නීතිය ඉදිරිපිට හම්බන්තොට...! | දිනමිණ

නීතිය ඉදිරිපිට හම්බන්තොට...!

 නීතිය සියල්ලන්ගේ ම ඔළු ගෙඩිවලට ඉහළින් තිබිය යුතු යැයි කියති. එහි අදහස වන්නේ උස ම උස මිනිසා ද, බලයෙන් හා ධනයෙන් වැඩි ම මිනිසා ද නීතියට යටත් බව ය. එහෙත් අපේ රාජ්‍යය තුළ එය එලෙස ම ක්‍රියාත්මක වන්නේ ද යනු ප්‍රශ්නයකි. ගෙවී ගිය කාල පරිච්ඡේද‍යක් තුළ එය කිසිසේත් ම සිදු වූයේ නැතැ’යි කියන්නට ජීවමාන සාක්ෂි තිබේ. රතුපස්වල සිද්ධිය, හිර ගෙදර සිද්ධිය හා තවත් සිද්ධි ගණනාවක් ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි ය. එදා යුක්තිය ඉටු නොවූ නිසා ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග හා පරීක්ෂණ අලුතෙන් පවත්වන්නට සිදු වී තිබේ.

ඒ අනුව අපට පිළිගැනීමට බලකරන්නේ දැන් නීතිය හරියට ක්‍රියාත්මක වන බවය. එහෙත් එය පිළිගත හැකි ද? පසුගිය හයවන දා හම්බන්තොට පැවැත් වූ උද්ඝෝෂණය හා අරගලය ඊට අනුව විග්‍රහ කරගන්නේ කෙසේ ද? හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ රටේ සංවර්ධනය සඳහා යොදාගනු ලබන්නේ විදේශීය ආයෝජකයන්ගේ සහයෝගය මත ය. මේ අනුව විදේශීය ආයතනවලට හිරිහැරයක් නොවිය යුතුය. රටේ කීර්ති නාමයට ද කැළලක් නොවිය යුතුය. අදාළ දිනයේ උද්ඝෝෂණ හා අරගල පැවැත්වීම තහනම්කොට වාරණ නියෝගයක් නිකුත් වී තිබිණි. එහෙත් උද්ඝෝෂණය හා අරගලය පැවැත්විණි.

මේ උද්ඝෝෂණය නීති විරෝධී බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් සිද්ධියෙන් පෙනී යන්නේ රටේ ඇතැම් කණ්ඩායම් නීතිය ශත පහකට ගණන් නොගන්නා බව ය. එයින් නීතිය පාච්චල් වෙයි. නීතිය හෑල්ලු වෙයි. සිද්ධියේ දී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුමක් සිදු වී ඇත. එයින් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට තුවාල සිදු වී ඇත. එක් උද්ඝෝෂකයකුගේ කනට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද කියති. ඔහු තංගල්ල රෝහලෙන් මාතර රෝහලට මාරුකර යවා ඇත. බොහෝ ජනමාධ්‍යවල අවධානය යොමුව තිබුණේ කනෙහි අමාරුව ඇති උද්ඝෝෂකයා ගැන ය. දැන් ඒ පිළිබඳ පරීක්ෂණ ගණනාවක් ද පැවැත්වෙයි.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ උද්ඝෝෂණය සංවිධාන කළහ. වාරණ නියෝගය නිකුත් වූ පසු ද ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැහැදිලි කරන ලද්දේ උද්ඝෝෂණය පවත්වන බව ය. මේ සිද්ධියේ දී කලහකාරී ලෙස හැසිරුනු විසි අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් එහි ප්‍රධාන සංවිධායකයන් අත්අඩංගුවට ගෙන නැත. පොලීසියේ වාහන ගණනාවකට අලාභ හානි සිදු වී ඇත. මාර්ග අවහිර වී තිබිණි. තව ද ස්ථාන ගණනාවක සාමාන්‍ය කටයුතු සිදුවීමට බාධා ඇති වී තිබිණි. නීතියට අනුව නම්; පළමුව අත්අඩංගුවට ගතයුත්තේ උද්ඝෝෂණයට නායකත්වය දුන් සංවිධායකයන් ය. එහෙත් සංවිධායකයෝ නිදැල්ලේ සිටිති. ඇස මානයේ සිටි උද්ඝෝෂකයන් කිහිප දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි දී ආණ්ඩුව පැත්තෙන් හොඳ දෙයක් ද සිදු වී තිබේ. එනම්; උද්ඝෝෂකයකුගේ කනට පහරක් දුන්නා යැයි කියන පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සිදුවීම ය. රතුපස්වල දී එය සිදුවූයේ නැත. එදා තවත් ස්ථාන ගණනාවක දී ද එය සිදු වූයේ නැත. පොලිස් කොමිසම හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. පොලිස්පතිවරයා පරීක්ෂණයක් පවත්වන අතර පොලිස් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වී ඇත. මෙය යහපත් තත්ත්වයක් සේ සැලැකිය හැකි ය. උද්ඝෝෂකයන්ට පහරදුන් පොලිස් නිලධරයකුට උසස්වීමක් දෙනු මිස පරීක්ෂණයක් පැවැත්වෙන ක්‍රමයක් රාජපක්ෂ යුගයේ තිබුණේ නැත.

