වෙනස සනීප ද? | දිනමිණ

වෙනස සනීප ද?

වෙනස සනීප ද? යන්න බොහෝ දෙනකුගේ මුවග රැඳුණු පාඨයකි. එය සමාජය තුළ විවිධාර්ථවත් ලෙස සංසරණය විය. කෙනකු එය භාවිත කරන ලද්දේ උත්ප්‍රාසයෙන් යුතුව ය. සරල නිදසුනක් ගතහොත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ අල්ලස, දූෂණය, වංචාව හා අක්‍රමිකතාවලට මුළුමනින් ම තිත තබා සුපිරිසුදු යහපාලනයක් පවත්වාගෙන යෑමට ප්‍රතිඥා දෙමින් ය. එහෙත් වසර දෙකකට වැඩි කාලයක් ගෙවී ගිය ද ප්‍රතිරූපයක් සහිත හොරකු අල්ලා කූඩු කිරීමට ආණ්ඩුව අසමත් විය. මහාචාර්යවරයෙක් මේ තත්ත්වය විග්‍රහ කර තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැදගත් වුව හොරු ඇල්ලීමට තවත් කාලයක් ගත වන බව කියමින් ය.

මේ වන විට තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වී තිබේ. බැඳුම්කර සිද්ධිය විවෘත වේදිකාවක් තුළ විමර්ශනය වෙයි. මේ අනුව හිටපු මුදල් අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස් විය. ආණ්ඩුව තමන්ටම එරෙහි ව පරීක්ෂණ පවත්වන්නේ යැයි සමහරු කියන්නට පටන් ගත්හ. පර්පචුවෙල් සමාගමේ තොරතුරු එළියට එන්නට පටන්ගෙන තිබේ. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ගනුදෙනු ගැනද කියවේ. මේවා ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ වාරණයකින් තොරව ය. තවත් නඩු ගණනාවක් විභාග වෙමින් පවතී. නීතිය ඉදිරිපිට වරදකරුවන් වන අය ඉතා ඉක්මනින් හඳුනාගත හැකි යැයි කියන්නට පුළුවන.

අල්ලස, දූෂණය, වංචාව, මුදල් අවභාවිතය, අක්‍රමිකතා සිදු කිරීම සැලැකිය හැක්කේ සාපරාධී ක්‍රියා හැටියට ය. කෙනකු යම් සාපරාධී ක්‍රියාවක් සිදු කර තිබේ ද? ඊට නීතියෙන් දඬුවම් ලබා දිය යුතුය. සදාචාරවත් සමාජයක හා පිළිගත් රාජ‍්‍ය පාලනයක ස්වභාවය එය විය යුතුය. එහෙත් මේ රටේ සාපරාධී ක්‍රියාවලින් බහුතරයක් සිදුකර ඇත්තේ බලය හිමි ප්‍රභූ පන්තිය බව කිව හැකි ය. තවත් සාපරාධී ක්‍රියා සිදුකර ඇත්තේ ප්‍රභූ පන්තිය සමඟ සමීප සබඳතා පවත්වන නිලධාරී පැළැන්තිය බව කිව හැකි ය. මේ අය අත්අඩංගුවට ගැනීමේ දී ද, ඔවුනට එරෙහි නඩු විභාග පැවැත්වෙද් දී ද දේශපාලන බලපෑම් එල්ල වෙයි. ඒවා ආණ්ඩුවක් සලිත කරන තරමට බලවත් ය.

ආණ්ඩුව මේවාට මුහුණ දෙමින් ක්‍රමික ගමනක් යන බව පෙනෙන්නට තිබේ. බැඳුම්කර සිද්ධියෙන් ඇමැතිවරයකු තනතුරු අත්හළ අතර සුදු රෙදි සිද්ධියෙන් නිලධාරීහු දෙදෙනෙක් දඬුවම් ලැබූහ. මේ නිලධාරීහු දෙදෙනා පැවැති ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාධරයෝ වූහ. එක තැනැත්තෙක් හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ය. අනෙක් තැනැත්තා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා ය. ආණ්ඩුව ‍තෝරු - මෝරුන් හැර හාල්මැස්සන් අල්ලනවා යන චෝදනාව මේ අනුව අහෝසි විය යුතු යැයි සිතන්නට පුළුවන. සුදු රෙදි සිද්ධියේ දී දඬුවම් ලබා ඇත්තේ නිල වශයෙන් එම අවභාවිතයට වගකිව යුතු පුද්ගලයන් බව සඳහන් කළ හැකි ය. මේ විමර්ශනය රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට එරෙහිව ගත් ශක්තිමත් පියවරක් ලෙස සැලැකිය හැකි ය.

