කුසගින්න නිවන සටනක ඇරඹුම | දිනමිණ

කුසගින්න නිවන සටනක ඇරඹුම

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති අග කැකිරාව තිබ්බටුවැව ජලාශය අසලින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඇර‍ඹිණ. එය මේ සතියේත් පැවැත්වේ.

ලෝක ආහාර දිනය ද යෙදී ඇත්තේ ඔක්තෝබර් 16 වනදාටය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ආහාර දිනයක් ප්‍රකාශයට පත් කෙළේ 1945 දී ය. මෙවර එහි තේමාව ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය සංවර්ධනය සහ සංක්‍රමණයයි. සංක්‍රමණය යනු ප්‍රශ්න හමුවේ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීමයි. පසුගිය නියං සමයේ ජලය හිඟ ප්‍රදේශ අතහැර පවුල් පිටින් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වන අන්දම අපිදු අත්දුටුවෙමු.

එහෙයින් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන වැඩසටහන ලෝක ආහාර දින අරමුණු සමඟ එකඟ වේ.

ජාති භේද, ආගම් භේද, දේශපාලන භේද විරහිතව ආහාර නිෂ්පාදන වැඩ සටහනට එක්වීම අනාගත සාගින්නෙන් මිදීමේ ඒකායන මාර්ගයයි. අනාගත ආහාර හිඟයක් පිළිබඳව විද්‍යාඥයන් කරුණු දක්වන්නේ අද ක ඊයෙ ක සිට නොවේ.

ලෝක කාලගුණ සංගමයේ ප්‍රධානියා මයිකල් ජෙරාඩ් ය. ඔහු පසුගියදා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පතට කීවේ “2025 වනවිට බිලියන 2.8ක ජනකායක් ජල හිඟයට මුහුණ දෙන බවයි දැනට මේ ගැටලුවට මුහුණ දෙන සංඛ්‍යාව බිලියන 1.6 ක් යැයි ද ඔහු කියයි.

එල්නිනෝ(ELNINO) තත්ත්වය, මිහිතලය උණුසුම් වීම, ලෝක කාලගුණ වෙනස්වීම් ආදිය නිසා ජල හිඟය ඇතිවීමත්, කාන්තාර ව්‍යාප්තිය හා වගාවට ගත හැකි ඉඩකඩම් නිසරුවීමත් නිසා ලෝක ආහාර නිෂ්පාදනයට බාධා සිදුවන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ශ්‍රී ලංකාව දැන් සිය ආහාර නිෂ්පාදන වැඩසටහන අධික වේගයකින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ පිට පිටම වගා කන්න තුනකින් ධාන්‍ය නිෂ්පාදනය සහ සෙසු ආහාර නිෂ්පාදනය අඩාළවීමේ අනිසි පල විපාක කරපිට තබාගෙනය. ඇති වූ වගා හානියට පිළියම් සොයන ලද්දේ ආහාර ද්‍රව්‍ය ආනයනය වැඩිකර ගැනීමෙනි.

අනාගත බිය

මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. බ්‍රසීලයේ කෝපි වගාව කිසිම අනතුරක් නොමැති වගාවක් ලෙස සැලකුණු ආර්ථික වගාවකි. එහෙත් 2025 වනවිට බ්‍රසීලයේ රොබොස්ථා සහ ඇරබිකා යන ජාතන්තර ප්‍රසිද්ධ කෝපි ප්‍රභේද අනතුරට ලක්වෙතැයි දැන් බියක් හටගෙන තිබේ. හේතුව අවශ්‍ය තෙතමනය නොමැති වී වගාව බොල්වීමයි. මෙසේ වාණිජ වැවිලි රාශියකට ද ඉදිරි කාලය යහපත් වන්නේ නැත. මේ අනතුර සෙසු රටවලට ද පොදු ය.

“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අඩු ඵලදාවක් සහිත රටක් බව සෙසු රටවල් සමඟ සැසඳීමෙන් පෙනී යයි. මේ තත්ත්වය ආහාර සුරක්ෂිත භාවය අඩු කරයි. එසේම දිළිඳුකම වැඩි කරයි. 2015 දී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 4.7 ක් මන්ද පෝෂණයෙන් පීඩා විඳි බව වාර්තා වේ. වතුකරයේ මේ තත්ත්වය වඩාත් උග්‍රය. තීරු බදු හා තීරු බදු නොවන බාධක මෙන්ම, ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්තිද මේ සඳහා බලපා ඇතැයි. ” “2025 පොහොසත් රටක්” ප්‍රකාශනය කියයි.