මහජනයාට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද, විරෝධතා දැක්වීමේ අයිතිය ද තිබිය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණයකි. එහෙත් එම අයිතිය භාවිතකොට පොදු ජනයාට හිරිහැරයක් වන ලෙස හැසිරීමේ අයිතිය කිසිවකුට නැත. මේ සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ සරල කතාවක් මෙසේ ය. එංගලන්තයේ වීදියක ගමන් කරන එක්තරා මිනිසෙක් පොල්ලක් කරකවමින් සිටියේ ය. විරුද්ධ පාර්ශ්වයෙන් ආ තවත් මිනිසකුගේ නාසයේ එය වැදිණි. ඔහු ඒ ගැන ප්‍රශ්න කළේ ය. එවිට අර මිනිසා උත්තර දුන්නේ පොල්ලක් කරකවමින් ඇවිද යෑමට තමන්ට නිදහසක් තිබිය යුතු බව ය. එවිට ප්‍රතිඋත්තර ලබා දුන් අනෙක් මිනිසා කියා සිටියේ නුඹගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මගේ නාසය ළඟින් අවසන් විය යුතු බව ය. මෙය න්‍යායානුකූල හා තර්කානුකූල කතාවකි.

අද උද්ඝෝෂණ පැවැත්වෙන්නේ ද , වර්ජන පැවැත්වෙන්නේ ද පොදු මිනිසාගේ අවශ්‍යතා සඳහා යැයි කිව නොහැකි ය. මේවා පසුපස ඇත්තේ බාල දේශපාලනය යි හෙවත් බලය හුවමාරු කරගැනීම සඳහා යොදන උපාය මාර්ග යි. හම්බන්තොට සිද්ධියෙන් සැලැකිය යුතු පාඩුවක් සිදුවී ඇති බව ද වාර්තා වෙයි. මේ පාඩුව ගෙවිය යුත්තේ ද මහජනතාව ය. දේශපාලන වාසි තකා මහජනයා සංවිධාන කරන නායකයන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. පාඩු ගෙවන්නට සූදානම් ද නැත. අවසන් ලෙස මේවා බලපාන්නේ රටේ ආර්ථිකයට යි. දේශපාලකයන් සිදු කළ වංචා - දූෂණ හා අක්‍රමිකතා නිසා ආර්ථිකයේ එක් අඩක් කඩා වැටී ඇත. තව අතෙකින් විදේශීය ණය කන්දරාවක් ගෙවන්නට සිදු වී ඇත. ඒ අතර උද්ඝෝෂණ ද පැවැත්වේ.

එක අතෙකින් අපේ සමාජය තුළ සිදුවන්නේ කුමක්දැ’යි. හරිහැටි නිශ්චය කිරීම අපහසු ය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී රාජ්‍ය සම්පත් අවභාවිත කළ නිලධාරීන් හිරගෙදරට යන විට සංඝයා වහන්සේ හොරුන් බේරා ගැනීම සඳහා පිණ්ඩපාතයේ වැඩම කරති. ඇතැම් විට පොල් ගසති. මිනිස් ඝාතනවලට ද වෙනත් බරපතළ අපරාධවලට ද දඬුවම් ලබන අය බරපතළ වැඩ ඇතිව සිරකුටිවල සිටිය යුතු වුව ඔවුන් සිටිනුයේ රෝහල්වල සැප වාට්ටුවල ය. බලාගෙන යන විට අපරාධ සිදු කළත් නිසි දඬුවම් නොලැබෙන තත්ත්වයක් දකින්නට ලැබේ. පොදුවේ ගත් කල අප දකින චිත්‍රය අපැහැදිලි ය. එහිලා නොවැටහෙන තැන් රාශියක් තිබේ.

හම්බන්තොට සිද්ධිය ගතහොත්; මේ උද්ඝෝෂණය හා අරගලය සංවිධාන කළ නායකයන් අත්අඩංගුවට ගත යුතුව තිබිණි. එහෙත් එය සිදු වී නැත. එය පොලීසියේ වරදක් ද? අධිකරණයේ වරදක් ද? යන්න අප දන්නේ නැත. අන්තිමට සියල්ලට වගකිව යුත්තේ ජනතාව නොවේදැ’යි වැනි හැඟීමක් අපට ඇති වේ. දැන හෝ නොදැන උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවගෙන් එක්තරා කොටසකි. අත්අඩංගුවට පත්වූයේද එලෙස ගිය අයගෙන් කොටසකි. කවදා හෝ මේවාට වන්දි ගෙවිය යුත්තේ ද එම ජනතාව ම ය. එහෙත් මේවා ඇති කළ අය එදත් නිදැල්ලේ ය. අදත් නිදැල්ලේ ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...