය.

ශ්‍රී ලංකාව දෙසට හැරුණහොත් වී වගාව ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන ප්‍රදේශ කිහිපයක කන්න තුනක් වගා කර නැත. තවත් ප්‍රදේශ ගණනාවක ගොඩ-මඩ වගාවන් නියඟයෙන් විනාශ වී ඇත. රජයට එක අතකින් නියං ආධාර ලබා දෙන්නට සිදු වූ අතර තව අතෙකින් වගා හානියට වන්දි ලබා දෙන්නට සිදු විය. මේ හැරෙන්නට ගොවි පවුල් ගණනාවකට ජීවන ආධාර ලබා දෙන්නට ද සිදු විය. ඇතැම් ප්‍රදේශවල ජනතාව තුන් වේල වෙනුවට එක වේලක් සඳහා පමණක් බත් ආහාරයට ගත් බව ද කියැවේ. ලාංකිකයා තුන්වේලටම බඩ-කට පුරා බත් කෑ පිරිසක බවට අපි උදම් අනන්නෙමු. එහෙත් එම තත්ත්වය දැන් ගිලිහී ගොසිනි. මේ අනුව ජාතියේ පෝෂණ තත්ත්වය දුර්වල වෙමින් පවතී.

වගා සංග්‍රාමයේ ඉලක්කය මේ සියලු ප්‍රශ්නවලට සාර්ථක විසැඳුම් සපයා ගැනීම ය. වතුර හා ඉඩම් ඇතොත් වගා කළ හැකි ය. එහෙත් ශ්‍රී ලංකාවේ කුඹුරු ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් මේ වන විට ද පුරන් ව ගොස් තිබේ. ඒවා කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. වතුර නැතිකම නිසා ඇතැම් කුඹුරු අත්හැර ඇත. වගාවෙන් පාඩු සිදුවන නිසා තවත් කුඹුරු අත්හැර ඇත. තෙල් හා පොහොරවලට යන වියදම සමඟ සසඳන විට අස්වැන්නෙන් ලාභයක් ගත නොහැකි බව ගොවියෝ කියති. මේ තත්ත්වය ගැන සොයා බලා රජයෙන් ආධාර ලබාදී හෝ කුඹුරු ටික වගා කළ යුතුය. එසේ නැතහොත් රාජ්‍ය ආයතන මගින් පුරන් කුඹුරු වගා කළ යුතු ය.

ඈත අතීතයේ දී වගාවට ගත හැකි කිසිදු බිම් අඟලක් නිරපරාදේ පැවැතියේ නැත. ජලය ද එසේ ම ය. එක ජල බිඳුවක් හෝ අපතේ නොයන ලෙස ප්‍රයෝජනයට ගැනිණි. එය රාජ නියෝගයක් ලෙස පැවැතිණි. කිසියම් රාජ්‍යයක සම්පත් මහජනයාට අයත් යැයි කියනු ලැබේ. එහෙත් මහජනයා එම සම්පත් භාවිතයේ දී නිසි කළමනාකරණයක් යොදාගන්නේ නැත. කළමනාකරණය සඳහා රජය මැදිහත් විය යුතුය. මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවේදන නිකුත් කරනු ලැබේ. එම නිවේදනවලින් කියැවෙන්නේ ප්‍රයෝජනයට නොගත් පුරන් ඉඩම් ඇතොත් ඒවා රජය විසින් වගා කරනු ලබන බවය. මෙය ජනතාව උනන්දු කරවන උත්තේජකයක් ලෙස සැලැකිය හැකි ය.

