වැඩිහිටියන් පැත්තකට දැමීමේ සමාජ ඛේදවාචකය | දිනමිණ

වැඩිහිටියන් පැත්තකට දැමීමේ සමාජ ඛේදවාචකය

 සංවර්ධනය වූ සමාජයක් මැනීමට ආර්ථික මිම්ම පමණක් ප්‍රමාණවත් නොවේ. “සංවර්ධිත” යන්න මැනීම සඳහා වර්තමානයේ පාරිසරික සාධකද, සමාජීය වශයෙන් ඉස්මතු වන සූක්ෂ්ම කාරණාද සැලකිල්ලට ගැනේ. ඒ අතර, සදාචාරවත් බව, මානුෂික ගුණධර්මවලට ප්‍රමුඛතාව හිමි වේ. කොතරම් ආර්ථික සංවර්ධනයක් ලැබුවද ගුණ යහපත්කම් පිරිහුණු, කළගුණ නොදත් සමාජයක් පරිපූර්ණ ලෙස සංවර්ධිත රටක් සේ පිළිනොගැනේ. මෙවන් සමාජ රටාවක් තුළ කිසියම් සමාජයක දියුණුවට සිය ශ්‍රමය, දැනුම පමණක් නොව මුළුමහත් ජීවිතයද කැපකර වර්තමානයේ වියපත්ව සිටින “දෙටු පුරවැසි පරපුර” සංවර්ධනය මැනීමෙහි ලා අතිශය වැදගත් මිණුම් දණ්ඩක් සේ වර්තමානයේ දී සලකනු ලබයි.

පරපුරක් තැනූ පරපුරක්

අද අප භුක්ති විඳින වර්තමානය, වැඩිහිටියන්ගේ අතීත උත්සාහයක ප්‍රතිඵලයක් බව අමතක නොකළ යුතුය. සැබැවින්ම ඔවුන් අපේ ලෝකය ගොඩනැඟුවෝය. වැඩිහිටි පරපුරේ එකල දැක්ම, දැනුම, ශ්‍රමය නිර්මාණශීලීත්වය පමණක් නොව මුළු මහත් ජීවිතයද කැපකර ඔවුන් අනාගතය වෙනුවෙන් ඉදි කළ ලෝකය අප වර්තමානය ලෙස භුක්ති විඳිමු. උගත් නූගත්, රැකියා කළ නොකළ, දරුවන් හැදූ නොහැදූ අද දවසේ වැඩිහිටියන් වන ඔවුන් සියල්ලෝ අපගේ වර්තමානය උදෙසා අතීතයේ යෝධ කැපකිරීම් කර ඇත. වත්මන් පරපුර වන අප මත දෙආකාරයක වගකීම් පැවරේ. වත්මන් පරපුර වන අපද අනාගත පරපුර උදෙසා අපගේ දැනුම, ශ්‍රමය වපුරා නව ලොවක් ඉදිකිරීම ඉන් පළමු වැන්නයි. දෙවැන්න; අප භුක්ති විදින වත්මන් ලෝකය සිය අතීත කැපකිරීම් මත ඉදිකළ පරපුරක් තැනූ පරපුරක් වන දෙටු පුරවැසි පරපුර උදෙසා අපේ යුතුකම් ඉටු කිරීමයි.

“වැඩිහිටියෝ”

වැඩිහිටියා “හිටියා වැඩි” ලෙස අර්ථ දක්වන අයද බොහෝ සිටිති. ඔවුන්ට අනුව නම් වැඩිහිටියා යනු සමාජයට අනවශ්‍ය බරක් ගෙන දෙන පිරිසකි. එහෙත් දෙටු පුරවැසියන් යනු ඕනෑම සමාජයකට ආරක්ෂාව, රැකවරණය සපයන ජීවිත පරිඥානයෙන් හෙබි ශක්තිමත් පහුරකි. එවන් සමාජ රැකවරණයක් සැලසීමට තරම් වැඩිහිටියන් ශක්තිමත් වන්නේ, ඔවුන් සුවි‍ශේෂ ගුණයන්ගෙන් සමන්විත පිරිසක්වන බැවිනි.

වයස 60 ඉක්මවූ පමණින් දෙටු පුරවැසියෝ නොවන ඔවුන් ගුණවෘද්ධ, ඥානවෘද්ධ, සීලවෘද්ධ , තපෝවෘද්ධ, වයෝවෘද්ධ ගුණ‍යන්ගෙන් පිරිපුන් පිරිසක් වෙති.

