අඳුර විනි­විද ආලෝ­ක­යක් වන්නට HNB ප්‍රඥා ගිණු­මට එක්වන්න | දිනමිණ

අඳුර විනි­විද ආලෝ­ක­යක් වන්නට HNB ප්‍රඥා ගිණු­මට එක්වන්න

 මදාරා මුදලිගේ 

දරුවන් සම්පතකි. එසේ දැනෙන්නේ දෙමාපියන්ටයි. දෙමාපියන් අහිමි දරුවන් සම්පතක් ලෙස රැකගන්නේ කවුරැන්ද ?එහි වගකීම ඇත්තේ රජ‍යටයි. නමුත් රජටය පමණක් එය තනිව කළ නොහැක්කකි.ඒ සඳහා ආධාර උපකාර අත්‍යවශ්‍යවෙයි. පෞද්ගලික අංශය ඒ සඳහා ආධාර කළ යුත්තේ දරුවන් රටේම සම්පතක් වන නිසාවෙනි.

හැටන් නැෂනල් බැංකුව (HNB) සහ SOS ළමා ගම්මානයන්හි දු දරුවන් සමඟ ඒකාබද්ධ වෙමින් ප්‍රඥා ගිණුම පසුගිය දා හදුන්වා දුන්හ .ශ්‍රී ලංකාව පුරා SOS ළමා ගම්මානයන්හි වෙසෙන ළමයින් 4500 කට අධික පිරිසකගේ අධ්‍යාපන සහ අනෙකුත් අවශ්‍යතා සවිබල ගැන්වීමට අරමුදල් මෙන්ම අනෙකුත් සහයෝගයන් ලබා දීමට මෙම ගිණුමෙන් කටයුතු කෙරේ. රුපියල් 100,000 මුලික පරිත්‍යාගයෙන් ඇරඕ මෙම ගිණුම වෙත ඕනෑම HNB ශාඛාවකින් හෝ HNB ATM යන්ත්‍ර මඟින් ප්‍රවේශ වීමට හැකියාව තිබේ. මෙම ගිණුමෙහි අරමුදල් මඟින් SOS ළමා ගම්මානයන්හි වාසය කරන උපකාර අවැසි ළමුන්ගේ අධ්‍යාපනය සවිබල ගැන්වෙයි. එම බොහෝ දරුවන් දෙමාපියන් අහිමිව සිටින අතර ඔවුන් වෙත අවශ්‍ය පාසල් අධ්‍යාපනය ලබා දෙමින් අනාගතයට සාර්ථකව මුහුණ දීමට සුදානම් කරවීම ජාතික වැදගත්කමක් ගන්නා කරුණකි.

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ සහ විදේශ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන SOS ළමා ගම්මානයන්හි හැදී වැඩුණු ළමුන් සංඛාව 21 කට අධික ය. 2018 වර්ෂය වන විට ප්‍රඥා ගිණුමෙහි රුපියල් මිලියන 120 ක මුදලක් රැස්කිරිම HNB අපේක්ෂාව වන අතර මෙම ළමුන්ගේ පාසැල් අධ්‍යාපනය සහ පුද්ගලික පංති අධ්‍යාපන කටයුතු සඳහා එම මුදල් යොදවනු ලබන අතර ඔවුන්ගේ අධ්‍යාපනයට සහ ඉදිරි අනාගතයට ප්‍රමාණවත් අත්වැලක් සැපයීම එමඟින් සහතික කෙරේ.

හැටන් නැෂනල් බැංකුව (HNB) සහ SOS ළමා ගම්මානයන්හි දු දරුවන් සමඟ ඒකාබද්ධ වෙමින් ප්‍රඥා ගිණුම හදුන්වා දීමේ අවස්ථාවට පිළියන්දල SOS ළමා ගම්මානයෙහි ජීවත්වන දරු දැරියන් මෙන් ම මව්වරුන් ද සහභාගී වී සිටියේ ය. තව ද මීට අවුරුදු කිහිපයකට ඉහතදී ලංකාවේ පිහිටා තිබෙන SOS ළමා ගම්මානයන්හි හැදී වැඩී වර්තමානයේ දී සමාජයේ වගකීම් සහගත රැකියාවල නිරතවන එමෙන් ම උසස් අධ්‍යාපනය හදාරමින් කවදා හෝ දිනක සමාජයේ වගකිව යුතු රැකියාවල නිරත වීමට බලාපොරොත්තු වන දරුවන්(SOS ළමා ගම්මානයන්හි ආදී ශිෂ්‍යයින් ) පැමිණ සිටියේ ය.

ගාල්ල SOS ළමා ගම්මානය තුළ දී හැදී වැඩී ජීවිතයේ නිවැරදි මාර්ගය සාදා ගත් තිස් දෙහැවිරිදි අන්තෝනි සනත් ඉන්දික අප සමඟ මෙසේ තම දිවිය මෙම ළමා ගම්මානය මඟින් වෙනස් කර ගත් අන්දම ප්‍රකාශ ක‍ළේ ය.

මගේ ගම ගාල්ල අලුත්වල, මගේ අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මගේ නැද්දා තමයි මාව ගාල්ලේ sos ළමා ගම්මානයට එක්කගෙන ආවේ. මාව ළමා ගම්මානයට එක්කගෙන ආවේ 1992 වසරේ දීයි. එතකොට මට වයස අවුරුදු 7 ක් විතර ඇති. ගාල්ලේ ළමා ගම්මානේ ඒ කාලේ අධ්‍යක්ෂක වශයෙන් හිටියේ ශාන්ත අන්කල්. මගේ නැද්දා මාව ඔහුට භාර දුන්නට පස්සේ මාව ගාල්ලේ sos ළමා ගම්මානයේ 4 වැනි නිවස වන “සමඟි නිවස “ඇතුළත් කළා. මාව භාර දුන්න නිවස භාරව හිටියේ චන්ද්‍රා ජයරත්න අම්මටයි. මට එදා හොඳ අම්ම කෙනෙක් වගේ ම හොඳ සහෝදර සහෝදරියන් පිරිසකුත් හිමි වුණා.

