මා දුටු මහානාම | දිනමිණ

මා දුටු මහානාම

 උද්‍යෝගිමත් තරුණ සමාජ සේවකයෙකු කෘතහස්ත නීතිඥයෙකු පරිණත දේශපාලනඥයෙකු ආදරණීය පියෙකු යන බහුවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මහානාම මැතිතුමන් ඉටු කළ ජනතා සේවාව කෘතවේදී ජනතාව හැමදාම සිහිපත් කරන්නේ එතුමන්ට පුණ්‍යානුමෝදනා කරමිනි.

තරුණ සමාජ සේවකයෙකු වශයෙන් ප්‍රදේශයේ තරුණ පිරිස් හා සම්බන්ධ වී කරන ලද සේවා රැසකි තරුණ පිරිස අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර යහමඟට යොමු කිරීම ඉන් ප්‍රධාන වේ. උගත් නූගත් දුප්පත් පෝසත් කුල මල ආදී භේදයකින් තොරව සියලු දෙනා සහජීවනයෙන් ඇසුරු කිරීම ඔහු තුළ වූ කැපී පෙනෙන ලක්ෂණයකි. ගමේ ශ්‍රමදානයක්ද ගිලානෝපස්ථානයක්ද මළගෙදරක්ද පන්සලේ පින්කමක් ද මහානාමයන් තම තරුණ බල ඇණය සමඟ එතැනය. 40 දශකයේ නිල්වලා ගඟ, ගම්නියම්ගම් යට කරගෙන ආ ගං වතුර ව්‍යවසනයේදී වේරගම්පිට, පිලදුව, තුඩාව, වල්පල, ආදී ගම්වල ජනතාවගේ ගේ දොර බඩුමුට්ටු පමණක් නොව ජීවිතද ගලවා ගැනීමට කරක් උසට ගංවතුරේ බැස ඔහුගේ සගයන් සමග කළ වික්‍රමය ගැන ජීවත්ව සිටින අපගේ මුතුන් මිත්තෝ අදත් සිහිපත් කරති. දුප්පත් ගෙදරක පොල්අතු ටික බැඳගැනීම ගෙයක් පැලක් තනා ගැනීමට වරිච්චි බිත්ති වලට මැටි අනාදීම ගිලානෝපස්ථානය ගමේ පන්සලේ ආගමික කටයුතු සංවිධානය කිරීම ඇතුළු ශ්‍රමදානයන්හි ‍ඔහු පෙරමුණ ග්තතේය.

1940 වර්ෂයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී අධිකරණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු ආරම්භ කළේය. එදා සේවාදායකයා තම නිතිඥ මහතා ඇමතුවේ පෙරකදෝරු හාමුදුරුවන් වශයෙනි. මෙම රටාව සමච්චලයට ලක් කළ ඔහු කියා සිටියේ කහ සිවුරු නොපැළඳ ගෙන කොණ්ඩෙ වවාගෙන ජීව්තවන කළුකෝට්කාරයන්ට හාමුදුරුවනේ යැයි ඇමතීම විහිළුවක් බවය. ඔහු‍ට පෙරකදෝරු හාමුදුරුවෝ යැයි කියන සේවාදායකයාට ඔහු ප්‍රතිචාර දැක්වූයේ 'බේබි අයියා, කරෝලිස් මාමා, මංගො අක්කා, පොඩි සිං‍ඤො මල්ලි' වශයෙනි.

නිතිඥයකු වශයෙන් ඔහු ධනපතියන්ගේ ආදායම් බදු වංචා නඩු බූදල් නඩු ඉඩම් නඩු දික්කසාද නඩු සඳහා හේ පෙනී සිටියේ නැත. හැමවිටම ඔහු ඉදිරිපත් වූයේඅසරණයාට පිහිට වීමටය. ඒ අනුවබග්ගිකරත්තකරුවන්ගේ නඩු බයිසිකල් නඩු, ගමේ ගොඩේ සුළු ආරවුල් වගේම සවසට පොල් රා ටිකක් කටගාගෙන විකාර කොට පොලිස් අත්අඩංගුවට පත්වූව‍න්ගේ නඩු වෙනුවෙන් අය කිරීමකින් තොරව ඔහු පෙනී සිටියේය. ඒ නිසා ඔහු ජනප්‍රිය නීතිඥයෙක් විය.

