තවත් කප්රු­කක් | දිනමිණ

තවත් කප්රු­කක්

ශාන්ති දිසා­නා­යක

දඟකාර සුළං පොදින් ඉරී යන හරිත පත්‍ර ගෙමිදුලට ගෙවත්තට එක්කරන සිරියාව මෙතෙකැයි කිව නොහැක. පලබර කෙසෙල් ගස සශ්‍රීකත්වය ද, සෞභාග්‍යය ද නොහඟවන්නේද? ආගමික හා සංස්කෘතික කටයුතුවලදී නැතුවම බැරි කෙසෙල් ගසට නිසි ගෞරවය හා සැලකිල්ල ලබා දෙන්නට අප මැළිවන සෙයකි.

“අම්මේ....”

නිවුන් පුතුන්ගේ උච්චස්වරයත්, විදුලි සීනුවක නාදයත් එක්ව බඳු යමක් හඟවන බව මම දැන් දනිමි. අමුත්තෙකුගේ සම්ප්‍රාප්තිය.

කෙසෙල් පරඬැලින් විස්මයජනක නිර්මාණ කරන අජිත් සුසන්ත තරුණ නිර්මාණ ශිල්පියාගේ සිනාමුසු මුහුණ!

“ආරාධනාවකුත් එක්කමයි ආවෙ”

මම එබන්දක් අනුමාන කළෙමි. මින් පෙරද ඔහුගේ කෘතියක් දොරට වැඩුමකට මම සහභාගි වීමි.

තඹුත්තේගම වෙසෙන මේ විශිෂ්ට කලාකරුවා කප්රුක මෙන් දකින්නේද අගය කරන්නේද කෙසෙල් ගසයි. ඔහුගේ “කෙසෙල් ගසක මහිම” කෘතිය අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය හා තඹුත්තේගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ සංවිධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. වෙර වෑයමෙන් නමුදු මා ඒ අවස්ථාවට සහභාගි වූයේ අපේ එකෙකුය යන අභිමානය ද පෙරදැරි කරගනිමිනි. ඉවතලන කෙසෙල් පරඬැලින් අපූරු නිර්මාණ බිහිකරන මෙවන් නිර්මාණශීලී තරුණයකු අගය කරන්නට අප කිසි විටෙකත් පසුබට විය යුතු නැත.

නොයෙක් කෙසෙල් ප්‍රභේද සවිස්තරව හඳුන්වා දෙමින් කෙසෙල් මුවයෙන් කළ හැකි නා නා මාදිලියේ ඉවුම් පියුම් පිළිබඳව ද මැනවින් විදහා දක්වා තිබෙන “කෙසෙල් ගසක මහිම” කෘතිය සැබැවින්ම අපූරුය. එවන් සුවිශේෂ වැදගත්කමකින් හෙබි කෘතියක් පාඨක දෑතට ගෙනහැර දැක්වූ එස්. ගොඩගේ නම් වන විශිෂ්ට ප්‍රකාශකයාටද අපේ ගෞරවය හිමිවිය යුතුය.

“කෙසෙල් ගසක මහිම” දොරට වැඩුමේදී ප්‍රවීණ ගී පද රචක මහින්ද චන්ද්‍රසේකර, මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය අධ්‍යක්ෂක සුනිල් උඩුකුල, කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ආනන්ද තිස්ස, පරිසරවේදී තිලක් කන්දේගම, අංගම්පොර සටන් කලාවේ සූරී රිටිගල සුමේද හා දිස්ත්‍රික් අතිරේක ‍ලේකම් කීර්ති ගමගේ මහත්වරුන් කළ කතා අතිශයින් අරුත්බර විය.

“ඕනෑම තැනක පහසුවෙන් වැවෙන කෙසෙල් ගහෙං විදේශ විනිමය උපයන්න පුළුවන් කියන එක අපේ අජිත් සුසන්ත අපූරුවට පෙන්නුම් කරලා තියෙනවනේ. දැං ඉතිං ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක වෙන්න ඕන...” යි කී මහින්ද චන්ද්‍රසේකරයන්, පරිසර හානියක් සිදු නොකරන එවන් කර්මාන්තයක් පිළිබඳව උකටලී වන රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව මට වැටහිණ. සැබැවින්ම දේශපාලනඥයන් කෙසෙල් ගම්මානයක් පිළිබඳව කල්පනා නොකරන්නේ මන්ද?

කර්මාන්තයක් ඇතිකිරීමේදී අප වඩාත් උවමනාවෙන් වගබලාගත යුත්තේ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳව නොවේද?

ගුරු මුෂ්ටියක් තබා නොගෙන තමාගේ ශිල්පය ඕනෑම කෙනෙකුන් හට ලබාදීමට අපේ අජිත් සුසන්ත නිර්මාණ ශිල්පියා සූදානම්ය. දැනටමත් ඔහු ඒ උදාරතර කර්තව්‍යය මහත් කැපවීමෙන් සිදු කරයි.

පසුගියදා රාජාංගනය යාය 01 ළමා මිතුරු පාසලේදී පැවැත්වූ අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් අජිත් සුසන්තයන් හට රාජාංගනය ජනතාවගේ උපහාරය පිරිනැමිණි. කෙසෙල් ගස කප්රුකක් සේ දකින හඟින අපේ විස්මිත කලාකරුවා එවන් ජනතා සම්මානයකට අත්‍යන්තයෙන්ම සුදුසුය.

සොඳුරු මිනිසුන් අතරේ සොඳුරු කාලය නිමවී සමුගන්නා මොහොතේ අජිත් සුසන්ත සොහොයුරාගේ පුතු පවන් අංජන හා ප්‍රිය බිරින්දෑ සමඟ ද මොහොතක් පිළිසඳරේ පසුවීමි.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන පවන් අංජන රචනා කළ “ගිම්හාන නිවාඩුව” නම් යොවුන් නවකතාවේ ප්‍රකාශකයා ද එස්. ගොඩගේ මහතාමය. “ගිම්හාන නිවාඩුව” මට තිළිණ කළ පවන් අංජන පුතු පෑ සාඩම්බර සිනමාවේ ආධුනික ලේඛකයකුගේ අනාගත අපේක්ෂා ගැබ්ව තිබිණ.

කෙසෙල් ගසින් ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබාගන්නට අප මැළිවනවා සේම අපේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ද නිසි ඇගයීමකට ලක්නොකරන බව මෙනෙහි කරමින් මම සමුගතිමි.

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කුමාරතුංග මුනිදාසයන්ගේ ඒ මසුරන් වටිනා කියමන සනාතනික සත්‍යයක් නොවේද? වෙනස් ඇසකින් හා අලුත් ආකල්පයන්ගෙන් ලොව දකින්නට හඟින්නට අප අසමත් වනතුරුම රටක් ලෙස දියුණුවක් හෝ සංවර්ධනයක් ඇතිකර ගැන්ම සිහිනයක් නොවේද?

අදහස් 1ක් ඇත

oka thamayi mama kiyanne kehel wawapiyawu kiyala oka thama kapruka! liyapu kenata jayawewa; ! oua lankika gobbyanata oba thuma hadunwa denna kap ruk kiyanne monawada kiyala,, pol gasa, aba gasa; kos gasa, del gasa ' puwak gasa!kohomba, yanadiya ganath ,

නව අදහස දක්වන්න