කොමඩු දිව ඔසුවක් | දිනමිණ

කොමඩු දිව ඔසුවක්

 

කොමඩු යනු, පහසුවෙන් මිලදී ගත හැකි, පහසුවෙන් වගා කිරීමට ද හැකි, අපේ රටේ වියළි කලාපයේ හැදෙන ඉතා ම රසවත් පලතුරකි. රසෙන් වගේම මේ පලතුර ගුණයෙනුත් පරිපූර්ණයි. Citrullis lanatus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොමඩුවල නිජ භූමිය, අප්‍රිකා මහාද්වීපයයි. පසුව එය ආසියාවට හා යුරෝපයට පැමිණ ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් ම ජනප්‍රිය පලතුර ලෙස සැලකෙන්නේ ද කොමඩු ය. මිසර දේශයේ ඉපැරැණි චිත්‍රවල පවා කොමඩු පලතුරේ සිතුවම් දක්නට ලැබේ.

කොමඩු අයත් වන්නේ ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවළු අයත් වන පවුලටම ය. සාමාන්‍යයෙන් අපේ රටේ වැවෙන කොමඩු වර්ග දෙකක් ඇත. තද කොළ පැහැති සහ ළා කොළ පැහැති තද වයිරම් වර්ණයෙන් යුතු කොමඩු යනු ඒවා ය . මෙයින් පත්තක්කා ලෙස හැඳින්වෙන්නේ පැණි කොමඩුවලට සාපේක්ෂව පැණි රස අඩු වර්ගය ය.

පැණි කොමඩු යනු ජලය අධිකව ඇති පලතුරකි. ඒ නිසා, උෂ්ණ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබා ගන්නට මෙන් ම, සම වියළීම පාලනය කර ගන්නට ද පැණි කොමඩු අනුභවය ඉතා සුදුසු ය. ඇතැම් අවස්ථාවලදී ශරීරයේ ඇතිවන කැසීම් ස්වභාවය පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් දුරු වේ. එමෙන් ම, මළ බද්ධයෙන් පීඩා විඳින අයෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන්, ඉන් මිදීමට හැකි ය. කොමඩු, හෘද රෝගවලටත් බෙහෙවින් ගුණදායක ය. වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින මුත්‍රා ගල්වලටත් මෙය ඉතා හොඳ ඖෂධයකි.

ශරීරයෙහි ප්‍රතිශක්තිය වඩන ගුණයක් ඇති නිසා , ප්‍රතිශක්තිය ඇති කිරීමටත් කොමඩු කදිම පලතුරකි. අසාත්මිකතා නාශක ගුණයක් මේ පලතුරෙහි අඩංගු ය. ඒ නිසා, අසාත්මිකතා වැළඳෙන අයට මේ පලතුර මනා ඖෂධයකි. ඒ වගේම, උණ රෝගය, ඉරුවාරදය, කොලෙස්ටරෝල් ආදී රෝගවලින් පෙළෙන අයට කොමඩු‍ ගුණදායක ආහාරයකි. මෙය වකුගඩු හා මුත්‍රාශය පිරිසුදු කරනවා සේ ම, කෑම දිරවීම පහසු කරවයි. ඒ නිසා, ආහාර ගැනීමෙන් පසු කොමඩු කැබැල්ලක් අතුරුපසක් විදිහට ආහාරයට ගත හැකි ය. කොමඩු, පණු රෝගවලටත් ගුණදායක ය.

ගෑස්ට්‍රික් රෝගයෙන් පෙළෙන අයෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන්, සුවදායී බවක් ලැෙබ්. අර්ශස් රෝගය සමනය කරන්නටත් කොමඩු උචිත ය. සම පැෙල් ඉන් සුවය ලැබීමට කොමඩු නිතර නිතර ආහාරයට ගත හැකි ය. පිළිස්සීම් ඇති වූ අවස්ථාවකදීත් මේ පලතුර ආහාරයට ගැනීමෙන් එම වේදනාවලට සහනයක් ලැබේ.

දිනපතා ම උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කරන්නට පටන්ගත් විට, මෙහි ඇති ඖෂධීය ගුණ නිසා ම, සම පැහැපත් වේ. එසේ ම, සම අධික ලෙස වියළීම නිසා, හම රැලි වැටීම, සම පැලීමේ තත්ත්ව වළක්වා ගත හැකි ය. දෛනිකව කොමඩු යුෂ බොනවා නම්, තරුණ පෙනුමක් ලබාගත හැකි ය.

යශෝධා

නව අදහස දක්වන්න