ඔහුගේ ජනප්‍රියත්වය මස්තකප්‍රාප්ත වූයේ තුඩාවේ හින්නිඅප්පු ඝාතන නඩුවට පොලිසියට විරුද්ධව පෙනී සිටීමෙනි. තුඩාවේ හින්නිඅප්පු නමැති අසරණයා අනවසරයෙන් පොල් ගසක් මැදීමේ වරදට පොලිස් අත්අඩංගුවට ගත් අතර රාත්‍රයේ පොලිස් පහරදීම් වලට ලක්වී මිය ගියේය. මෙම නඩුවේදී පොලිසියට විරුද්ධව හින්නිඅප්පු වෙනුවෙන් පෙනී සිටීමට මාතර නීතිඥ මණ්ඩලය ප්‍රතික්ෂේප කරද්දී තරුණ නීතිඥයකු වූ සමරවීර මහතා හින්නි අප්පුගේ අයිතිවාසිකම් සඳහා තර්ක කොට ජය ගත්තේය.

මහානාම සමරවීර නීතිඥ මහතා උසාවියට ආවේ ගියේ පවුලේ නෑ ගමන් ගියේත් බග්ගිකරත්තයෙනි. එම නිසා ඔහු බග්ගිකරත්තකරුවන්ගේ හිතවතෙක් විය. එදා බග්ගිකරත්තකරුවන්ට මෙන්ම බයිසිකල් පදින තරුණයන්ට මාතර පොලිසියෙන් හා නගර සභාවෙන් තාඩන පීඩන වලට පත්වීමට සිදු විය. සුළු වරදකට වුවත් නඩු දැමීමට දඩ අයකිරීමට කටයුතු කළේය. මෙයට විරුද්ධව කරත්තකරුවන් ගෙන ගිය කරත්තකරුවන්ගේ සටනට ජීවය දුන්නේ මහානාම සමරවීර නීතිඥ මහතාය. ඔවුන් තුළ එක්සත් ක්‍රියාදාමයක් ඇති කිරීම සඳහා 'එක්සත් බග්ගිකරත්තකරුවන්ගේ සමිතිය' පිහිටුවා එහි අනුශාසක පදවියට පත් විය.

තරුණ මහානාමයෝ අතිකොමියුනිස්ට්වාදියෙක් විය. එම පක්ෂයේ අධ්‍යාපන හා ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කළේය. ඔහුගේ දේශපාලන උපතේ තිඹිරිගෙය වූයේ කොමියුනිස්ට් පක්ෂයයි. එම පක්ෂය නියෝජනය කරමින් 1943 දී මාතර නගර සභාවේ සභිකයෙකු ලෙස සේවය කළ ඔහු 1952දී පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තුවට තරඟ කොට මාතර ආසනය දිනාගත්තේය.

කොමියුනිස්ට්වාදයත් ධනේෂ්වරවාදයත් පිළිබඳ කළකිරීමට පත්වූ ඒ මහතා මැඳුම් පිළිවෙත කරා ගමන් කළේය. එදා පැවති අධිරාජ්‍යවාදී පිළිවෙතට විරුද්ධව බටහිර සංස්කෘතිය වෙනුවට දේශීය සංස්කෘතියක් ගොඩනැඟීම ඉංග්‍රීසි වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව කිරීම ස්වභාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබාදීම ආදී මැඳුම්පිළිවෙතක් මත ගොඩනැගුණු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහු බැඳුණේ දේශයට ඇති ආදරය නිසාය. 1955 වර්ෂයේ රට පුරා සැරිසැරූ 'සිංහල භාෂා පෙරහර' මාතර ඓතිහාසික බෝධිරාජයා අබියසදී පිළිගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. මේ දේශපාලන පිල්මාරුව කළේ වාසි වරප්‍රසාද තාන්න මාන්න බලාපොරොත්තුවෙන් නොව තමාගේ හෘද සාක්ෂියට එකඟව මහජන මතයට අවනත වීමෙනි.

