නාමල්ගේ ලේකම් ඇප මත මුදා හැරේ - UPDATE | දිනමිණ

නාමල්ගේ ලේකම් ඇප මත මුදා හැරේ - UPDATE

අත්අඩංගුවට ගත් ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක වූ ඉරේෂාද සිල්වා, කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදා හැරේ

නාමල්ගේ ලේකම් කටුනායකදී අත්අඩංගුවට - UPDTE

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක වන ඔනෙලා ඉරේෂා ද සිල්වා අද (10දා) අලුයම් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ය.

රටින් පැන්න නාමල්ගේ ලේකම්වරියට ජාත්‍යන්තර වරෙන්තු

අයථා ලෙස උපයා ‍ගත් රුපියල් මිලියන 30ක් ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහිව පවතින නඩුවේ, රටින් පැන ගොස් සිටි විත්තිකාරිය වන බටපොළ ආරච්චිගේ ඔනෙල්ලා ඉරේෂා සිල්වා නමැත්තියට ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුවන් තුන්දෙනකු නොමැතිව නඩුව විභාගයට ගැනීම සඳහා මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් තීන්දු කර තිබිණි. රටෙන් පැනගොස් සිටි විත්තිකරුවන් වන නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙල්ලා ඉරේෂා සිල්වා සහ සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම නොමැතිව නඩුව ඉදිරියට විභාගයට ගැනීමට නියම විය.

මෙහි අනෙක් විත්තිකරුවන් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ නිත්‍ය සේනානි සමරනායක යන අයයි. මෙම නඩුව අද (10) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය.

නව අදහස දක්වන්න