සමාජයෙන්, වෘත්තියෙන්, ජීවිතයෙන් ආදී වූ විවිධ අංශයන්ගෙන් ලබාගත් අත්දැකීම් සමුදායක් වැඩිහිටියන් සතුය. ඔවුන් සතු මේ නුවණ ප්‍රත්‍යක්ෂ ඥානයක් බඳුය. ඔවුන් මේ අත්දැකීම් ලබා ඇත්තේ , අනන්ත වූ දුක් ගැහැට විඳ, ගැටලු සහගත අවස්ථාවන්ට මුහුණ දී ඒවා සාර්ථක ලෙස ජය ගැනීමෙනි. පැරැණි සමාජය තුළ වැඩිහිටියන් සතු මේ දැනුම හැඳින්වූයේ “පැසුණ නුවණ” ලෙසිනි. ආගම දහම තුළින්ද වැඩිහිටියන් සතු මේ වැදගත්කම ඇගයීමට ලක් කොට ඇත.

කොසොල් රජු දුටු සිහින 10 අතරින් “කරත්තයේ දෙපසට බැඳි ගොනුන් දෙදෙනා” යන සිහිනය පහදමින් කළ බුද්ධ දේශනාව වූයේ යම් කලක අත්දැකීමෙන් පිරිපුන් පැසුණු නුවණ ඇති වැඩිහිටියන් ඉවත දමමින් තාරුණ්‍ය විසින් පමණක් තීරණ ගන්නා වූ සමාජයක සිදු වන පරිහානිය පිළිබඳයි. එසේම බුදුන් වහන්සේ මවුපියන්ට සැලකීම “මංගල කරුණක්” සේ වදාරා ඇත. සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළදීද මවුපියන්ට සැලකීමේ අගය අවධාරණය කොට ඇත. “සිල්වත්,ගුණවත් වැඩිහිටියන්ට සැලකීම” ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා වැඩීමට හේතු වන බව පහදා ඇත. ඔවුන්ට නොසැලකීම වසලයෙකු වීමට හේතුවක් බව වසල සූත්‍ර දේශනාවේදී අවධාරණය කරයි.

මරිය මවුතුමිය දේවත්වයෙන් ඇදහීම කතෝලික සංස්කෘතිය තුළ ද, මාතං දෙවඟන පිදීමේ සංකල්පය හින්දු සංස්කෘතිය තුළද, වැඩිහිටි මවුපියන් රැකබලා ගැනීම අනිවාර්ය ආගමික නීතියක් බවට පත් කිරීම තුළින් ඉස්ලාම් ආගමෙන්ද වැඩිහිටි සත්කාරයට අනුබල ලබාදී ඇත. මේ අනුව වැඩිහිටියන්ට සැලකීම හා රැක බලා ගැනීම සෑම ආගමකම අවධානය යොමු කළ සුවිශේෂ කාරණාවක් සේ හැඳින්විය හැකිය.

ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතික පදනම සකස් වී ඇත්තේ වැඩිහිටි ගෞරවය, සත්කාරය ප්‍රමුඛ කොටගෙන බව විමසීමේදී පැහැදිලි වේ. වසර දෙදහස් පන්සීයක සදාචාරාත්මක හික්මීමක් ඇති මෙම සමාජයේ වැදගත් යැයි සැලකෙන සෑම අවස්ථාවකදීම වැඩිහිටියන් සැම විටම නිරායාස පිළිගැනීමකට ලක් විය. මවුපිය වැඩිහිටි පාද නැමද වැදගත් කටයුතු සඳහා පිටත්වීම, මංගල චාරිත්‍රවලදී එම කටයුතුවල මූලිකත්වය ගැනීම මෙන්ම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලෙහිම මුල්තැන් ලැබුවේ වැඩිහිටියන් ය. එහෙත්, අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

වැඩිහිටියා පවුලෙන් කොන් වීමේ සමාජ අවාසිය.

පැරැණි ලාංකීය සමාජය විස්තෘත පවුල ශ්‍රමය මත පදනම් වූවකි. මේ තුළ පවුලේ සහජීවනය, සබඳතාවය, රැකවරණය දරුවාටත් වැඩිහිටියාටත් හිතකර පරිදි සිදු විය. ආච්චි - සීයාගේ ඇසුර තුළ සදාචාරාත්මක වූ මානසික පෝෂණයක් දරුවන්ට හිමි වූහ. ඔවුන් ලැජ්ජා භය හඳුනා ගත්තේ ආච්චී - සීයාගෙනි. මුණුපුරු මිණිපිරියන්ගේ ජීවිත පණ පෙවුණේ ,චින්තාවෙහි පෝෂණය ලැබුනේ වැඩිහිටියන්ගෙන් වූ අතර, ඔවුන් කෙරේ බැඳුණ ආදරය වියපත් වූ කල නිරායාසයෙන් රැක බලා ගැනීමට හේතු විය.