ඊට පස්සේ ශාන්ත අන්කලුයි චන්ද්‍රා ජයරත්න වන මගේ අම්මයි මාව එක්ක ගෙන හිහින් ගාල්ලේ තලෙයිබාන පියතිස්ස මහා විද්‍යාලයට ඇතුළු කළා. මම ඒ පාසලෙන් තමයි දෙක වසරේ ඉඳන් එකොළහ වසර වෙනකම්ම ඉගෙන ගත්තේ. 2001 අවුරුද්දේ දී අපේ පාසලට ඉස්සෙල්ලම පරිගණක විද්‍යාගාරයක් හිමි වුණා. ඒකෙන් මට මගේ දැනුම වැඩි කර ගන්න හොඳ අවස්ථාවක් හම්බ වුනා. මම සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළ ලියන්න ඕන නිසා ගාල්ලේ ඕල්සෙන්ස් විද්‍යාලයට ගියා.

school of business management ආයතනයෙන් පරිගණක විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න මට අවුරුදු 1 ක නොමිලේ ශිෂ්‍යත්වයක් හම්බ වුණා.මම උසස්පෙළ විභාගය ලිව්වට පස්සේ එම ආයතනයේ ම රැකියා අවස්ථාවන් හිමි වුණා. ඒ වුනත් මට අවශ්‍ය වු‍ණේ යුද හමුදාවේ පරිගණක අංශයේ රැකියාවක නියැළීමටයි. මගේ තියෙන සුදුසුකම් අනුව මම අද පනාගොඩ යුද හමුදා කඳවුරේ තොරතුරු තාක්ෂණික අංශයේ රැකියාවක් කරනවා.

මම නම් කියන්නේ හැටන් නැෂනල් බැංකුව (HNB) සහ SOS ළමා ගම්මානයන්හි දු දරුවන් සමඟ ඒකාබද්ධ වෙමින් ප්‍රඥා ගිණුම අපි වගේ අධ්‍යාපනය ලබලා හොඳ රැකියාවක් කරන්න කැමති දරුවන්ට හොඳ අවස්ථාවක් කියලයි. මෙම ගම්මානවල ඉන්නවා හොඳට ඉගෙන ගන්න පුළුවන් අය. එවැනි දරුවන්ට මේක ලොකු ප්‍රයෝජනයක් වෙයි.

අංජලිකා දමිළ යුවතියකි. ඇය වර්තමානය වන විට දී යාපනය විශ්ව විද්‍යාලයෙහි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරමින් සිටින්නේ ය.

“මම අවුරුදු දෙක හමාරේ දී තමයි නුවරඑළිය SOS ළමා ගම්මානයට ආවේ. මගේ දෙමාව්පියන් කිසිම කෙනෙක් නැති නිසා මාව ළමා ගම්මානයට අරන් ආවේ දිවාස අන්කල්. මම සාමාන්‍ය පවුලක හිටියනම් මට සහෝදර සහෝදරියන් මේ තරම් ප්‍රමාණයක් හිමි වෙන්නේ නැහැ. දැන් මට අක්කලා අයියලා 40 දෙනෙක් විතර ඉන්නවා. ඒ වාගේම හොඳ අම්මා කෙනෙකුත් හම්බ වුණා. මම පුළුවන් වේලාවට මගේ අක්කලාගේ ගෙවල්වලයි. මගේ අම්මාවයි බලන්න යනවා. දැන් මට අවුරුදු 23ක් වෙනවා.මම උසස් පෙළ කළේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ. මම හිතනවා මම ළමා ගම්මානයට ආවේ නැත්නම් මේ තරම් දුරට ඉගෙන ගන්න ලැබෙන එකක් නෑ කියලා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි සායනික මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරා රටට සේවයක් කරන එක. ඒ වාගේ ම මනෝවිද්‍යා උපදේශකවරියක් ලෙස මානසිකව වැටිලා ඉන්න දරුවන්ට සේවය කිරීම.

අලුතින් හදුනවලා දුන්න ප්‍රඥා ගිණුම මේ SOS ළමා ගම්මානයේ ඉන්න අධ්‍යාපනය වැඩිදුර හදාරන්න ඉන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. ඒ ගොල්ලන්ට හොඳින් ඉගෙන ගෙන සමාජයට සේවයක් කරන්න පුළුවන්. යනුවෙන් පැවසු විසිතුන් හැවිරිදි අංජලිකා සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම හොඳින් හසුරුවන්නට දන්නා දක්ෂ තරුණියකි.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පිහිටා ඇති මෙම ළමා ගම්මානවල දරුදැරියන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් සමාජයට යහපක් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව (HNB) සහ SOS ළමා ගම්මානය එක්ව නිර්මාණය කළ ප්‍රඥා ගිණුම හදුන්වා දීම අමිල සේවයකි.එම නිසා කුඩා කාලයේ දීම මව්පිය හව්හරණ අහිමිව වෙනත් මැණියන් කෙනෙකුගේ ආදරය, රැකවරණය මැද ජීවිතය ගෙවමින් කෙසේ හෝ සමාජයට බරක් නොවී ජීවත්වන්නට අදිටන් කරන මෙම SOS ළමා ගම්මානවල දරු දැරියන්ගේ ජීවිතවල හෙට දවස ආලෝකමත් වන බව නම් නොවුණුමාන ය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...