අදත් හොඳ පොල් ගෙඩියක මිල රුපියල් අසූවට අඩු නැත. ඇතැම් තැනක පොල් ගෙඩිය ‍රුපියල් සියය දක්වා ඉහළ නැඟ තිබේ. පොල් ගෙඩියක මිල මේ තරමින් ඉහළ ගිය කාලයක් අපට මතක නැත. එක අතෙකින් පොල් ඉඩම් කට්ටි කර විකුණනු ලැබේ. තව අතෙකින් රෝග නිසා පොල් වගාව විනාශ වී ඇත. නියඟය නිසා පොල් පලදාව අඩු වී ඇත. අලුතින් පොල් වගාවට යොමු වන අය ද ඉතා අඩු ය. මේ අනුව බලන විට පොල් මිල ඉහළයෑම පුදුමයක් ද නොවේ. පොල් අර්බුදයට විසැඳුම් සෙවිය හැක්කේ අලුතෙන් පොල් වගා කිරීම ඔස්සේ යැයි කිව හැකි ය. අක්කර දස දහසක් අලුතින් පොල් වගා කිරීම කාලෝචිත පියවරකි. මේ ආදර්ශයට අනුව පරණ පොල් ඉඩම් ද නව වගාවන් කරා යනු ඇත.

පාසල්වල ද, කාර්යාලවල ද ගොවි බිම් ඇති කිරීමේ වැඩසටහනක් 1970 ගණන්වල ක්‍රියාත්මක විය. එය සාර්ථක වැඩසටහනකි. එදා පාසල් ශිෂ්‍යයන් සඳහා ගෙවතු වගා පරිච්ඡේදයක් ද තිබිණි. එම කාලය තුළ ශිෂ්‍යයන් රැඳුණේ ගොවිබිම තුළ ය. ළමයි වගා කරන ආකාරය ඉගෙන ගත්හ. බිම සකස් කිරීම ඉගෙන ගත්හ. විදුහල් අතර ගොවි තරග පවා පැවැත්විණි. පාසල් දරුවෝ නිවසේ දී පවා වගාවට පුරුදු වූහ. රටේ සියලු සමාජ කණ්ඩායම් ගොවිතැන සඳහා උනන්දු වන්නේ නම්; ගොවි විප්ලවය ජය ගත හැකි ය. සුද්දන් ශ්‍රී ලංකාව හඳුනාගත්තේ වියළි දණ්ඩක් වීසි කළ ද එය දළුලා වැඩෙන භූමියක් හැටියට ය. ඒ තත්ත්වය නැවත උදාකළ යුතුය.

නිදහස ලබාගන්නා විට ද ප්‍රධාන වාණිජ වැවිලි තුනක් හා ආහාර වගා ගණනාවක් ද අපට තිබිණි. තේ - පොල් - රබර් අපනයනය කොට විශාල ආදායමක් ලැබීමට අපට හැකි විය. කුඹුරු හා ගොඩ ඉඩම් වගාකොට රටේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට හැකි විය. එදා පැවැතියේ ස්වයංපෝෂිත ආර්ථික රටාවකි. තේ -පොල් - රබර් ආදායම් පහළ යන්නට වූයේ ලෝක වෙළෙඳ පොළ තත්ත්වයන් හඳුනාගෙන මේ වගා ව්‍යාපෘති නවීකරණයට ලක් නොකළ නිසා ය. අනෙක් අතින් ලෝක වෙළෙඳපොළෙහි පැවැති තරගය තේරුම් නොගත් නිසාය. තේ වගාවෙන් හා අපනයනයෙන් පළමු තැන සිටි අප දැන් ඉන්දියාවට හා කෙන්යාවට පරාජය වී ඇත. රබර් හා පොල්වල තත්ත්වය ද ඊට වෙනස් නැත.

ආහාර අවශ්‍යතා සපුරාගැනීම, අපනයන ආදායම් වර්ධනය කරගැනීම මෙන් ම ගොවියාගේ ජීවන මට්ටම ඉහළ දැමීම ද අප හමුවේ ඇති ප්‍රබල අභියෝග ලෙස දැක්විය හැකි ය. මේ අභියෝගය වටහාගැනීම පවා ඉතා වැදගත්ය. ඒ ගැන රජයට කෘතඥතාව පළවිය යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...