අද වන විට “ඔයයි මමයි, දුවයි,පුතයි, පුංචි පවුල රත්තරන්” සංකල්පය යටතේ සැදුණු පුංචි පවුල නැත්නම් න්‍යෂ්ටික පවුල තුළ මෙම සහයෝගී පදනම දෙදරා ගොසිනි. එබැවින් දරුවන්, වැඩිහිටියන් දෙපාර්ශ්වයම මේ තුළ හුදෙකලාභාවයට පත්ව ඇත. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දිවා කල ගෙවන දරුවන් වැඩිහිටි නිවාසගත ආච්චි - සීයාගේ ඇසුර නොලබයි. ජීවිතය තුළ කාර්යබහුල වූ මවුපියන්ද දරුවන්ගේ චිත්ත‍වේගී පෝෂණයට ආදර්ශ සැපයීමේ විවේකී මානසිකත්වයක නොවේ. මේ නම් වර්තමානයේ අප අත් විඳින අභාග්‍යයයි.

වත්මන් වැඩිහිටියන්ද පැරැන්නන් සතු වූ ගුණයහපත්කම්, වටිනාකම් වියපත්භාවය ජීවිතයට ඈඳාගෙන නොමැත. මේ හේතුවෙන් වියපත් වීමත් සමඟම සමාජයීය කාර්යභාරයෙන් ඉවත් වන වැඩිහිටියා පසු පරපුරේ ගෞරවයෙන් හා රැකවරණයෙන්ද ඉවතට ගොස් ඇත. වියපත්භාවය යනු සමාජයීය පිළිගැනීම අවම වීමට හේතුවක් නොවේ. “මුවන්පැලැස්ස” නාට්‍යයේදී මේ බව මනාව තහවුරු වේ. එම නාට්‍ය මාලාව තුළ සිටින වයස්ගතම පුද්ගල චරිතය “ගුරුන්නාන්සේ මාමා’ ය. එහෙත් එම සමාජයට වඩා වැඩදායකම පුද්ගලයා වන්නේ ද මේ වයස්ගත පුද්ගලයාය. ඒ වෙනකක් නිසා නොව, ඔහු විසින් ගොඩනඟාගෙන ඇති වටිනාකම් සමුදාය හේතුවෙනි. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය දනී. වස් කවි - සෙත් කවි දනී. සිරිති විරිත් හොඳින් හඳුනයි. මළ ගෙදරට, මගුලට නැතිවම බැරි අයෙකි. පාලන තන්ත්‍රය මෙහෙයවන ආරච්චිලද ගුරුන්නාන්සේගේ අවවාද ලබා ගනී. මේ අනුව පැහැදිලි වන්නේ සමාජයෙන් “අවලංගු කාසියක්” බවට පත් වන්නේ වයෝවෘද්ධභාවය නිසාම නොව; ඊට සමගාමීව වියපත් පුද්ගලයන් සිය ජීවිත තුළ වටිනාකම් ගොඩනඟා නොගන්නා නිසා බවය. මෙසේ හෙයින් සිය ගෞරවනීය පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා වැඩිහිටියාටද වගකීමක් පැවරෙන බව පැහැදිලි වේ. සමාජයක බුහුමනට ලක් වන්නේ එම සමාජයට වැඩදායී පුද්ගලයාය. පවුල තුළ වුවද එය එසේමය. එබැවින් වැඩිහිටියා පවුලකට අත්‍යාවශ්‍ය වැඩදායක පුද්ගලයෙකු විය යුතුව ඇත. පැරැණි සමාජයේ වැඩිහිටියන් මෙම ආරෝපිත වටිනාකම් වියපත්භාවය සමඟ ගොඩනඟා ගත්හ. ගමේ වෙද මහත්තයා කට්ටඬිරාල, ගුරුවරයා, පන්සලේ ලොකු හාමුදුරුවෝ යනු නැතිවම බැරි පුද්ගල චරිත වූහ. ඔවුහු සමාජයේ පෙරගමන්කරුවන් මිස පසුගාමීන් නොවූහ.

වැඩිහිටියා සමාජයට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු යන්නත්, ඔවුන් සතු ප්‍රත්‍යක්ෂ ඥානය සමාජයේ ඉදිරි පැවැත්ම උදෙසා යොදාගත යුතුය යන්නත්, යළිත් සමාජය තුළ ආකල්පමය ලෙස ඇති විය යුතුය. මෙය වැඩිහිටි පරපුරටත්, පසු පරපුරටත් වඩා වැඩදායක ප්‍රවණතාවයකි. මෙම යහපත් සමාජ මතවාදය සමාජගත කිරීමට ජනමාධ්‍ය, කලාව, සාහිත්‍ය පහසු මෙවලමක් සේ යොදාගත යුතු කාලය එළඹ ඇත.

පී.ඉඳුනිල් කෞශාල්
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
කතරගම රජයේ වැඩිහිටි නිවාසය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...