1956 පැවැත්වුණු තුන්වෙනි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට කලින් තිබූ ජය විජයග්‍රහණයක් කරගනිමින් කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයා තුන්වෙනි තැනට පත් කරමින් ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය. එහි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා පිහිටවූ මහජන එක්සත් පෙරමුණ රජයේ අධිකරණ උප අගමැති පදවියෙන් ද පසුව ස්වදේශ කටයුතු ඇමැති පදවියෙන්ද පිදුම් ලැබීය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ ඝාතනයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින් 1960 හා 1964 වර්ෂවල පිහිටවූ රජයන්හි පළාත් පාලන හා නිවාස ඇමති ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති යන කැබිනට් ඇමැති තනතුරු හෙබවූ මහානාම ඇමති ඒ.ඒ. අමාත්‍යාංශ තුළින් සිදු කළ සේවාව අප්‍රමාණය.

මෙහි සඳහන් වන්නේ ඔහුගේ උත්තුංග මනුෂ්‍යත්වයේ යශෝරාවය ගැනය. මහානාම සමරවීර මහතා දානය ප්‍රියවචනය අර්ථචරියාව සමානාත්මතාව යන සතරසංග්‍රහ වස්තු අනුව ජීවිතය පදම් කරගත් අයෙකි. දානය යනු නිර්ලෝභීව දීමය නැති බැරි අයට නිර්ලෝභීව සැලකීම ඔහුගේ ප්‍රතිපත්තියකි. ප්‍රිය වචනයෙන් කතා කිරීම අයුක්තිය අසාධාරණයට විරුද්ධව අඩිය පොළවේ ගසා වේගයෙන් කතා කිරීම බැන වැදී අවසානයේ සිනහවකින් සංග්‍රහ කිරීම ඔහුගේ ජන්ම පුරුද්දකි. ගමේ ගොඩේ ආර්ථිකය නැංවීම සඳහා ග්‍රාම සංවරධන සමිති ප්‍රජා මණ්ඩල ණයදෙන සමිති හස්ත කර්මාන්තකරුවන්ගේ සමිති විහාරස්ථානවල දායක සමිති ආදිය ආරම්භ කොට ජනතාව අතර සාමය සමාදානය සමඟිය එක්සත්කම සමඟ ස්වාභිවර්ධන ශක්තිය දියුණු කළේය. නෑයාටත් හිතවතාටත් පාක්ෂිකයාටත් ඔහු එකලෙස සැලකුවේය. ඒ පිළිබඳව එක් උදාහරණයක් එදා මාතර ජනතාවගේ මුවඟ රැව් පිළිරැව් දුන් ජනප්‍රවාදයක් ආශ්‍රිතව ඉදිරිප්ත කරමි.

මැතිවරණ කටයුතුවලට මහෝපකාරී වූ ප්‍රබල පක්ෂයකින් දෙදෙනෙකු එදා මාතර නගරයේ පරණ යකඩ එකතු කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටි කෝවිල් පිල්ලේ නැමති ඉන්දියානු ජාතික ධනපති ව්‍යාපාරිකයාට ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට අමාත්‍යතුමාගේ නිර්දේශය ලබාගැනීමට පැමිණි වෙලාවේදී ඔවුන් ගෙන ආ තුටු පඩුරු ප්‍රතික්ෂේප කොට ඔවුන්ට බැන වැදී එළවාගත් සිද්ධිය ඔහුගේ අවංකභාවයට හොඳම සාක්ෂියකි.

