තායිවාන සිද්ධිය: වැඩිදුර විමර්ශනයට තායිවාන කණ්ඩායමක් මෙරටට | දිනමිණ

තායිවාන සිද්ධිය: වැඩිදුර විමර්ශනයට තායිවාන කණ්ඩායමක් මෙරටට

මහින්ද අලුත්ගෙදර

තායිවානයේ ෆා ඊස්ටන් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි මුදල් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් කිහිපයක බැංකු ගිණුම්වලට හුවමාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා තායිවාන අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. තායිවාන අගමැතිවරයාගේ උපදෙස් අනුව එම විමර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ අනුව ඔවුන් ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට පැමිණෙන බව වාර්තා වෙයි. තායිවාන ෆා ඊස්ටන් ජාත්‍යන්තර බැංකුවේ පරිගණකවලට අනවසරයෙන් පිවිස ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කාම්බෝජය ඇතුළු රටවල බැංකු ගිණුම් වෙත බැරකර තිබෙන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

එම බැංකුවේ පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි පවසන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් එක් සැකකරුවෙක් කොළඹ අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ පිහිටි බැංකු ශාඛාවකින් රුපියල් කෝටි අටක මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම සැකකරුවන් ඊට පෙර රුපියල් කෝටි තුනක් ලබා ගෙන ඇතැයි ද පරීක්ෂණවලින් හෙළිවී ඇත.

පරිගණකවලට අනවසරයෙන් පිවිසුණු පිරිස සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තායිවානයේ පොලිස් හා විමර්ශන අංශ එක්ව කටයුතු කරමින් සිටින අතර අනෙක් රටවල සහාය ද ඇතිව සොරකම් කරන ලද මුදලින් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගැනීමට තායිවාන පොලිසිය සමත්වූ බවද වාර්තා වෙයි.

මෙලෙස වංචා කොට මුදල් ලබාගත් සංවිධානාත්මක කල්ලියට ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර වංචාව සිදුකර දින තුනක් ඇතුළත සියලු තොරතුරු අනාවරණය කරගනිමින් ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වෙයි.

අදහස් 1ක් ඇත

දන් රටට විඩෙශ අයොජන නො එන නිසා ගංවතුරෙන් විපතට පත් පවුල් දහසකට ලිට්රෝ වෙතින් ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබා ඩීම සන්ඩහා මෙ මුදල් මෙතුම විසින් සොරකම් කරා විය හකී නෙඩ.. XD :D :P

නව අදහස දක්වන්න