යහපාලනයේ නීතිය මෙන්න! | දිනමිණ

යහපාලනයේ නීතිය මෙන්න!

 ජනවාරි 8 වෙනිදා නිහඬ විප්ලවයක් සිදු කරද්දි මේ රටේ මහජනතාව ඉල්ලා සිටියේ ඉර හද තාරකා නොව, ශිෂ්ට සම්පන්න නීති ගරුක රටකි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දස වසරක පාලන සමය මෙරට ඉතිහාසයේ නීතියේ ආධිපත්‍ය සහ ශිෂ්ටත්වය අමු අමුවේ කෙලසා දැමුණු සමයක් ලෙස හැදින්විම අතිශයෝක්තියක් නොවේ.

නීතියේ දෙවගන අමු අමුවේ දූෂ­්‍ය කළ ඒ සමයේ නීතියේ ස්වාධීනත්වය වෙනුවට ඇතැමුන්ට විශේෂ නීති ප්‍රතිපාදන නොඅඩුව හිමි විණි.

ජනපති වූ පසු මහින්ද වැඩ ඇල්ලුවේම නීතියට ඔච්චම් කරමිනි. සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මෙරටට පරිත්‍යාග ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 830ක මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවස්ථාවේ සිය ජනාධිපති බලතල උපයෝගි කරගනිමින් ඒ පිළිබද මතු වූ චෝදනාව යටපත් කිරීමට කිසිදු හිරිකිතයකින් තොරව ඔහු කටයුතු කළේය.

ගුරා හිටගෙන කරන විට ගෝලයන් දුවමින් කරනවා යැයි ප්‍රකට සිංහල ජනවහරක් තිබේ. ආරම්භයේදීම රටේ නායකයා දුන් වැරදි ආදර්ශය ඔහුගේ ගෝලබාලයෝ පූර්වාදර්ශයක් බවට පත්කර ගත්හ.

හිටපු ජනපතිගේ දස වසරක පාලන සමය එබදු අපකීර්තිමත් සිදුවීම්වලින් පිරී පවතී. තම දේශපාලන බලය ප්‍රදර්ශනය කරමින් රාජ්‍ය සේවකයන් ගස් බැඳ, ගුරුවරුන් දණ ගැස්වූ දේශපාලකයන් කිසි කෙනෙකු හට ඒ සමයේ දඬුවම් හිමි වූයේ නැත. අවම තරමින් පොලිස් ස්ථානයක පැමිණිල්ලක්වත් සටහන් කර නොගන්නා තරමට ඔවුහු තම දේශපාලන බලපුළුවන්කාරකම නීතියේ ආධිපත්‍යයට ඉහළින් ක්‍රියාත්මක කළහ. ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදී අපේක්ෂකයාට සහය දැක්වීමේ වරදට හමුදා සාමාජිකයන් මහපාරේ දණ ගැස්වූයේ රාජපක්ෂ සමයේය. ඒ කිසිවක් සිදු වූයේ නීතියට අනුකූලව නොවේ.

එවැනි පසුබිමක් තුළ මේ වනවිට තත්ත්වය ඉතා ධනාත්මක ලෙස වෙනස් වී තිබේ. නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කළ, ඒ පිළිබද ප්‍රාර්ථනා දල්වාගෙන සිටි ජනතාවගේ බලාපොරොත්තු මේ වනවිට ඉටුවෙමින් තිබේ.

2015 ජනවාරි 8 වන දින සිදුවූ යහපාලන වෙනසින් අනතුරුව මැති ඇමතිවරුන් ගණනාවකගේ තනතුරු වෙනස් වී තිබේ. සමහර අමාත්‍යවරුන්ට ස්වකීය තනතුරු අතහැර ගෙදර යෑමට සිදු විය. ඒ තීන්දු ගැනීමේදී පක්ෂය තුළ ඔවුන් දැරූ තනතුරු හෝ පෞද්ගලික හිතවත්කම් සැලකිල්ලට බදුන් නොවීය. දූෂණ චෝදනා එල්ල වූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් ගණනාවකටම යහ පාලනය තුළ සමාව හිමි නොවීය.