කුලභේද එදා සමාජයේ ලැව් ගින්නක් සේ පැතිර ගිය යුගයකි. කුලීන හා කුලහීන යැයි අස්වාභාවික බෙදීමක් සමාජය තුළ විය. එඒ නිසා කුලීනයන් කුලහීනයන් ලෙස සැලකූ අයට නොයෙක් තහංචි අඩම්තේට්ටම් කළහ. කුලහීන යැයි සැලකූ ගැහැනුන්ට උඩුකය වැසෙන ඇඳුමක් ඇඳීම තහනම් විය. පිරිමින්ට කමිසයක් බැනියමක් ඇඳගෙන තුවායක් කරේ දාගෙන නගරයට පැමිණීම දඩ මුදල් ගෙවිය යුතු වරදකි. මෙම අසාධාරණ තත්ත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා මහානාම මහතා ඇතුළු ඔහුගේ මිතුරු සංගමය කළ සටනින් ජය අත් විය. එසේම කුලහීන දරුවන්ට තිබූ අධ්‍යාපන තහංචිය ඉවත් කිරීමට ඔහුට හැකි විය. ඒ අනුව කුලීන හා කුලහීන දෙපිරිසටම එකම වහලක් යට එකම බංකුවක වාඩි වී සමාන අධ්‍යාපනයක් ලබාගැනීමේ වරප්‍රසාදය හිමි විය. අන්තර් කුල විවාහ ක්‍රමයට අනුබල දුන්නේය. ‍

මහානාම සමරවීර මහතා තැනේ හැටියට ඇණේ ගැසීමට සමතෙකි. නගරයේදී මධ්‍යම පාන්තික නාගරිකයෙකු ලෙසත් ගමට ගිය විට නියම ගමරාළ කෙනෙකු ලෙසත් හැසිරීමටත් ඔහුට මනා පරිචයක් විය. ඈත පිටිසර ගමට ගොස් පයින්ම ගමන් කර අවශ්‍යතා නිරීක්ෂණය කොට විඩා හැරීමට ගැමි ගෙදරකට ගොඩවැදී පිලේ තිබෙන ඇඳ මත වාඩි වී සතුටු සාමීචියේ යෙදුණු සැටි ගැමියාට කළ ගෞරවයකි. ගම හාමිනේ කුස්සියට වී පිළියෙළ කරගෙන ආ කුරක්කන් රොටිය තලප ගුලිය හැලප ගෙඩිය ඔහු භුක්ති විඳින්නේ දිව්‍ය භෝජනයක් ලැබුණා සේය. හකුරු කෑල්ලක් සහිතව කහට කෝප්පයකින් උගුර තෙමාගත් ඔහු නැවත වරක් ගමේ ඇවිද මාතර එන්නේ රෑ බෝවීය.

ඇමැතිතුමා හමුවීමට එන ගමේ උදවිය ගමේ පුරුද්දට කිරි මුට්ටියක් පැණි මුලක් කෙසෙල් කැනක් එළවළු මල්ලක් කුරක්කන් පිටි ටිකක් ගෙනඒම සිරිතක් විය. ඇමතිතුමා ඡන්ද දායකයා හමුවන්නට පෙර ගෙන ආ තෑගි භෝග ප්‍රතික්ෂේප කර ආපසු යන විට ගෙදර ගෙන යන්නැයි නියෝග කළේ තරහින් ද්වේශයෙන් නොවේ. නිස්සරණ ප්‍රතිපදාවේ පිහිටාය.

මහානාමයින් අයුක්තියට අසාධාරණයට විරුද්ධ වූහ. වාසියට වරප්‍රසාදයට දණ ගැසුවේ නැත. 1955දී කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේ තම හෘද සාක්ෂියට එකඟවය. එසේම සියලු ඇමති වරප්‍රසාද අතහැර 1965 සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජය පරාජය කළේ 'පත්‍ර පනත' වැනි ප්‍රතිගාමී අණ පනත් වලට විරුද්ධ වූ හෙයිනි.

විශ්‍රාමලත් විදුහල්පති 
පියසේන අන්ද්‍රාහැන්නදි
මාතර විශ්‍රාමික එකමුතුවේ කැඳවුම්කරු


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...