ආසියා සත් සාමාජික රගර් | දිනමිණ

ආසියා සත් සාමාජික රගර්

ෆවුස් මොහොමඩ්

කොළඹ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් 4ක්

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ අවසන් අදියර ලෙස මේ මස 14 සහ 15 දෙදින කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන කොළඹ තරගාවලියට නම් කළ ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට කිංග්ස්වුඩ් විදුහල් පිලේ හිටපු නායක රීසා රෆායිඩීන් සමග ඉසිපතන විදුහලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයකු වන රෙහාන් සිල්වා ඇතුළත් කිරීමට ජාතික රග්බි තේරීම් කමිටුව ඊයේ පියවර ගත්තේය. මීට අමතරව ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු තරගාවලි 2ට ක්‍රීඩා නොකළ මහනුවර ක්‍රීඩා සමාජයේ රිච්ඩ් ධර්මපාල සහ දකුණු කොරියානු තරගාවලියෙන් ඉවත්ව සිටි කවිඳු පෙරේරා ද යළි කණ්ඩායමට එක්වී සිටිති.

වෙනස්කම් 4ක් සිදුකරමින් කොළඹ තරගාවලියට ජාතික රග්බි තේරිම් කමිටුව තෝරාගත් ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත අවසන් කණ්ඩායමට එම ක්‍රීඩකයන් එක්වූයේ නවීන් හීනකංකානම්ගේ, චානක චන්දිමාල්, කෙවින් ඩික්සන් සහ හිරන්ත පෙරේරා වෙනුවටය. ආසියානු තරගමාලාවේ පළමු අදියර 2දීම විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ හීනකංකානම්ගේ සංචිතයෙන් ඉවත්වූයේ ආබාධයක් හේතුවෙනි'

සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී ‘බී‘ කාණ්ඩයෙන් තරග වදින අතර දකුණු කොරියාව, චීනය සහ චීන තායිපේ කණ්ඩායම් ද එම කාණ්ඩයට ඇතුළත්ය. ජපානය, හොංකොං, මැලේසියාව සහ පිලිපීනය ‘ඒ‘කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත.

14 වැනිදා පැවැත්වෙන මූලික වටයේ තරගවලදී එදින පෙරවරු 11.14ට දකුණු කොරියාව සමග තරග වදින ශ්‍රි ලංකා පිල අනතුරුව පස්වරු 2.32ට චීනය සමගත්. පස්වරු 5.28ට චීන තායිපේ පිල සමගත් තරග වැදීමට නියමිතය.

කොළඹ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ශ්‍රීනාත් සුරියබණ්ඩාර, ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, ජේසන් දිසානායක, තරින්ද රත්වත්ත, ඕමල්ක ගුණරත්න, සුදම් සුරියආරච්චි, දනූෂ දයාන්, කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන්, රෙහාන් සිල්වා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...