මේ සඳහා ජාතික ආහාර නිෂ්පාදන වැඩ සටහන, කෘෂිකාර්මික මහා කලාප පිහිටුවීම, බෝග නිෂ්පාදන වැඩිදියුණු කිරීම සහ මහා පරිමාණ කෘෂි ව්‍යවසායයක් ඇරඹීම ප්‍රතිකර්ම යැයි 2025 පොහොසත් රටක් දැක්ම තවදුරටත් කියයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගන්නා මෙන්ම අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට අවශ්‍ය කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ අරඹන බවට ආණ්ඩුව දැනටමත් ප්‍රතිඥා දී තිබේ. එසේම කෘෂිකාර්මික වෙළෙඳ පොළ කාර්යක්ෂම තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම තවත් ප්‍රතිඥාවකි.

බෝග නිෂ්පාදනය වැඩි කිරීමත්, කෘෂි ව්‍යාපාර සංවර්ධනයත්, මහා පරිමාණ කෘෂි ව්‍යාපාර ඇරැඹීමත්, වැඩි අස්වනු සහිත බෝග හඳුන්වාදීමත්, කෘෂිකාර්මික මහා කලාප ඇති කිරීමත් ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමත් ඉදිරි පියවර කීපයකි.

ආහාර සුරක්ෂිතතාවයක සහ ශීඝ්‍ර නිෂ්පාදන සංග්‍රාමයක අවශ්‍යතාව රටටම හැඟී ගියේ පසුගිය කන්න තුනක වගා හානියයි. මෙයට තනිකරම බලපෑවේ නියඟයයි. දැනට දිවයිනේ සමහර ප්‍රදේශයන්ට වැසි ලැබෙමින් පවතින නමුත් වගා කටයුතු සඳහා ඒ වැසි ප්‍රමාණවත් නොවන දිස්ත්‍රික්ක ගණනාවකි. ජල පහසුව රහිත තැනක ආහාර බෝග වගාවක් නැත. ආහාර බෝග වගාවක් නැති තැනක ආහාර සුරක්ෂිතතාවක් නැත.

2008 අප්‍රිකානු සාගතය නිසා මලාවි දේශය සහ සහරා කලාපය දැඩි සාගතයකට මුහුණ දුන්නේය. මේ ගැන වාර්තා කළ ඉ‍කොනොමිස්ට් සඟරාව අප්‍රිකාව ආහාර හිඟයකින් පමණක් නොව සැබෑ දේශපාලන නායකයන්ගේ හිඟයකින් ද පෙළෙන බව ප්‍රකාශ කෙළේය. සාගින්නෙන් පෙළෙන ජනතාව සඳහා බ්‍රිතාන්‍යයෙන් ලබාදුන් ආධාර දේශපාලන නායකයන්ගේ සාක්කුවලට ගිය බව වාර්තාවීම නිසා ඉකොනොමිස්ට් සඟරාව එම ප්‍රකාශය කළේ අප්‍රිකාවේ සැබෑ තත්ත්වය ලොවට පෙන්වා දීමට ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය 2025 ලියවිල්ල මගින් අනාගත කෘෂිකර්මය ගැන කතාබහ කරන්නේ අනාගත සාගතය ගැන බියක් පැතිරෙන ලෝක තත්ත්වයක් හමුවේ ය.

දැන් ආහාර නිෂ්පාදන වැඩසටහන ආරම්භ කරමින් පියවර රාශියක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 අයවැය ලේඛනයෙන් ගොවි ජනතාවගේ යහපතට හේතුවන නව යෝජනා ඉදිරිපත් වේ.

පශු සම්පත් ප්‍රවර්ධනය

එසේම බදු විරහිතව ගොවි උපකරණ රටට ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසේ. කුඹුරු අක්කර 130 000ක් අලුතින් අස්වැද්දීමට පියවර ගැනේ.

දැනට දිවයින පුරා ජරාවාසව ඇති වැව් 10000 ක් පමණ අලුත්වැඩියා කරනු ඇත. ගෙවතු 5700ක් ද, ආදර්ශ ගොවිපොළ 100ක් ද ආහාර නිෂ්පාදන සංග්‍රාමයට හවුල් වේ.

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයන් රාශියක් නිර්මාණය වන අතර ණය සහ ආධාර අවශ්‍යතා සැපිරීම ද සිදු වේ. මෙය දැනටම ඇරැඹී තිබේ.

