ගලේවෙල හපනියට ජනපති මැදුරේ දොර ඇරේ | දිනමිණ

ගලේවෙල හපනියට ජනපති මැදුරේ දොර ඇරේ

සිගිරිය විශේෂ හා මාතලේ දිස්ත්‍රික් සමුහ

දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක දරුවකු මෙවර පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්වීම පිළිබඳ දිනමිණ ඇතුළු මාධ්‍ය මඟින් ඊයේ හෙළි කිරීමත් සමඟ ම එය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැරිය අද (10) අඟහරුවාදා තමා වෙත යොමුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දන්වා ඇත.

දිනමිණ ඇය පිළිබඳ පුවත ඊයේ සිය මුල් පිටුව මඟින් ලොවට හෙළි කළේය.

බී. බී. දුලංජලි මධුමාලි ප්‍රේමරත්න නමැති මේ දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168ක් ලබාගත් අතර 1972 වසරේ ආරම්භකර ඇති පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ ප්‍රථමවරට පහ වසර ශිෂ්‍යත්වය සමත්වි ඇත්තේද ඇයයි. දැරියගේ පියා වකුගඩු රෝගයෙන් මියගොස් ඇති අතර මව මේ වනවිට ගඩොල් කපමින් පවුලේ නඩත්තුව කරගෙන යමින් සිටියි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති අරමුදලෙන් දැරියට උසස් පෙළ දක්වා අධ්‍යාපනය සඳහා ආධාර මුදල් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

වකුගඩු නිවාරණ ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා කියා සිටියේ 9 දින උදේ ජනමාධ්‍ය මඟින් මේ දැරියගේ පුවත දුටු ජනාධිපතිතුමා තමා වෙත දුරකථනයෙන් කතාකොට වකුගඩු රෝගයෙන් මියගිය පියාගේ මේ දිරිය දියණියගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් උසස් අධ්‍යාපනය අවසන් වනතුරු ඇයට අවශ්‍ය අධ්‍යාපන වියදම් අරමුදල මඟින් කරන ලෙසත් දැනුම් දුන් බවය

එමෙන්ම ගඩොල් කපා ජීවත්වන මෙම දැරියගේ මවත් දැරියත් විදුහල්පතිවරයාත් පුවත හෙළි කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාත් ජනාධිපති මැදුරට ගෙන්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව සඳහන් කළේය. 

අදහස් 1ක් ඇත

මෙය හුදෙක් ජනාධිපතිගේ සංදර්ශනයක් පමණි. මෙය විහිළුවකි. ඇය උසස් අධ්‍යාපනය ලබා ජනාධිපති අණින් පොලිස් ජල ප්‍රහාර කනු ඇත. ඇය වැනි ම ශිෂ්‍යත්වය සමත් / අසමත් පියා වකුගඩු රෝගයෙන් මිය ගියවුන් ඕනෑ තරමි.

නව අදහස දක්වන්න