දූෂිතයන් රැකීම රාජපක්ෂ ක්‍රමය වූවද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරති. බැදුම්කර කොමිසම මේ වන විට සිදු කරමින් සිටින පරීක්ෂණවලට සහය දීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රබලතම අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරු ඊයෙ දිනයේදි කටයුතු කළහ. තම දේශපාලන බලය යොදාගනිමින් කොමිසමට බලපෑම් කිරීම වෙනුවට සත්‍යය සොයාගැනීම වෙනුවෙන් ඊට සහය ලබාදීමට ඔවුන් ඉදිරිපත් වීම සැබැවින්ම ප්‍රශංසනීයය. වඩාත් යහපත් වුත් නීතිගරුක වුත් දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ තහවුරු කිරීම වෙනුවෙන් වූ ගමනේදී එය වැදගත් ඉදිරි පියවරකි. ඔවුන් එම කොමිසම හමුවේ නිර්භීතව පෙනී සිටියේ මේ සම්බන්ධව තමන්ට සැගවීමට කිසිදු දෙයක් නොමැති නිසාවෙනි. ඉදිරිය බලා යෑමේදී මේ වගවීම රටකට ඉතා වැදගත්ය.

මේ වන විට එදා ජනතාව අපේක්ෂා කළ පරිණත ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන දුරට හිමිව තිබේ. රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් ආණ්ඩුවේ දේශපාලකයන්ව විවේචනය කරන ලිපිවලින් සමාජ මාධ්‍ය ජාල, පත්තර පිටු අද පිරී පවතී. රූපවාහිනී වැඩසටහන් වලදීත් එය නොඅඩුව දැක ගත හැකිය. මෙය පැහැදිලි වෙනසක් වන්නේ මීට වසර කිහිපයකට පෙර රාජපක්ෂවරුන් හෝ ඒ සමයේ සිදුවූ වංචා දූෂණ විවේචනය කළ මාධ්‍යවේදීන්ට අතපය අහිමි වීම, ස්වයං පිටුවහල හෝ මරණය යන විකල්ප අතරින් එකක් තෝරාගැනීමට සිදුව තිබුණ බැවිනි.

අද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ ඇමතිවරුන් විවේචනය කළාය කියා මාධ්‍යවේදීන් පසුපස සුදුවෑන් හඹා එන්නේ නැත. විවේචකයන්ට පවා බියෙන් සැකෙන් තොරව සුවසේ නිදා ගත හැකිය.

රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යමෙකුට ගැටලුවක් ඇත්නම් අධිකරණය හමුවට ගොස් තම මතය ඉදිරිපත් කළ හැකිය. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සම්බන්ධව කනගාටු වී ජාතියෙන් සමාව ඉල්ලූ පුද්ගලයෝ පවා අද වත්මන් රජයට එරෙහිව අධිකරණය හමුවට යමින් සිටිති. එදා නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කළේ හිටපු ජනාධිපතිවරයා වූවද මේ වන විට නිර්භයව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිදහස හිමිව තිබේ.

නීතියේ ස්වාධීනත්වය සුරැකීම යහපාලනයේ මූලිකාංගයක් මෙන්ම රටක ශිෂ්ටත්වය මැනිමේ දර්ශකයක් ලෙසද සැලකෙයි. පසුගිය මාස 33ක ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී ජනවාරි 8 වෙනිදා නිහඬ විප්ලවයට දායක වූ ජනතාවට ඒ පිළිබද ව සතුටු වීමට හා අනාගතය පිළිබද වඩාත් යහපත් බලාපොරොත්තු තබාගැනීමට ද හැකියාව ලැබී තිබේ. 

නව අදහස දක්වන්න