දූෂණ විරෝධී ආංශික කාරක සභාව දැන් කඩිනම් ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි සිතන්නට පුළුවන. එය පාර්ලිමේන්තු කමිටුවකි. මේ කමිටුව මීට දින කිහිපයකට පෙර අධිකරණ අමාත්‍යාංශයට දන්වා සිටියේ නීති විරෝධී ලෙස ධනය හා සම්පත් සොරාගත් පුද්ගලයන් සිටිත් ද? නීතිය ඉදිරියේ ඒ බව සනාථ වී තිබේ ද? යන කරුණු සලකා ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ය. මහජන දේපොළ කොල්ලකෑමේ දී දඬුවම් ලබා දීම පමණක් නොව; අදාළ සම්පත් නැවත මහජනයා සතු කිරීමේ ක්‍රමෝපායක් ද තිබිය යුතුය. මේ ක්‍රියාදාමය සාර්ථක වුවහොත් කොල්ලකාරයන් තවදුරටත් සැපදායක ජීවිත ගත නො කරනු ඇත. මහජනයා තෘප්තිමත් වන්නේ එවිට ය.

ජනාධිපතිවරයා මෑතක දී කළ කතාවක දී කියා සිටියේ රාජ්‍ය ආයතන දෙකක උසස් නිලධාරීන් දෙදෙනකු කුඩු ජාවාරමට සම්බන්ධ බව ය. රටේ පාලකයා තමන්ගේ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන තැනක සිටි බව අපි අත්දැකීමෙන් දැක ඇත්තෙමු. එහෙත් රාජ්‍ය සේවයේ එවැනි නිලධාරීන් ප්‍රසිද්ධියේ විවේචනය කරන පාලකයන් අප දැක නැත. මේ තත්ත්වය හැඳින්විය හැක්කේ යහ පාලනයේ දේශපාලන ප්‍රවණතාවක් හැටියට ය . එම නිලධාරීන් සේවයෙන් පහ කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක විය යුතුය. නීතියේ ප්‍රමාදයක් ඇති බව සැබෑ ය. එහෙත් මේ වැරැදිකරුවන්ට නීතියෙන් පලායෑමට ඉඩක් ලැබේ යැයි සිතිය නො හැකි ය. ජනාධිපතිවරයාගේ කතාවම ඊට සාක්ෂියකි.

නීතිය සම්බන්ධයෙන් කතා කරන විට විවේචන රාශියක් අසන්නට ලැබේ. එක විවේචනයක් වන්නේ අදාළ ආයතන හා නිලධාරීන් ද දූෂණ චක්‍රයට සම්බන්ධ අයවලුන් බවය. තව විවේචනයක් වන්නේ සාම්ප්‍රදායික ලෙස ඉහත ආයතන හා පුද්ගලයන් අකාර්යක්ෂම බවය. නැතහොත් වැඩ පමා කරන බව ය. තවත් විවේචනයක් වන්නේ ගිය ආණ්ඩුවට හිතවත් හා දූෂිතයන් රකින පිළිවෙතක් මේ ආයතන හා පුද්ගලයන් විසින් ගෙන යනු ලබන බවය. ඉහත විවේචන හා අකාර්යක්ෂමතා මධ්‍යයේ වුව ආණ්ඩුව සැලැකිය යුතු ජයග්‍රහණයක් සටහන් කරගෙන තිබේ. නිදසුනක් ගතහොත් පසුගිය දා වාර්තා වූ හම්බන්තොට සිද්ධියේ දී තරුණයකුට පහරදුන් උසස් පොලිස් නිලධාරියා ගැන පරීක්ෂණ කිහිපයක් දැන් පැවැත්වෙයි.

මීට පෙර පොලීසියට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වූ බවක් අප දැක නැත. ආරක්ෂක හමුදාවලට අයත් පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වූ බවක් ද අපට දැකගන්නට ලැබුණේ නැත. රතුපස්වල සිද්ධිය, කටුනායක සිද්ධිය, හිර ගෙදර සිද්ධිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. හම්බන්තොට සිද්ධියේ දී තරුණයකුගේ කනට පහර දුන්නා පමණි. ඊට ඉහත දැක් වූ සිද්ධිවල දී සාපරාධී මිනිස් ඝාතන ගණනාවක් සිදු විය. හම්බන්තොට සිද්ධියේ දී එහි කෙරුම්කාරයන් හෙවත් සංවිධායකයන් අත්අඩංගුවට නොගත්තේ මන්දැ’යි සමහරු විමසා සිටිති. එය විමසිය යුතු ප්‍රශ්නයකි.අදාළ පුද්ගලයන් පොලීසියට ගෙන්වා කට උත්තර ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ලැබේ. එය හොඳ තත්ත්වයකි. යමක් සිදුවිය යුත්තේ නීතියට අනුව ය.

ලිට්රෝ සභාපති තායිවාන් බැංකුවකින් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැ’යි කියති. එය මේ දිනවල සමාජ සංවාදයට ලක් වූ මාතෘකාවකි. මුදල් කාගේ ද? සොරකම් කළේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් නොවේ. ඔහු සාපරාධී වංචාවක සැකකරුවෙකි. එම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන තිබේ. තරාතිරම වැඩක් නැත. දේශපාලනය වැඩක් නැත. වංචාව, දූෂණය සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් බව සිදුවීම්වලින් පෙනී යයි. වෙනස සනීපදැ’යි උත්ප්‍රාසයෙන් විමසූ අය දැන් එම ප්‍රශ්නය තම හෘද සාක්ෂියෙන් විමසිය යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...