ධීවර සහ පශු සම ්පත් සංවර්ධනය ද ආහාර නිෂ්පාදනයේම තවත් අංශ දෙකකි. මෙතෙක් අලාභ ලැබූ ධීවර සංස්ථාව ක්‍රමයෙන් ලාබ ලබන ආයතනයක් බවට පත් වූ අතර මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දියුණු කිරීමේ නව පියවර ආහාර නිෂ්පාදන වැඩසටහනට ඇතුලත් වේ. දැනට අලුත්වැඩියාවෙමින් පවතින වාරි කර්මාන්ත ව්‍යාපෘති රාශියක් දැන් ඒ සඳහා වෙන් වේ.

ධීවර වරාය සංවර්ධනය, ධීවර ජනයාගේ ප්‍රශ්න විසඳාලීම, ජල ජීවි සංවර්ධනය සහ මත්ස්‍ය කලාප පිහිටුවීමට පෞද්ගලික අංශයේ සහාය ගැනීමෙන් මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකිරීම ද ඉදිරි ක්‍රියාමාර්ග අතර ප්‍රධාන වේ.

එසේම පශු සම්පත් ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සහාය ගැනේ. පසුගිය කැබිනට් මණ්ඩලයේ දී රාජ්‍ය ව්‍යවසායන් 10ක් සාමුහික අවබෝධතා ගිවිසුම් මගින් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කරන ලදී. ඒ අතරට පශු සම්පත් මණ්ඩලය ද ඇතුලත් වන බවට මාධ්‍ය වාර්තා පළ විය.

පශු සම්පත් හා කුකුළු ගොවිපොළ සංවර්ධනය දියුණු කිරීම 2025 පොහොසත් රටක් දැක්ම තුළින් ද සංවර්ධනය කිරීමට නියමිත අංශයකි. මේ සියල්ලෙන් ආහාර නිෂ්පාදනයට මඟ සැලසේ.

2025 වනවිට ලෝකය ඉදිරියේ ඇති ආහාර ප්‍රශ්නය පිළිබඳව ලන්ඩන් බිස්නස් ස්කූල් නම් කීර්තිමත් ආර්ථික විද්‍යා පීඨයේ ටිම් ඔයිසන් විසින් කරන ලද පර්යේෂණයක වාර්තාවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහිලා ඔහු සඳහන් කරන්නේ 2025 ලෝක ජනගහණය බිලියන 8 දක්වා ඉහළ යන බවයි මේ පිරිසගේ පාරිභෝජනය සඳහා ධාන්‍ය මෙ.ටොන් බිලියන 3ක් අවශ්‍ය යැයි එම පර්යේෂණ වාර්තාව කියයි. එසේම ලෝක ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 40ක් සත්ත්ව ආහාර සඳහා උපයෝගි කර ගන්නා අතර උසස් බීජ හා නව ගොවිතැන් ක්‍රම මගින් වුවද ඒ තරම් විශාල නිෂ්පාදන ඉලක්කයකට ළඟා වීම අසීරු බව ද එහි කියැවේ. එහෙත් ඔහු පවසන්නේ ඉලක්කයට ළඟාවිය හැකි මාර්ග ඇති බවයි.

ජල කළමනාකරණය මෙහිදී ප්‍රමුඛස්ථානය ගන්නා අතර ජලය අරපරිස්සමෙන් භාවිතා කළ යුතු යුගයක් උදාවන බවද, එම වාර්තාව කියයි. එසේම මහා පරිමාණ වගාවන්හි රෝග හඳුනාගැනීමේ දී චන්ද්‍රිකා තාක්ෂණය වැනි නවතම උපාය මාර්ග භාවිතා කළ යුතු බව ද එමගින් අවධාරණය කර ඇත. එසේම ගොවියාගේ අධ්‍යාපනය ද ඉහළ නැංවිය යුතුවේ.

ජල සුරක්ෂිතතාව

මේ වාර්තාව පමණක් නොව සෙසු වාර්තා මගින් ද ජලය සුරක්ෂිත කිරීම ගැන අවධාරණය කර ඇත. ආහාර වගා සංග්‍රාමය අරඹා ඇති ශ්‍රී ලංකාව අනාගත ජල කළමනාකරණයට ද ජල පාරිභෝජනයට ද විධිමත් ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාතික රටවල අනාගත ජල ප්‍රශ්නය පිළිබඳව ‍ලෝක ආහාර සංවිධානය විටින් විට කරුණු දක්වා තිබේ. මීකොං කොමිටිය සහ ඉන්දු ගංගා කොමිටි යන අන්තර්ජාතික සම්මුතීන් මගින් කලාපීය රටවල ජලයට අයිතිවාසිකම් කීම පිළිබඳ ගැටලු වළක්වා ඇත. එහෙත් ගංගාවන්හි ජලය බෙදා ගැනීම පිළිබඳව ඉන්දියානු ප්‍රාන්ත අතර ගැටුම් පවතී.

නයිල් ගංඟාවේ ජලය පිළිබඳවද වරින්වර අප්‍රිකානු රටවල් අතර ගැටුම් පවතී. අනාගතයේ ජල සම්පත රාජ්‍ය ගැටුම් ඇති කරවන තරමේ ගැටලුවක් විය හැකි යයි විද්‍යාර්ථියෝ අදහස් පළ කරති. ජලය ඒ තරම් වටිනා සම්පතක් වන දිනය ඒ තරම් ඈතක නොවේ.

අනාගත ආහාර සුරක්ෂිත කිරීමට මෙන්ම අනාගත ජල සුරක්ෂිතතාව සඳහා ද ශ්‍රී ලංකාව කටයුතු කරයි. පානීය ජලය සපයා ගැනීමට මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා වන ජල සම්පාදනය ද සුරක්ෂිත කිරීම දියුණුවන රටක ලක්ෂණයකි.

ශ්‍රී ලංකාව විසින් අරඹා ඇති මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමය හෙක්ටයාර් 81220ක නව වගා බිම් සඳහා ජලය සපයයි. මල්වතු ඔය ව්‍යාපෘතියට කුඹුරු අක්කර 36000කි.

ආනමඩුව පල්ලම කටුපොත ජල යෝජනා ක්‍රමය කුරුණෑගල, මහව මඩගල්ල ජල යෝජනා ක්‍රමය, මන්නාරම මූර් වීදිය උප්පුකුලම් ජල යෝජනා ක්‍රමය ආදී පානීය ජල යෝජනා ක්‍රම රාශියක් ඉදිරියේ නිමවීමට තිබේ.

එසේම එල්ලංගාව ව්‍යාපෘති යටතේ කුඩා වැව් 500ක් නැවත අලුත්වැඩියා කෙරේ. අභ්‍යන්තර ජලාශ සහ වැව් ශුද්ධ කිරීමට දිසා ලේකම්වරුන් රුපියල් මිලියන 50 බැගින් වෙන්කර තිබේ. මේ මුදල් මගින් දැනටම ව්‍යාපෘති ආරම්භ කර ඇත. මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල යුදගනා වැව් ප්‍රතිසංස්කරණය ළඟදීම නිම වේ.

මේ සියල්ලට අමතරව ශ්‍රී ලංකාවේ අර්ථිකයෙන් වාර්ෂිකව විදේශවලට ඇදී යන රුපියල් බිලියන 70ක මුදල ඉතුරු කර ගැනීමට අවස්ථාව සැලසේ. සහල් , ලොකු ලූනු, රතුලූනු, කව්පි, බඩඉරිඟු සහ වියළි මිරිස් යන සෑම ආහාර ද්‍රව්‍යයක්ම රට තුළ වගා කළ හැකි ආහාර ද්‍රව්‍යයෝ ය.

සීනි සඳහා ද ශ්‍රී ලංකාව විශාල මුදලක් වැය කරයි. දේශීය සීනි නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවන අතර උක් වගාව ද ව්‍යාප්තවන පියවර ගණනාවක් ඉදිරියේ දී හඳුන්වා දෙනු ඇත.

කරුණාරත්න අමරතුංග


අදහස් 1ක් ඇත

ohomada kuburu aswaddanne ane:: ! pissu thowil salli kanawa! kuburu palu wenawa, eda godamdi garu, j,r utthamayath garu premadasa math thumath oya sandarsanayama karala pelaharak pawene,,,,, onna ita passe araya, magam pura goyyiath okama kalane,, ane,,! ithin me ape gowi hathikare kiyonawa hal gananlu, pol gananlu, thopita lajja nadda bolawu oya garu tharayan made bassanna, mayyilath ekka thopi madata bahala kuburu ass waddapiyawu, atu kotu purogiyawu kawo ,, kawo nokiya, thawath kisi dinaka oya garu tharayan made bassla mata ahu wenna epa! danna wane mama raksaya kiyala!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...